Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නුදුරේදීම ඉන්ධන, ගෑස් සහ විදුලි බිල ඉහළ යන ලකුණු

2019 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අද (20) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 08 හි රැස්වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය යොමු ව තිබෙනවා.

භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව පත් කළ අමාත්‍ය අනුකමිටුවේ තෙවැනි සාකච්ඡාවයි මෙලෙස පැවැත්වුණේ.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල 2019 – 2020 වර්ෂ වලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යෑම  අවධානය යොමු කරමින් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විටත් පියවමින් ඇත්තේ 2019  වර්ෂයට අදාළ ණය මුදල් බව මෙහි දී අනාවරණය වුණා.

පසුගිය වසරේ මුදල් අමාත්‍යංශය මැදිහත්වී ඉන්ධන මිල ස්ථායි කිරීම යටතේ රුපියල් බිලියන 50ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79ක ණය ලැබීමට නියමිතව ඇති බව මෙහි හෙළි වුණා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව තවදුරටත් ඉහල ගොස් තිබෙනවා.

මෙම තත්වය තුළ ඉන්ධන මිල ඉහල දැමීම අනිවාර්යෙන්ම කල යුත්තක් බවයි සාකච්ඡා වී තිබෙන්නේ.

එමෙන්ම විදුලි ඒකකයක් පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් ද මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් 10ක පමණ පාඩුවක් ලබන බව ද මෙහිදී නිලධරීන් විසින් පෙන්වා දී තිබෙනවා.

වාර්තාවන අන්දමට ජනතාවට යම් අස්වැසිල්ලක් ඇති කිරීම වෙනුවෙන් ඉන්ධන මිල සහ විදුලි බිල්පත් ගාස්තු එක්වර ඉහළ දැමීමේ සුදානමක් නොමැති බව වාර්තා වන නමුත් නුදුරේදීම ඉන්ධන මිල සහ විදුලි බිල්පත් ගාස්තුවල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ සියල්ලටම පෙර ගෑස් මිලෙහි ඉහල යාමක් සිදු වනු ඇති.

About The Author