වසර දොළහක් තිස්සේ ඊශ්‍රායලයේ අගමැති වශයෙන් බලයේ රැඳී සිටි බෙන්ජමින් නෙතන්යාහු හට නැවත ගෙදර යාමට අවස්ථාව පසුගිය ජුනි 13 වන දිනයේ දී උදා විය. ඒ, මෙයට සති කිහිපයකට පමණ පෙර පැවැති මැතිවරණයෙන් නෙතන්යාහු පරදා ජයග්‍රහණය අත් කර ගැනීමට “යමිනා” පක්ෂයේ නායක නෆ්තලී බෙනට් සමත් වූ බැවිනි. එළඹෙන 2023 වසරේ සැප්තැම්බර් මස දක්වා ඔහු ඊශ්‍රායලයේ අගමැතිවරයා වශයෙන් කටයුතු කරනු ඇති අතර දීර්ඝතම කාලයක් අගමැති වූ නෙතන්යාහු, දක්ෂිනාංශික “ලිකුඩ්” පක්ෂයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් විපක්ෂයේ නායකයා බවට පත් වනු ඇත.
අගමැති වීමට පෙර බෙනට් මහතාගේ අදහස වී තිබුණේ ඊශ්‍රායෙල් – පලස්තීන අර්බුදයට සාමයේ විසඳුමක් නොදීමට යි. එනමුත් පසුව බොහෝ විදෙස් නායකයින් විසින් ඔවුන්ගේ සුබ පැතුම් පණිවිඩ තුළ සාමය පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු කර තිබිණි. ඒ හේතුවෙන් බෙනට්ගේ අදහස වෙනස් වූ බව පෙනේ.
එහෙයින් අගමැති වශයෙන් දිවුරුම් දීමෙන් පසු ඔහු සිදු කළ කතාවේ දී බෙනට් පැහැදිලි ව පොරොන්දු වූයේ වසර ගණනාවක් තිස්සේ පැවති දේශපාලන බාධාවන්ගෙන් ඊශ්‍රායලය මුදවා, එම ජාතිය එක්සත් කිරීමට ය. ඔහු පවසන පරිදි සිය රජය සියලු රටවැසියන්ගේ අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරනු ඇත. අගමැති වශයෙන් සිය වගකීම් ලයිස්තුවේ මුල් කරුණු කිහිපය අතරට අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන් ම සාමය තහවුරු කිරීම ද පවතින බව බෙනට් සිය කතාවේ දී පවසා තිබේ. තවද සෑම දිශාවක ම වෙසෙන ජනතා නායකයින් එක් රැස් වී මෙම විකාරරෑපී යුද්ධය නැවැත්වීමට උත්සහ ගත යුතු බව ද ඔහු කියා ඇත.
“මෙය ශෝක දිනයක් නොවේ. ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක වෙනස් වීමේ දිනය යි. මින් පසු කිසිවෙකුටත් බිය නොවිය යුතු වන පරිදි අපි අපට හැකි සෑම දෙයක්ම කරන්නෙමු. ඒ වගේම අද රාත්‍රියේ අපගේ ජයග්‍රහණය සැමරීමට අදහස් කරමින් සිටින අයට මම කියනවා, අන් අයගේ වේදනාව මත නටන්න එපා. අපි සතුරන් නොවේ; අපි එක ජනතාවක්.” යනුවෙන් බෙනට් මහතා අදහස් දැක්වීය.
ජාත්‍යන්තරයේ අදහස.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන්, අගමැතිවරයා සමඟ සාකච්ඡා කරමින් කලාපය මුහුණ දෙන අභියෝග සහ අවස්ථාවන් පිළිබඳ සලකා බලමින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර සහයෝගීතාව දැඩි කිරීම ඔහුගේ අභිප්‍රාය වන බව ප්‍රකාශ කළේය. ඉරානය ඇතුළු කලාපීය ආරක්ෂාව සම්බන්ධ සියලු කරුණු පිළිබඳ තම තමන් සහ ඔවුන්ගේ කණ්ඩායම් සමීප ව සාකච්ඡා කරන බවට නායකයින් දෙදෙනා එකඟ වී තිබේ. මින් පෙර ද ප්‍රකාශයක් නිකුත් කරමින් බයිඩෙන් කියා තිබුණේ බෙනට් සමඟ වැඩ කිරීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් එක්සත් ජනපදයට වඩා හොඳ මිතුරෙකු ඊශ්‍රායලයට නොමැති බවත් ය.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රජයක් පිහිටුවීම පිළිබඳ බෙනට් හට සුබ පැතූ අතර, “සැමට සාමය හා සමෘද්ධිය ළඟා කර ගැනීම උදෙසා එක්සත් රාජධානිය සහ ඊශ්‍රායලය එක්ව කටයුතු කිරීමට මෙය සුදුසු කාලයකි” යනුවෙන් සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කළේය. එරට විදේශ ලේකම් ඩොමිනික් රාබ් පැවසුවේ “ආරක්ෂාව, වෙළඳාම සහ දේශගුණික විපර්යාස පිළිබඳ අඛණ්ඩ සහයෝගීතාවෙන් යුතු ව කලාපයේ සාමය සුරක්ෂිත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙනි.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ පෙන්වා දුන්නේ ඔහු දෙරටේ විසඳුමක් සඳහා වන කැපවීම තුළ ස්ථිර ව සිටින අතර ඊශ්‍රායල හා පලස්තීනුවන් හට සාමයෙන්, ආරක්ෂාවෙන් හා අභිමානයෙන් යුතුව ජීවත් වීමටත් බියෙන් තොර, මානව හිමිකම්වලට ගරු කරන සමාජයක් බිහි කිරීමටත් තමා උපකාර කරන බවයි.
යුරෝපයීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පැවසුවේ පොදු සමෘද්ධිය සඳහා සහ කල් පවත්නා කලාපීය සාමයත් ස්ථාවරත්වයත් පවත්වා ගැනීම සඳහා යුරෝපා සංගම් – ඊශ්‍රායල් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
ජර්මානු නායිකා ඇන්ජෙලා මර්කල් අදහස් දක්වමින් “ජර්මනිය සහ ඊශ්‍රායලය එකිනෙකට සම්බන්ධ වන්නේ අද්විතීය මිත්‍රත්වයක් මගිනි. මෙය මනසේ තබාගෙන මම ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි” යනුවෙන් ප්‍රකාශ කළා ය.
මෙතුවක් නෙතන්යාහු සමඟ සමීප සබඳතා පැවැත්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද හෙබ්‍රෙව් බසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඉක්මනින් ඔබ හමුවීමටත් අප දෙදෙනාගේ රටවල් අතර උපායමාර්ගික සබඳතා දැඩි කිරීමටත් බලාපොරොත්තු වෙමි.” යනුවෙනි.
හමාස්වරුන්ගේ ප්‍රතිචාරය කුමක් ද?
ආරම්භයේ දී ම රට එක්සත් කරන බවට අගමැති බෙනට් පොරොන්දු වූ නමුත් හමාස් සංවිධානය ඒ පිළිබඳ අප්‍රසාදය පළ කර ඇති බව පෙනේ. මේ සතියේ අගභාගයේ දී “විරෝධතා දිනයක්” ඉල්ලා සිටින එම සංවිධානයේ ප්‍රතිචාර හේතුවෙන් දිවුරුම් දී දින කිහිපයක් ඇතුළත ම බෙනට් හට සිය ධූරයේ පළමු අභියෝගයට මුහුණ දීමට සිදු විය.
ගාසා තීරයේ වෙසෙන මෙම සටන්කාමී කණ්ඩායම සමඟ පසුගිය මාසයේ පැවති දින 11ක යුද්ධයෙන් තවමත් පීඩා විඳින ඊශ්‍රායල ජාතිකයින්, හමාස්වරුන්ගේ දරුණු ප්‍රතිචාරය හමුවේ සිටිනුයේ දැඩි කණස්සල්ලකිනි.
අඟහරුවාදා දිනයේ දී මතභේදාත්මක ජෙරුසලම් නගරය තුළ විරෝධතා ධජ ඔසවා ගනිමින් හමාස්වරු පාගමනක යෙදුණාහ. අවාසනාවකට මෙන් බෙනට් මහතා දිවුරුම් දීමෙන් පසු දින ම, එනම් සඳුදා දින ම ඔවුන් එම විරෝධතා රැලිය පිළිබඳ ප්‍රකාශ කළ අතර අල් – අක්සා මුස්ලිම් පල්ලියේ සහ පැරණි නගරයේ බලමුලු ගැන්වෙන්නැයි පලස්තීනුවන්ට පවසා තිබිණි. එබැවින් මේ වන විට පෙනී යන අන්දමට නව අගමැති නෆ්තලී බෙනට් කෙතරම් උත්සාහ කළ ද, සාමය ඊශ්‍රායලයට බොහෝ දුර බව යි.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්