Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොල් තෙල් කනවද ? බොනවද? ආච්චිට හාල් ගරනවද ?

ආණ්ඩු පත් කරන්නේ ජනතාවය. ඒ ජනතා සේවය වෙනුවෙනි.

නමුත් එලෙස පත් කරගත් ආණ්ඩු එක දිගට එක පෙළට සිදු කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීම බවට චෝදනා එල්ලවනවා නම් එය ජනතාවගේ පැත්තෙන් ඛේදවාචයකි.

වත්මන් ආණ්ඩුව බෙල්ලට ම හිරවී ඇති පිළිකා කාරක පොල් තෙල් කතාව ද එවැන්නකි.

කවුරුන් හෝ ආනයනකරුවෙකු කොහේ හෝ රටකින් ගෙන එන දහජරාවක වගකීම ආණ්ඩුව ගත යුතු නැත.

නමුත් පොල් තෙල් කතාවේ දී ආණ්ඩුවට චෝදනා එල්ල වන්නේ දේශපාලන පත්වීමක් ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පත් කළ සභාපතිවරයා මෙම පිළිකා කාරක පොල්තෙල් තොග කිසිදු ගැටලුවක් නොමැති බව පවසා වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර දීම නිසාය.

ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ ආණ්ඩුවේ ම මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ය.

නැවත නැවතත් සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අදාළ පොල් තෙල් තොග පිළිකාකාරක බව අනාවරණය වී තිබේ.

ඒ පිටුපස කියවෙන්නේ රටේ ජනතාව පිළිකා රෝගීන් බවට පත් කර, තම සාක්කු පුරවා ගැනීමට ගිය අධම මිනිසුන් කිහිප දෙනෙකුගේ ක්‍රියාව හෙළි වීමේ භයානක අනාවරණය යි.

මාට්ටු වන්නේ පොල් තෙල් කෙළිය පමණි. තවත් මෙවැනි කෙළි කීයක් රටේ ජනතාවගේ ජීවිත සමඟ නටා ඇතිදැයි දන්නේ උඩ සිටින දෙවියන් පමණි.

පිටකොටුවේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලෙස වස විස සහ කල් ඉකුත් වූ ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් මේ වන විට සොයා ගෙන තිබේ. මේ එවැන්නක් අසු වූ පළමු අවස්ථාව ද නොවේ.

ඇස්ට්‍රා මාගරින්වල දරුවන්ට අහිතකර රසායනික සංඝටකයක ඇති බව හෙළි වූයේ අද ඊයේ නොවේ.

ඇන්කර් ඇතුළු කිරිපිටි කිහිපයක මෙලමයින් නම් විෂ සංඝටක ඇතිබව හෙළි වූයේ ද අද ඊයේ නොවේ.

ලක්ස් සහ ලයිෆ් බෝයිවල මිනිස් සමට අහිතකර රසායන සංඝටක ඇති බව හෙළි වුයේ අද ඊයේ නොවේ.

ඒ පිළිබඳ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ ද අද ඊයේ නොවේ.

විවිධ කණ්ඩායම් සහ බහුජාතික සමාගම්වල අණසකට නතු වූ ඒවායේ වෙළඳ දැන්වීම්වලින් යැපෙන මාධ්‍ය ආයතනවලට මේ කතා හෙළි කරන්නට ද නොහැක.

එම සමාගම්වල මුදලින් දේශපාලනයේ යෙදෙන දේශපාලකයින්ට ද මේවා හෙළි කළ නොහැක.

මේ ඛේදවාචකය හමුවේ රටේ මිනිස්සුන්ට වන්නේ වස විස කා අකාලයේ මියදෙන්නටය.

වැටත් නියරත් ගොයම් කනවා නම් කුමක් කරන්නද ?

පිළිකාකාරක පොල් තෙල් කතාවෙන් එළියට ආ බරපතල ම කරුණක් තිබේ.

ආණ්ඩුවෙන් ම සහ විපක්ෂයෙන් චෝදනා කරනා ආකාරයට පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොළෙට නිකුත්කර ඇත්තේ ප්‍රමිති ආයතනයේ සභාපතිවරයාගේ නියෝගය පරිදි ය.

එය සැබවින්ම එසේ වනවා නම් එලෙසින් සභාපතිවරුන්ගේ බලපරාක්‍රමයේ ආනුභාවයෙන් මෙරට වෙළෙඳ පොළට මිනිස් පරිභෝජනයට නුසුදුසු නිෂ්පාදන කොතෙක් පිටවන්නට ඇති ද? යන සාධාරණ ප්‍රශ්නය අපට මතුවිය යුතුමය.

පොල් පොල් පොපොල් පොල් සමග කැබිනට් පත්‍රිකා

පාන් නැත්නම් කේක් කාපල්ලා – පොල් තෙල් ෂුවර් නැත්නම් පාම් තෙල් කාපල්ලා වැනි ගොබ්බ කතා කියන්නට රටකට වෙළෙඳ අමාත්‍යවරුන් අවශ්‍ය නැත.

පොල් තෙල් කෙසේ වෙතත් දැන් රුපියල් 100ට මෙහායින් පොල් කනවා බොරුය.

මේ අලකලංචි මැද පොල් බෑය පෙන්නා ” බෑය කෝම ද? ” කියා නක්කලේ දාන්නට කට්ටිය ද දැන් නැත.

නමුත් දේශීයත්වය අගය කරන, එයම ජීවම් කරන ආණ්ඩුව පසුගිය දෙසැම්බරයේ ගත් වැදගත් තීරණයක් තිබේ.

ඒ කැබලි කරන ලද වියළි පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීමයි.

දෙසැම්බරයේ ගනු ලැබූ එම තීරණයට අනුව මාස තුනක කාලයක් සඳහා කැබලි කරන ලද වියළි පොල් ආනයනයට අවසර හිමිවන අතර මසකට කැබිලි කරන ලද වියළි පොල් මෙට්‍රික් ටොන් 13,000ක් බැගින් ආනයනය කිරීමට අනුමැතිය හිමි ව තිබුණි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් තිබු අතර ඉහළ යන පොල් මිල පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට සාධාරණ මිලකට ජනතාවට පොල් ලබා දීමත් අරමුණු කර ගනිමින් සහ පොල් මිල ඉහළ යාම මගින් අපහසුතාවට පත්ව සිටින දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් සහ නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍ය රමේෂ් පතිරණ කැබිනට් මාධ්‍ය හමුවට ඇවිත් කීවේය.

පොල් කැබලි ආනයනය රජය සතු ආයතනයක් වන බී.සී.සී ය හරහා සිදු කිරීමට නියමිත බව ද ඔහු කීවේය.

පාම්තෙල් පරිභෝජනය අධෛර්යවත් කොට පොල්තෙල් පරිභෝජනය ඉහළ නංවන බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.

එසේ කැබිනට් තීරණයක් ගත් කැබිනට්ටුවේ සිටි වෙළඳ ඇමති බන්දුල දැන් කියන්නේ පොල් තෙල් අවුල් නම් පාම් තෙල් කාපල්ලා කියාය.

කැබිනට් පත්‍රිකාවට අනුව වැඩේ වුණා නම් දැන් කාලය හරි ය. ඇමති බන්දුල කියන විදියට ජනතාවට පාම් තෙල් කන්නට අවශ්‍ය නැත. කැබිනට් තීරණය හරහා දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් නිපදවූ පොල් තෙල් පරිභෝජනය කිරීමේ වාසනා මහිමය මෙරට පාරිභෝගික ජනතාවට උදාවිය යුතුය. නමුත් ඒ ගැන කිසිදු හාවක් හූවක් නැත.

ඔය යන විදියට ගෙන්වූ පොල් කෑලිවලට යම් අකරතැබ්බ්කට මුහුණ දීමට සිදු වී දැයි අප නම් දන්නේ නැත.

නමුත් මේ සියල්ල කාලයෙන් කාලයට – තාලයෙන් තාලයට රටවැසියන් රවටන සේප්පඩ විජ්ජාවන් බවට පත්ව ඇත.

ලංකවේ ප්‍රධාන අපනයනය භෝගයක් ලෙස කියන පොල් ගැන දුක හිතෙන කතා ගොඩක්

පොල් ගැන දුක හිතෙන කතා ගොඩක් තිබේ. නමුත් එකක් කියා කතුවැකිය අවසන් කිරීම සුදුසු ය.

ඇත්තටම ලංකවේ පොල් ජනතා අවශ්‍යතාවයට ප්‍රමාණවත් ද? පොල් මිළ සහ තෙල් මිළ ඉහළ යන්නේ කෙසේද?

පිළිතුර මෙසේ ලියා තබමු.

ලංකාවේ පොල් පාලනය කරන්නේ බහු ජාතික සමාගම් ය.

දිනකට පොල් ගෙඩි ලක්ෂ ගණනක් යොදගෙන ඔවුහු පිටිකළ පොල්කිරි සහ මිටි කිරි රැස් කරති.

ඒවා මෙහෙ වෙළෙඳ පොළට වඩා යන්නේ පිටරටට ය. මැදපෙරදිග, ඉන්දියාව සහ යුරෝපයට මෙහෙ පොල් කිරි, පොල් තෙල්වල රස බැලිය හැකි ය.

දවසකට ලංකාවේ වතුවලින් පොල් ගෙඩි ලක්ෂ ගණනක් ඇඹරී පිටරට පැටවූ පසු ලංකාවේ පාරිභෝගික ජනතාවට පොල් පොපොල් පොල් නොව එලොව පොල් පෙනීම අරුමයක් නොවේ.

කිසිදු රජයකට මෙම තත්වයට සංවේදී වෙමින් ව්‍යපාරිකයනුත් පාරිභෝගික ජනතාවත් ආරක්ෂා කරගැනීමේ වැඩ පිළිවෙළක් නම් නොමැති බව පැහැදිලි ය.

එවැනි අවස්ථාවල අදාළ අයගෙන් ජනතාවට අහන්නට තිබෙන්නේ ගමේ විදියට ” අපිට කෙළ වෙන කොට උඹලා ආච්චිට හාල් ගරනවාද?” කියා පමණි.

© මී මැස්සා

About The Author