ගිනිකොනදිග එංගලන්තයේ කොවිඩ් 19 වෛරසයේ නිශ්චිත ප්‍රභේදයක් හේතුවෙන් ඇති වූ රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව 2020 දෙසැම්බර් මස මුල දී විද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු විය. සාමාන්‍යයෙන්, එක්සත් රාජධානියේ සිටින සියලු ම කොවිඩ් රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 5-10%ත් අතර සංඛ්‍යාවක් වසංගත රෝග පරීක්ෂාව සඳහා අනුපිළිවෙළින් යොමු කෙරෙයි. ඒ අනුව කෙන්ට් ප්‍රාන්තයේ රෝගීන්ගෙන් 4%කගේ දත්ත නියමිත පිළිවෙළට පැවතුණ ද, ලබා ගෙන තිබූ සාම්පල 255න් 117ක් ම, එනම්, අඩක පමණ පැහැදිලි “ෆයිලොජෙනටික්” පොකුරක් සෑදී තිබෙන බව සොයා ගැනිණි. මෙයින් අදහස් කරන්නේ අලුතින් සෑදුණු වෛරස සමූහය ජානමය වශයෙන් බෙහෙවින් සමාන වුවත් බෝ වීම හා පැතිරීම අතින් වෙනස් වන බව යි. මෙම වෙනස්කම් හේතුවෙන් ආසාදිතයින්ගේ තත්ත්වය අතිශයින් බරපතල විය හැකි ය. මන්දයත් නව ප්‍රභේද ඇති වන්නේ එන්නත්වලට ඔරොත්තු දීමේ හැකියාවත් සමඟ වන බැවිනි.
හඳුනාගැනීමෙන් පසු මෙම ප්‍රභේදය (VOC-202012/01) හෙවත් B.1.1.7 ලෙස නම් කර ඇත. B.1.1.7 ගිනිකොනදිග එංගලන්තයෙන් ඔබ්බට වේගයෙන් ව්‍යාප්ත වී ගිය අතර මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් වාර්තාවක් ද නිකුත් කරන ලදී. 2021 ජනවාරි 15 වන විට එක්සත් ජනපදය ඇතුළු රටවල් 52ක එය වාර්තා වී තිබිණි. මෙම අවස්ථාවේ දී ලබා ගත හැකි අවම දත්ත අනුව මතභේදාත්මක වුව ද, සංඛ්‍යාලේඛනවලින් ඇඟවෙන්නේ මෙම වික්රියාවල සම්ප්‍රේෂණය වීමේ හැකියාව 56%කින් ඉහළ ගොස් ඇති බව යි. එය බෝ වීමේ අනුපාතය කුමක් ද? යන්න සහ තනි හෙවත් ප්‍රාථමික ආසාදනයකින් ද්විතියික ආසාදන කීයක් සිදු විය හැකිද? යන වග තවමත් කිව නොහැකි ය. දැනට එම ප්‍රතිශතය 0.7%කින් වැඩි වී ඇති බව පෙනේ. නව ප්‍රභේදයේ සොයාගැනීමත් සමඟ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් දැඩි අගුලු දැමීමේ ක්‍රියාමාර්ග කිහිපයක් ම ගත් අතර තවත් රටවල් බෙහොමයක් තවමත් එක්සත් රාජධානිය සඳහා සංචාරක තහනම පනවා ඇත.
මෙවැනි විකෘතිතා ඇති වන්නේ ඇයි?
සියලුම වෛරස කාලයත් සමඟ පරිණාමය වී විකෘති වන අතර කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ද එහි වෙනසක් අපේක්ෂා කළ නොහැකි ය. ඒ අනුව සෑම මසකම නව විකෘතිතා එකක් හෝ දෙකක් ඇති විය හැකි ය. විකෘතියක් යනු වෛරසයේ පදනම, ඇතුළු වීම, මැකී යාම, ආදේශක හෝ ප්‍රතිසංවිධානයන් නිසා න්‍යෂ්ටික අම්ලය තුළ ඇති වන අනුක්‍රමයේ වෙනස් වීමකි. සමහර විකෘති “නිහඬ” ඒවා වන අතර ඒවායින් වෛරසයේ හෝ ආසාදිතයින්ගේ රූපානුදර්ශය වෙනස් නොකරයි. අනෙක් ඒවා නව ප්‍රෝටීන හෝ වෙනස් වන සෛලීය සැකසුම්වලට හේතු විය හැකි අතර ඒවායින් වෛරසයේ රූපානුදර්ශය වෙනස් වෙයි.
වෙනත් ආර්.එන්.ඒ. වෛරසවල සාමාන්‍යයෙන් නොමැති එන්සයිමයක් හේතුවෙන් කොරෝනා වෛරසය ඒවාට වඩා තරමක් මන්දගාමී ය. එසේ වුව ද, මුල් වූහාන් ප්‍රභේදයෙන් වෙනස් වූ ප්‍රභේද සැලකිය යුතු ගණනක් දැනටමත් මතු වී තිබේ. වසංගතයේ මුල් අවධියේ දී ම එක් විකෘතියක් මතු වූ අතර 2020 ජුනි මාසය වන විට එය ප්‍රමුඛතම ගෝලීය ප්‍රභේදය බවට පත් විය. B.1.1.7 යනු මුල් වුහාන් ප්‍රභේදයෙන් වෙනස් වූ 23 වන විකෘතිතාව යි. ඉන් 8කට ම හේතු වී තිබුණේ ස්පයික් ප්‍රෝටීන් ය. (ස්පයික් ප්‍රෝටීන් යනු ඉහළ ග්ලයිකෝසිලේටඩ් සහ විශාල වර්ගයේ අයි ට්රාන්ස්මෙම්බ්රේන් විලයන ප්‍රෝටීනයක් වන අතර එය වෛරස වර්ගය අනුව ඇමයිනෝ අම්ල 1,160 සිට 1,400 දක්වා ප්‍රමාණයකින් සෑදී ඇත.) කොවිඩ් වෛරසයේ හැඩය පිළිබඳ අප දන්නා රූපයේ රඹුටන් ගෙඩියක කෙඳි මෙන් පෙනෙන්නේ ඒවා ය.
අද වන විට, B.1.1.7 ප්‍රභේදය අනෙකුත් කොවිඩ් වික්රියාවලට වඩා දරුණු රෝගාබාධවලට හේතු වන බවට සැලකිය යුතු සාක්ෂි නොමැති අතර, එන්නත් මඟින් ඇති කරන ප්‍රතිශක්තියේ කාර්යක්ෂමතාව අඩු කිරීමට විකෘතිය ප්‍රමාණවත් වනු ඇතැයි සිතිය නොහැකි ය. කෙසේ වුවත් මේ පිළිබඳ ගැටලු තවමත් සාකච්ඡා වෙමින් පවතී. ෆයිසර් එන්නත ලබාගත් රෝගීන් 20 දෙනෙකුගේ රුධිර සාම්පල ගෙන, තවත් එවැනි ම කොවිඩ් විකෘතියක් වූ N501Y විකෘතිය සමඟ ජනනය කළ විට අදාළ විකෘතිය එන්නත මඟින් පාලනය වී තිබිණි. කෙසේ වෙතත්, ඒ වන විට විද්‍යාගාරය තුළ නවීකරණය කරන ලද වෛරසයට B.1.1.7 විකෘතිවල සම්පූර්ණ කට්ටලයක් ලැබී නොතිබුණි. එහෙයින් එන්නත් මඟින් නව ප්‍රභේදය ඵලදායී ලෙස මැඬපවත්වනු ඇත් ද? නැති ද? යන වග තවමත් සිතා ගත නොහැකි ය.
B.1.1.7 හඳුනා ගන්නේ කෙසේද?
මේ වන විට එක්සත් ජනපදය තුළ ජාතික පරීක්ෂාව සිදු කරමින් පවතින අතර ඔවුන්ගේ සමහර විද්‍යාගාර තුළ RT-PCR පරීක්ෂාව සිදු කරයි. ඒ හරහා කොවිඩ් ජාන 3 ක් (N, ORF1ab සහ S) පරීක්ෂා කෙරේ. නව වෛරසයේ ජාන විකෘතිතා හේතුවෙන්, 97%කට වඩා වැඩි ප්‍රමාණයක් එස් – ජානවලට ඍණාත්මක වන අතර ඉතිරි 3% යනු B.1.1.7 විකෘතිය යි. දැනට පෙනී යන අන්දමට සාමාන්‍ය PCR පරීක්ෂණයකින් පවා නව ප්‍රභේදය හඳුනා ගත හැකිය. කෙසේ වුවත් මෙම නව විකෘතිතා හේතුවෙන්, පෙර දී ස්පයික් ප්‍රෝටීන් ජානය පරීක්ෂා කොට ලැබුණු ප්‍රතිඵල වෙනස් වූ අවස්ථා ද තිබේ. එනම් ඇතැම් පී.සී.ආර්. පරීක්ෂණවලින් ලැබෙන තොරතුරු වැරදී ගිය හැකි ය. මේ වන විට ආහාර හා ඖෂධ පාලක මණ්ඩලය (FDA) විසින් වසංගත ප්‍රභේද 3ක් හඳුනා ගැනීම සඳහා උපක්‍රමයක් නිකුත් කර ඇති අතර B.1.1.7 හඳුනාගැනීමේ දී ද එය ම භාවිත කළ හැකි ය.
2020 දෙසැම්බර් 29 වන දින සිට එක්සත් ජනපදය තුළ B.1.1.7 ප්‍රභේදය හඳුනා ගැනීම සම්බන්ධයෙන්, රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (සී.ඩී.සී.) විසින් වෙනම ම ක්රියාකලාපයක් දියත් කරමින් පවතියි. එදින සිට එක්සත් ජනපදය තුළ සිටින රෝගීන් මිලියන 17න් 51,000කගේ පමණ සාම්පල සම්පූර්ණ අනුපිළිවෙලට සකස් කර තිබේ. 2020 නොවැම්බරයේ දී සී.ඩී.සී. ය විසින් ජාතික SARS-CoV-2 වික්‍රියා නිරීක්ෂණ වැඩසටහන දියත් කරන ලදී. ඒ අනුව 2021 ජනවාරි වන විට සෑම ප්‍රාන්තයකින් ම අවම වශයෙන් සාම්පල 10 බැගින් සතිපතා සී.ඩී.සී.යට යැවිය යුතු අතර එමඟින් B.1.1.7 පමණක් නොව වෙනත් ඕනෑ ම කොවිඩ් ප්‍රභේදයක් ඉක්මනින් හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත. මේ වන විට ඉන්දියාව තුළ පැතිර යන්නේ ද B.1.1.7 බව හඳුනා ගත්තේ එලෙස ය.
මෙම නව කොවිඩ් වෛරස ප්‍රභේදය කෙතරම් දුරට වසංගතයේ ස්වාභාවය වෙනස් කරනු ඇත්ද? යන්න තවමත් පැහැදිලි නැත. ඒ සම්බන්ධයෙන් තවමත් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න බොහොමයක් පවතී. කෙසේ වෙතත්, නව ප්‍රභේදය විසින් නිසැකවම ජාතික හා ගෝලීය නිරීක්ෂණ වැඩසටහන්වල ඇති වැදගත්කම මෙන් ම ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාවයේ හා දත්ත හුවමාරු කිරීමේ ඇති වැදගත්කම ද අවධාරණය කර තිබෙන බව පෙනේ.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්