Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපතිවරු.

ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට දෝෂාභියෝගයක් ගෙනැවිත් තිබිණි. ඒ, ඔහු විසින් උසිගන්වන ලද ජන කැරැල්ලට විරෝධය පළ කිරීමක් වශයෙනි. ඉතිහාසය පුරා මෙලෙස කොන්ග්‍රසය විසින් නිළ වශයෙන් දෝෂාභියෝගයට ලක් කර ඇත්තේ එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගෙන් තිදෙනෙකු පමණි. එනම්, ඇන්ඩෲ ජොන්සන්, බිල් ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුර කාලය තුළ දී දෙවරක් දෝෂාභියෝගයට ලක් වී තිබේ. එසේ වුවත් දෝෂාභියෝගයක් මඟින් එක්සත් ජනපද ජනාධිපතිවරයකු මෙතෙක් ධුරයෙන් ඉවත් කර නොමැත.

මේ තිදෙනාට අමතර ව එක් ජනාධිපතිවරයෙකු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විධිමත් දෝෂාභියෝග විමසීම්වලට මුහුණ දී තිබේ. ඒ, රිචඩ් නික්සන් ය. මෙම සිව් දෙනා හැරුණු විට තවත් බොහෝ ජනාධිපතිවරුන් හට දෝෂාභියෝගයට ලක් කරන බවට තර්ජන ලැබී තිබේ.

දෝෂාභියෝග ක්‍රියාවලිය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් සමඟින් ආරම්භ වේ. සභා අධිකරණ කමිටුවට ප්‍රමාණවත් හේතු සොයා ගැනීමට හැකි වී නම්, එහි සාමාජිකයන් විසින් දෝෂාභියෝගය සඳහා ලිපි ලිවීම හා සම්මත කිරීම සිදු කරනු ලබන අතර, පසුව එය ඡන්ද විමසීමක් සඳහා පූර්ණ සභාවට ගෙන යනු ලැබේ. සභාවේ සරල බහුතරයකින් දෝෂාභියෝගයක් ස්ථිර කර ගැනීමට හැකි ය. අවසාන අදියර වන්නේ සෙනෙට් දෝෂාභියෝග නඩු විභාගය යි. 

වරදකරු වුවහොත් එම පුද්ගලයා ධුරයෙන් ඉවත් කෙරෙන අතර රජයේ සේවයට නුසුදුස්සකු වනු ඇත. සෙනෙට් සභාව විසින් ජනාධිපතිවරයකු නිදොස් කොට නිදහස් කරනු ලැබුවහොත් දෝෂාභියෝග නඩු විභාගය අවසන් ය. 

පළමු දඬුවම වන ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය, තුනෙන් දෙකක ඡන්දයකින් පසු ස්වයංක්‍රීයව බලාත්මක වේ. අනාගත රජයේ තනතුරක් දැරීමට නුසුදුස්සකු වීමට නම් වෙනම සෙනෙට් ඡන්දයක් අවශ්‍ය වේ. සෙනෙට් නඩු විභාගයේ දී කිසිදු ජනාධිපතිවරයකු වැරදිකරු වී නොමැති බැවින් එම දෙවන ඡන්දය කිසි විටෙකත් පවත්වා නොමැත.

ඇන්ඩෲ ජොන්සන් – 1868 දෝෂාභියෝගය.

1864 දී ඇන්ඩෲ ජොන්සන්, ඒබ්‍රහම් ලින්කන්ගේ උප සභාපති ලෙස තේරී පත් විය. ලින්කන්ගේ දෙවන ධූර කාලයේ දී මුහුණ දුන් දුෂ්කරම තීරණය වූයේ ඒ වන විට අවසන් ව තිබූ සිවිල් යුද්ධයෙන් පසු කොන්ෆෙඩරෙට් රාජ්‍යයන් සමඟ සබඳතා නැවත ඇති කර ගන්නේ කෙසේ ද? යන්න යි. ඔහුගේ පක්ෂයේ ඊනියා “රැඩිකල් රිපබ්ලිකානුවන්ට” අවශ්‍ය වූයේ දක්ෂිණ දේශපාලනඥයන්ට දඬුවම් කිරීමට සහ නිදහස් වහලුන්ට පූර්ණ සිවිල් අයිතිවාසිකම් ලබා දීමට ය.

ලින්කන් ඝාතණය කරන විට ඔහුගේ දෙවන ධූර කාලය සඳහා තිබුණේ දින 42ක් පමණි. ජොන්සන් ප්‍රතිසංස්කරණ කටයුතු භාර ව සිටියේ ය. ඔහු වහාම කොන්ග්‍රසයේ රැඩිකල් රිපබ්ලිකානුවන් සමඟ ගැටී, කොන්ෆෙඩරෙට් නායකයින්ට සමාව ඉල්ලා සිටිමින් නිදහස් වූවන්ට ලැබීමට නියමිත දේශපාලන අයිතිවාසිකම් නිෂේධ කළේය. 1867 දී කොන්ග්‍රසය සිය ධුර කාලය සඳහා වූ පනත සම්මත කර ගත් හෙයින් එමඟින් සෙනෙට් සභාවේ අනුමැතියකින් තොරව තම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් පත් කිරීම ජනාධිපති ජොන්සන් හට තහනම් විය.

එහෙත් නීතිය ව්‍යවස්ථා විරෝධී යැයි විශ්වාස කළ ජොන්සන් ඉදිරියට ගොස් කොන්ග්‍රසයේ රැඩිකල් රිපබ්ලිකානුවන්ගේ සගයෙකු වූ ඔහුගේ යුධ ලේකම්වරයා සේවයෙන් පහ කළේය. ජොන්සන්ගේ දේශපාලන සතුරන් ඊට ප්‍රතිචාර දැක්වූයේ දෝෂාභියෝග ලිපි 11ක් කෙටුම්පත් කොට සම්මත කරගනිමිනි.

ජොන්සන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී ඡන්ද 126කින් 47කට දෝෂාභියෝගයට ලක් වූ නමුත්, සෙනෙට් සභාවේ තුනෙන් දෙකක වරදකාරී තීන්දුව තනි ඡන්දයකින් වළක්වා ගත්තේ ය. ඔහු නිදොස් වීමෙන් පසු, ඔහුගේ ධුර කාලය තවමත් ඉතිරි ව පැවති හෙයින් සෙනෙට් සභාවට තේරී පත් වූ පළමු සහ එක ම හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත් වීමට හැකි විය.

බිල් ක්ලින්ටන් – 1998 දෝෂාභියෝගය.

ක්ලින්ටන් ධවල මන්දිරයට ඇතුළු වූ මොහොතේ සිටම නීතිමය කරදරවලින් සහ අපකීර්තියෙන් පීඩා වින්දේ ය. 1993 දී ක්ලින්ටන් සහ ඔහුගේ ජනාධිපති ආර්යාව වන හිලරි, ඊනියා වයිට්වෝටර් මතභේදය පිළිබඳ අධිකරණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට භාජනය කෙරිණි. 1994 දී පෝලා ජෝන්ස් විසින් ක්ලින්ටන්ට ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබුවේ ක්ලින්ටන් තමාට හෝටල් කාමරයක් තුළ දී සිය නිරුවත පෙන්වූ බව කියමිනි.

සිත්ගන්නාසුලු කරුණ නම්, අවසානයේ ක්ලින්ටන්ගේ දෝෂාභියෝගයට තුඩු දුන් නීතිමය හේතුව වූයේ ද මෙම නඩු දෙකෙහි එකතුවක් වීම යි.  වයිට්වෝටර් සම්බන්ධය විමර්ශනය කිරීම සඳහා අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ස්වාධීන උපදේශකයෙකු වූ “කෙනත් ස්ටාර්” පත් කරන ලද නමුත් ඔහුට කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. මේ අතර, ජෝන්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් හට, ධවල මන්දිරයේ සේවය කළ 21 හැවිරිදි මොනිකා ලුවින්ස්කි හා ක්ලින්ටන් අතර අනියම් සම්බන්ධයක් ඇති බවට තොරතුරු ලැබිණි.  

ලුවින්ස්කි හා ඇගේ යෙහෙළියක වූ ලින්ඩා ට්‍රිප් අතර සිදු කෙරුණු පැය 20ක දුරකථන සංවාදයක් අතරතුර, ලුවින්ස්කි මේ සම්බන්ධය ගැන සඳහන් කළා ය. වොෂිංටන් ඩී.සී. නගරයෙන් පිටත රිට්ස් – කාල්ටන් හෝටලයේ දී ලුවින්ස්කි, තමා ජනාධිපතිවරයා සමඟ ලිංගික සම්බන්ධතාවයක් ඇති බව පිළිගත්තා ය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

ස්ටාර්ගේ විමර්ශනය අවසන් වූයේ ක්ලින්ටන්ගේ ලුවින්ස්කි සමඟ ඇති ලිංගික සම්බන්ධතා විස්තර කරන දීර්ඝ හා නොපැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් සහ සිය විමර්ශනයට බාධා කිරීමේ උත්සාහයක් ලෙස ක්ලින්ටන් බොරු කී බවට සාක්ෂි සැපයීමත් සමඟ ය.

1998 දෙසැම්බර් 19 වන දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ක්ලින්ටන්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කළේය. එහෙත් ඊළඟ සති පහේ සෙනෙට් නඩු විභාගයේ දී ක්ලින්ටන් දෙයාකාරයෙන් ම නිදොස් කොට නිදහස් කරන ලදී.

ඩොනල්ඩ් ට්‍රම්ප් – 2019 සහ 2021 දෝෂාභියෝගය.

තම දේශපාලන ප්‍රතිවාදියා වන හිටපු උප ජනාධිපති ජෝ බයිඩෙන්ගෙන් සිදුවිය හැකි වැරදි පිළිබඳ විමර්ශනය කරන ලෙස යුක්රේනයේ ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට ඔහු ගත් උත්සාහය සම්බන්ධයෙන් 2019 සැප්තැම්බර් 24 වන දින ප්‍රථම වරට ට්‍රම්ප් හට දෝෂාභියෝගයක් එල්ල විය. එහි දී සභා කථානායිකා නැන්සි පෙලෝසි විසින් ට්‍රම්ප් සම්බන්ධයෙන් විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කෙරිණි.

ට්‍රම්ප් සහ ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි අතර ජුලි මාසයේ පැවති දුරකථන සංවාදයක් සවිස්තරාත්මක ව හෙළිදරව් කිරීමෙන් පසු දෝෂාභියෝග පරීක්ෂණයට බලය පැවරීමේ තීරණය ගනු ලැබුවේ ට්‍රම්ප් යුක්‍රේන හමුදා ආධාර පෞද්ගලික දේශපාලන අනුග්‍රහයන් සමඟ සම්බන්ධ කළ බවට චෝදනා කරමිනි. පසුව ධවල මන්දිරය විසින් එම දුරකථන ඇමතුමෙහි ප්‍රතිනිර්මාණය කරන ලද පිටපතක් නිකුත් කළ අතර බොහෝ ඩිමොක්‍රටිකයින් තර්ක කළේ ට්‍රම්ප් ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට යි.

සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොන්ග්‍රසයට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කළේය. එහෙත් කිසිදු රිපබ්ලිකානුවෙක් ඊට පක්ෂව ඡන්දය නොදුන් අතර ඩිමොක්‍රටිකයෝ තිදෙනෙක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. 2020 පෙබරවාරි 5 වන දින සෙනෙට් සභාව විසින් ට්‍රම්ප් මෙම චෝදනා දෙකෙන් ම නිදොස් කොට නිදහස් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කෙරිණි.

2021 ජනවාරි 11 වන දින ඩිමොක්‍රටිකයින් විසින් දෝෂාභියෝගයේ දෙවන ලිපියක් හඳුන්වා දෙනු ලැබූ අතර එයින් චෝදනා කෙරුණේ ට්‍රම්ප් බයිඩෙන්ට විරුද්ධ ව කැරැල්ලක් නිර්මාණය කළ බවට යි. 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද අගනගරය වෙත පහර දුන් ප්‍රචණ්ඩකාරී ජන සමූහයක් උසිගැන්වූ බවට චෝදනා කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් කරන ලද දුරකථන ඇමතුම්, කථා සහ ට්වීටර් පණිවුඩ මෙම ලිපියට ඇතුළත් විය.

ජනවාරි 13 වන දින ජනාධිපති ට්‍රම්ප්ට විරුද්ධ ව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය දුන් අතර ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයට ලක්වූ එක ම ජනාධිපතිවරයා බවට ඔහු පත් විය. ට්‍රම්ප්ගේ පළමු දෝෂාභියෝගයට වඩා රිපබ්ලිකානුවන් 10 දෙනෙකු මෙහි දී ඩිමොක්‍රටිකයින් සමඟ එක්වූ අතර ඔවුහු දෝෂාභියෝගයට පක්ෂ ව ඒකමතික ව ඡන්දය ප්‍රකාශ කළහ. දෙවන දෝෂාභියෝගයට එරෙහි ව රිපබ්ලිකානුවෝ 197ක් ඡන්දය ප්‍රකාශ කළහ.

රිචඩ් නික්සන්: 1974.

එක්සත් ජනපද ජනාධිපති ඉතිහාසයේ සිදු වූ දැවැන්තම දේශපාලන අපකීර්තියට ලක් වුව ද, රිචඩ් නික්සන් කිසි විටෙකත් දෝෂාභියෝගයට ලක් නොවීය. ඔහුට විරුද්ධ ව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීමට පෙර ඔහු ඉල්ලා අස්විය. ඔහු ඉවත් ව නොතිබුණේ නම්, වෝටර්ගේට් කඩාවැටීම්වලට තමාගේ ඇති සම්බන්ධය වසන් කිරීම සඳහා කළ අපරාධ සම්බන්ධයෙන් නික්සන් දෝෂාභියෝගයට ලක් කෙරෙනු ඇත. එසේ වූවා නම් දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කෙරුණු පළමු ජනාධිපතිවරයා ඔහු වන්නට තිබිණි.

මාස හතක සාකච්ඡාවලින් පසු 1974 ජූලි 27 වන දින නික්සන්ට එරෙහි ව කෙරුණු දෝෂාභියෝගය පිළිබඳ යෝජිත ලිපි පහෙන් පළමුවැන්න සභා අධිකරණ කමිටුව විසින් අනුමත කරන ලද අතර, ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ වෝටර්ගේට් විමර්ශනයට ද එය සම්බන්ධ කෙරිණි. අධිකරණ කමිටුවේ රිපබ්ලිකානුවන් අතළොස්සක් පමණක් දෝෂාභියෝගයේ ලිපි අනුමත කිරීමට ඡන්දය දුන්න ද විධිමත් ලෙස දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණයක් පූර්ණ සභාවේ තිබුණා ද යන්න පැහැදිලි නැත.

1974 අගෝස්තු 5 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෝටර්ගේට් පරීක්ෂණයේ දී ධවල මන්දිර කාර්ය මණ්ඩලය සමඟ කළ සංවාදවල සංස්කරණය නොකළ හඬපටි නිදහස් කරන ලෙස නියෝග කිරීමෙන් පසුව සියල්ල වෙනස් විය. එහි දී නික්සන් සිය අපරාධ වසන් කිරීම සඳහා මුදල් ලබා දී ඇති බව ඔප්පු විය.

එයින් පසු නික්සන් හට රිපබ්ලිකන් කොන්ග්‍රසයෙන් පණිවිඩයක් ලැබුණි. සෙනෙට් සභිකයින් 15 දෙනෙකු හැර අන් සියල්ලන්ම දෝෂාභියෝග නඩු විභාගයක දී ඔහුට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව ඉන් කියවිණි. එහෙයින් දුරදිග සිතා බැලූ නික්සන් 1974 අගෝස්තු 8 වන දින ඉල්ලා අස්විය.

නික්සන් හට සාපරාධී චෝදනාවලින් සමාව ලැබුණ ද ඔහුගේ වෝටර්ගේට් කුමන්ත්‍රණකරුවෝ එතරම් වාසනාවන්ත නො වූහ. ජෝන් ඩීන් ඇතුළු ධවල මන්දිරයේ බොහෝ නීතිඥයින් වෝටර්ගේට් හේතුවෙන් සිරගෙට ගියහ.

දෝෂාභියෝගයක් ගෙනෙන බවට තර්ජනය කෙරුණු ජනාධිපතිවරු.

පසුගිය රිපබ්ලිකන් ජනාධිපතිවරුන් හය දෙනාගෙන් පස් දෙනෙකු ද ඇතුළු ව එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් දෝෂාභියෝග තර්ජනවලට මුහුණ දී තිබේ. එම චෝදනාවලින් කිහිපයක් කොන්ග්‍රසය විසින් බැරෑරුම් ලෙස සලකනු ලැබී තිබේ.

ජාතියේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් හට ඔහුගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වූවන් විසින් දෝෂාභියෝගයක් ගෙන එන බවට තර්ජනයක් ලැබිණි. කෙසේ වෙතත්, එය විධිමත් මට්ටමට ළඟා නොවීය.

දෝෂාභියෝග චෝදනාවලට මුහුණ දුන් පළමු ජනාධිපතිවරයා වූයේ ජෝන් ටයිලර් ය. විලියම් හෙන්රි හැරිසන් ධුරයෙන් දින 30කට පසු මිය ගියෙන් ජනාධිපති ධුරයට පත් වූ ටයිලර් හට තම පක්ෂයේ සහයවත් තිබුණේ නැත. වර්ජිනියාවේ සභා නියෝජිතයෙකු වීසින් ටයිලර්ට විරුද්ධ ව දෝෂාභියෝගයක් සඳහා පෙත්සමක් ඉදිරිපත් කළ නමුත් එය කිසි විටෙකත් ඡන්ද විමසීමක් සඳහා සභාව විසින් ගනු ලැබුවේ නැත.

1932 සිට 1933 දක්වා කාලය තුළ කොන්ග්‍රස් සභිකයෙක් හර්බට් හුවර්ට එරෙහිව දෝෂාභියෝග යෝජනා දෙකක් ඉදිරිපත් කළේය. අවසානයේ දී දෙක ම සභාගත කිරීම පමණක් සිදු විය.

වඩාත් මෑතක දී, ටෙක්සාස්හි ඩිමොක්‍රටික් නියෝජිත හෙන්රි බී. ගොන්සාලෙස් විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාවලට රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් විෂයය වූ නමුත් සභා අධිකරණ කමිටුවේ ඡන්ද විමසීමක් සඳහා එම යෝජනා කිසිවක් ඉදිරිපත් නොවීය.

ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ඩෙනිස් කුචිනිච් විසින් දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළ විට ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට තරමක් බරපතල තර්ජනයකට මුහුණ දීමට සිදු විය. බුෂ්ට ඉහළ අපරාධ සහ යුධ අපරාධ ඇතුළු වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. යෝජනාව සභා අධිකරණ කමිටුව වෙත යොමු කිරීම සඳහා සභාව ඡන්දය ප්‍රකාශ කළ නමුත් දෝෂාභියෝගය පිළිබඳ ඕනෑම කතාවක් තමා බැහැර කරන බව සභා කථානායක පෙලෝසි පැවසුවා ය. එහෙයින් එය ඉවත් කර ගැනිණි.

දෝෂාභියෝගයට සුදුසු “අධි අපරාධ සහ වැරදි ක්‍රියා” සම්බන්ධයෙන් බරක් ඔබාමාට ද චෝදනා එල්ල විය. 2012 දී රිපබ්ලිකන් නියෝජිත වෝල්ටර් ජෝන්ස් විසින් කොන්ග්‍රසයේ අවසරයකින් තොරව ලිබියාවේ මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට බලය පවරන බවට ජනාධිපතිවරයාට චෝදනා කරමින් සභා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. යෝජනාව අධිකරණ කමිටුව වෙත යොමු කළ ද එයත් කිසි විටෙකත් ඡන්ද විමසීමක් සඳහා ඉදිරිපත් නොකෙරිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author