Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු ප්‍රහාරයේ සාපය ආණ්ඩුවට වැදිලා, කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ නොකරන්නේ රහස් හෙළිවේ යැයි බියෙන් – මනූෂ නානායක්කාර

පාස්කු ප‍්‍රහාරය පිළිබදව වන ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව ආණ්ඩුව සගවාගෙන සිටින්නේ එයට වගකිව යුතු ආණ්ඩුවේ අය ආරක්ෂා කරගැනීමටදැයි යන සැකය පවතින බවත්, මේ වාර්තාවේ ඇති තමන්ට වාසි දේ පමණක් ප‍්‍රසිද්ධ නොකර සැබෑ සත්‍ය හෙළි කිරීමට ජනාධිපතිවරයාට බලපෑම් කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

මෙම වාර්තාව ප‍්‍රකාශයට පත් නොකරන්නේ එය භූමරංගයක් සේ තමන්ගේ පැත්තට කැරකැවේයැයි ආණ්ඩුව සැක කරන නිසාදැයි මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“පාස්කු ප‍්‍රහාරය පිළිබදව වන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබද අධ්‍යයන කිරීමට පත් කර ඇති කමිටුවේ සාමාන්‍ය පෙළවත් සමත් අය නෑ, මේ නිසා මෙය පිළිගත නොහැකි බව කාදිනල්තුමා පවසා තිබෙනවා. මේ පාස්කු කොමිසන් වාර්තාවේ තීන්දු ක‍්‍රියාත්මක කරනවා වෙනුවට, ජනාධිපතිවරයාට අවශ්‍ය තීන්දු පමණක් ක‍්‍රියාත්මක කිරීමට මේ කමිටුව සූදානම් වන බව මාධ්‍ය වාර්තා පළවෙනවා” යනුවෙන්ද පැවසු නානායක්කාර මහතා දෙසීය හැටකට අධික ජීවිත අහිමි වූ පාස්කු ප‍්‍රහාරය යට ගසා, පාස්කු ප‍්‍රහාරයට සැබෑ ලෙසම වගකිව යුතු පුද්ගලයින් සැගවීමට රජය ක්‍රියාකරමින් සිටින බවද සඳහන් කරනවා.

“පාස්කු දඩයම කර තියාගෙන ගියේ කවුද කියලා අපි හැමෝම දන්නවා. ඒත් තුවක්කුව බැන්දේ කවුරුන්ද කියලා එළියට එන එක වැලැක්වීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් තවත් කමිටුවක් දාලා තියෙනවා. තමන්ට අවශ්‍ය තීන්දු පමණක් ක‍්‍රියාත්මක කරන තැනට දැන් ඇවිත් තියෙනවා” යනුවෙන්ද සදහන් කරන මනුෂ නානායක්කාර මහතා , පාස්කු ප‍්‍රහාරයේ වගකීම භූමරංගයක් සේ රජය වෙත එල්ල වී ඇති මොහොතක අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව ක‍්‍රියාත්මක නොකරන්නේ තමන්ගේ අය බේරා ගැනීම සදහාද කියන සැකය සමාජය තුළ නිර්මාණය වී ඇති බවද සඳහන් කළා.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා “පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමේ සාපය ආණඩුවට වැදිලා තියෙනවා. පාස්කු ප‍්‍රහාරය පිළිබද වන ජනාධිපති කොමිසමේ වාර්තාව ආණ්ඩුවට බය නැතිව එළියට දාන්න පුලුවන්ද?

කටුවාපිටියේ බෝම්බකරුගේ බිරිද වන සාරාගේ ප‍්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කර නැත්තේ ඇයි?

සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශ තවදුරටත් ගන්නේ නැත්තේ ඇයි? ඉන්දියාවේ දැනට සිටින සාරා ලංකාවට ගෙන්වාගෙන ඇයගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඇයි?

මේකට වග කිව යුතු පුද්ගලයින් ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ මේ ම්ලේච්ඡ ක‍්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් කාගේ හෝ සුරතුලුන් බවට පත් වෙලා සිටින නිසාද කියන සැකය තිබෙනවා. එහෙමත් නැතිනම් මේක තමන්ගේ උවමනාවට සිදුවූ ක‍්‍රියාවක්ද කියන සැකය ජනතාවට තිබෙනවා.

තවදුරටත් මේක සැකයක් බවට පත් නොකර සත්‍ය ජනතාවට හෙළි කරන්න. මේක ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට, තමන්ට වාසි දේ විතරක් එළියට දාන්නේ නැතිව සත්‍ය එළියට දාන්න කියලා අපි ජනාධිපතිවරයාට බලපෑම් කරනවා” යනුවෙන්ද පැවසීය.

About The Author