Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පැලෝපීය නාල අතින් අඹරා සිංහල බෞද්ධ කාන්තාවන් 4000 ක් වඳ කළ කතාව වඳ වෙයි : හිඟ වැටුප් සහිතව වෛද්‍ය සාෆි යළි සේවයට

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ආයතන සංග්‍රහයට එරෙහිව කටයුතු කරලා සෞඛ්‍ය ලේකම් කරුණු විමසයි

අධ්‍යක්ෂවරයා පිළිතුරු ලියයි : හිඟ වැටුප් නොගෙවූ හේතුව කියන්නට මීට පෙර සිටි රෝහල් අධ්‍යක්ෂවරයාගේ මුලිකත්වයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාවකුත් අමුණයි

සාක්ෂි සහිතව ඔප්පු කළ බව කී දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ සාක්ෂි කෝ ?

කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්. එස්. එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳසැත්කම් සිදු කළ බවටත් දරු ඵල නොලැබෙන අයුරින් පැලෝපීය නාලිකා අතින් අඹරා ඇති බවටත් මුල්ම අනාවරණය සිදු කරන ලද්දේ දිවයින පුවත් පත මගිනි.

එහිදී ඔවුන් වාර්තාකර තිබුණේ,

”සිංහල බෞද්ධ මවුවරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය. තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියහ.”

මේ වාර්තාව පල වීමත් සමග සමස්ත සමාජය තුළම මහත් කැළඹීමට එය හේතුවක් වූ අතර ඒ හරහා ජාති වාදී අරගලයක් ඇති වීම වළක්වා ගනු ලැබුවේ මහත් පරිශ්‍රමයකින් බව රහසක් නොවේ.

මව්වරුන් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර ඒ හේතුවෙන් වෛද්‍ය ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණි.

වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට වර්තමාන ආණ්ඩුවට සමීප කණ්ඩායම්වල භික්ෂූන්, දේශපාලනඥයන්, විවිධ මාධ්‍ය ආයතන ආදී විවිධ පාර්ශව චෝදනා කළ අතර එම සිද්ධිය ජාතිවාදය අවුළුවාලමින් දේශපාලන බල හුවමාරුවක් සඳහා පාවිච්චි කරන ලද බව ද රහසක් නොවේ.

ඔහුට චෝදනා එල්ල කරනු ලැබූවන් අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු වෛද්‍යවරු මෙන්ම කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානියෙකු සිටි බවද පැවසේ.

කෙසේ වෙතත් අදාළ රෝහල් අධ්‍යක්ෂවරයා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හිතවතෙකු බවට සහ අදාළ චෝදනාව එල්ලවූ වෛද්‍යවරයා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාටත් පසු කාලයක් එක්සත්ජාතික පක්ෂයටත් සම්බන්ධ වූ අයෙකු බවටත් කරුණු හෙළි වුණා.

කෙසේ වෙතත් මේ දක්වා වෛද්‍ය සාෆිට එරෙහිව නැගූ කිසිදු චෝදනාවක් විද්‍යාත්මකව තහවුරු කිරීමට නොහැකි වී නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු සම්බන්ධයෙන් චෝදනා එල්ල කාන්තාවන් කිහිප දෙනෙකුට වන විට දරුඵල ලැබී ඇති බවද හෙළිව තිබෙනවා.

මේ තත්වය තුල අවසානයේ රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය එස්. එස්. එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා..

එම නියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර ඇති අතර ඔහු අදාළ නියෝගය ලිඛිතව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම අනිවාර්ය නිවාඩු යවා ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් කුරුණෑගල අධ්‍යක්ෂකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

කිසි වෙතත් මීට පිළිතුරු ලිපියක් යොමු කරමින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබෙන්නේ මීට පෙර සිදු කළ මූලික පරීක්ෂණ වාර්තා හරහා විශේෂඥ වෛද්‍ය සාෆි මහතා වරදකරුවෙකු බව ඔප්පු වී ඇති බවයි.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුකරන බව ද ඔහු එවා ඇති පිළිතුරු ලිපියෙහි සඳහන්.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ අනුව කටයුතු කරන බව ද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කර තිබෙනවා.

About The Author