Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නාන්නෙ නැති රජවරු.

ඔබ සතියකට කී වතාවක් ස්නානය කරනවා ද? අත දරුවන් නම් අම්මලා දිනපතා නහවති. අපි වැඩිහිටි වූ විට අවම වශයෙන් සතියකට තුන් හතර වතාවක්වත් ස්නානයෙහි යෙදෙමු. වැඩිහිටියන් දිනපතා නෑම ශරීරයට එතරම් හිතකර නොවන බව ඇතැම් වෛද්‍යවරු පවසති. හැරත්, එසේ කිරීමට තරම් අප හට කාල වේලාවක් ද නොමැත. ඒ කෙසේ වුවත් නෑම යනු අප ජීවිතයට අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. 

මධ්‍යකාලීන යුගයේ රජවරුන් සහ බිසෝවරුන්ගේ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳ බොහෝ කතාබහට ලක් ව තිබේ. එනමුත් ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ සියලු කරුණු අප ඇත්තටම දන්නවාද? හැම විට ම නැවුම් ලෙස ජීවත් වීම සහ මූලික සනීපාරක්ෂාව පවත්වා ගැනීම වර්තමානයේ දී අත්‍යවශ්‍ය කරුණක් වන බව සත්‍යයකි. එනමුත් මධ්‍යකාලීන රජවරුන්ට සහ රැජිනියන් හට එම කාලයේ දී ස්නානය කිරීම තහනම් කර තිබූ බව ඔබ දැන සිටියාද? ඔව්, එය ඇත්තකි.

එකල ඇති තරම් පිරිසිදු ජලය ලබා ගැනීම තරමක් දුෂ්කර වූ නමුත් ජලය ලබා ගත හැකි වූ අය පවා ස්නානය කළේ කලාතුරකිනි. XVI වන ලුවී රජු සිය මුළු ජීවිත කාලය තුළ දී ම ස්නානය කර තිබුණේ දෙවතාවක් පමණක් බව විශ්වාස කෙරේ. ඔහු පමණක් නොව, ස්පාඤ්ඤයේ ඉසබෙලා රැජින ද ඉපදුණු හැටියේ ම එක් වරක් සහ ඇගේ විවාහ දිනයේ එක් වරක් වශයෙන් දෙවරක් පමණක් ස්නානය කර ඇත. ඒ හැර අන් කිසිදු දිනෙක සම්පූර්ණ ශරීරය ම එක විට සෝදා හැරීම සිදු වී නැත. සෑම උදෑසනක ම මුහුණ, අත් පා සහ අත්‍යවශ්‍ය ස්ථාන පමණක් දොවා ගැනීමට එම රජවරුන් මෙන් ම රැජිනියෝ ද උත්සුක වූහ. හිස සෝදාලීමට අවශ්‍ය වූ විට දී ශරීරයේ අන් කිසිදු ස්ථානයකට ජලය නොගෑවෙන සේ හිස පමණක් තෙමා ගත්හ. මෙම අත්‍යවශ්‍ය සනීපාරක්ෂක කටයුත්ත සිදු නොකිරීම හේතුවෙන් සිරුරෙන් පිට වන දුර්ගන්ධය මැඬලීම සඳහා ඔවුන් සිරුර පුරා මල් හා ඖෂධ පැළෑටි පොකුරු පැළඳ සිටි බව ද කියවේ. එකල සුවඳ විලවුන් එතරම් ජනප්‍රිය නොවුව ද, මෙම ක්‍රියාව තුළින් කිසියම් ප්‍රමාණයකට ගන්දය අඩු වීම හේතුවෙන් එම ප්‍රභූවරුන් මෙන් ම විශේෂයෙන් ඔවුන් වටා සිටි පිරිස ද කිසියම් සහනයක් ලැබූහ.

මෙයට හේතුව කුමක් ද? මුල් ශතවර්ෂවල දී ක්‍රිස්තියානි පල්ලිය පවසා තිබුණේ නිරුවතින් ස්නානය කිරීම තහනම් බවයි. එපමණක් ද නොව, එය පව්කාර යැයි ඔවුහු සිතූ අතර අනියම් ලිංගික ක්‍රියාවලියට හා දුරාචාරයට මෙම නිරුවත් ස්නානය මඟින් මඟ පෑදෙන බව විශ්වාස කළහ. ආගම පමණක් නොව එකල පිළිගත් විද්‍යාව ද අපිරිසිඳු ලෙස ජීවත් වීම සඳහා රුකුල් දුන්නේ ය. මධ්‍යකාලීන වෛද්‍යවරු සිතුවේ උණුසුම් ජලය විසින් සමේ ඇති කුඩා කුඩා සිදුරු පුළුල් කොට, මාරාන්තික ලෙඩ රෝගවලට ශරීරය තුළට ඇතුළු වීමට ඉඩ සලසන බව ය. එහෙයින් ඔවුහු නෑමට බිය වූහ. කෙසේ වෙතත් මෙම මිත්‍යා විශ්වාසය පැවතුණේ ප්‍රභූවරුන් අතර පමණක් බව පෙනී යයි. මන්දයත් සාමාන්‍ය ජනතාව තමන්ට ලබා ගත හැකි මට්ටමේ ජලයෙන් හෝ සිරුර පිරිසිඳු කර ගත් බව මිස, නො නා සිටි බවට ලියවී නොමැති හෙයිනි. 

මමී කුඩු.

වර්තමානයේ දී යමෙකු මියගිය විට මළ සිරුර එක්කෝ භූමදාන කරයි. නැතහොත් ආදාහනය කරයි. එහෙත් පුරාතන අවධියේ ජනතාව එම මළ සිරුර මමීගත කළ බව අපි දනිමු. 

අවයව හා රුධිර බද්ධය සිදු කිරීමේ ක්‍රියාවලිය ජනප්‍රිය වීමට ප්‍රථම මළ සිරුරුවලින් ලබා ගත් ඖෂධ වර්ගයක් පිළිබඳ කතාබහක් තිබී ඇති අතර, මියගිය අයගේ ශරීර කොටස් සහ තරල වෛද්‍යවරුන් විසින් ඖෂධ ලෙස භාවිත කළ බව පෙනේ. රුධිරයේ මෙන් ම මමීගත කරන ලද සිරුරුවල අවශේෂයන්හි ද ගුප්ත සුව කිරීමේ ශක්තියක් ඇති බවට විශ්වාස කෙරුණු අතර එමඟින් රෝගීන්ට කිමියම් නිශ්චිත රෝගවලින් සුවය ලැබිය හැකි බව කියවිණි.

විශේෂයෙන් ඊජිප්තුවරුන් විසින් මිය ගිය මිනිස් සිරුරුවලින් ලබා ගත් මේදය, යම් යම් හේතූන් නිසා රිදුම් දෙන මාංශ පේශි මත ආලේප කර තිබේ. එමඟින් මස්පිඬු වේදනාවන් සමනය වී ඇත. තව ද හිසරදය සඳහා මමී කුඩු සහ ඉරුවාරදය සඳහා හිස් කබලෙන් ලබා ගත් කුඩු ද යොදා ගෙන තිබේ. පුනරුද යුගය පුරාවට ම එංගලන්තය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය යනාදී රටවල යුරෝපීයයන් ද මමීගත කරන ලද සිරුරුවලින් ලබා ගත් කුඩු භාවිත කළ අතර ඒවා ධනවත් පුද්ගලයින් අතර පමණක් නොව දුගී දුප්පත් ජනතාව අතර ද උණුසුම් ලෙස විකිණුනු වෙළඳ භාණ්ඩයක් බවට පත් ව තිබිණි. වර්තමානයේ දී මෙවැනි ගුප්ත විශ්වාස හිස මත තබාගෙන ඇති මිනිසුන් ද හැකියාවක් තිබේ නම් පුරාණ ඊජිප්තු මමී කොටස් සොරකම් කරගෙන ගොස් ඒවා කුඩු කර යම් යම් රෝගවලට පිළියම් යෙදීම සඳහා භාවිත කරන බවට සැකයක් පවතී.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author