Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“දේශපාලන අර්බුදය” රාජපක්ෂලාගේ හා ශ්‍රී ලංකාවේ අනාගතය – බී.බී.සී ය ඇසුරින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

එක් පසෙකින් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිද්දී අනෙක් පසින් කොවිඩ් වසංගතය යළි හිස ඔසවමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව අද වන විට තවත් අර්බුදකාරී මාවතක ඉදිරියට ඇදෙමින් සිටී.

ආර්ථික අර්බුදයෙන් මද හෝ සහනයක් ලබාගනු අදහසින් රජය තෙල් මිල වැඩි කළ ද ඒ හරහා ආණ්ඩු පක්ෂ අභ්‍යන්තරයේ කැකැරෙමින් තිබුණු දේශපාලන බල අරගලය එලියට පැමිණි බවක් දක්නට ලැබේ. මේ සියලු අර්බුද මැද ආණ්ඩුපක්ෂයේ එකම බලාපොරොත්තුව බවට බැසිල් රාජපක්ෂ පත්වී ඇති බව ඇතැම් මැති ඇමතිවරුන් මේ දිනවල කරන ප්‍රකාශවලින් කියැවේ.

කෙටියෙන් කිවහොත් බැසිල් රාජපක්ෂගේ ආගමනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවේ අනාගතය තීරණය කරන සාධකය ලෙස ඔවුන් විසින්ම තෝරාගනු ලැබ ඇති බවක් දක්නට ලැබේ.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු ආසනයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත් සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රී වරුන්ගෙන් එක් අයෙකු ඉල්ලා අස්වීමට නියමිත බවත් එසේ අස්වන මන්ත්‍රීවරයාට විශේෂ වරප්‍රසාද ලබාදීමට නියමිත බවත් කියැවේ.

තෙල් මිල ඉහළ දැමීමත් සමගම ඛනිජතෙල් අමාත්‍ය උදය ගම්මන්පිල තම නොහැකියාව ප්‍රදර්ශනය කළ බවත් ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධ නිවේදනයක් මගින් ඉල්ලා සිටියේය. ඒ සමගින් මෙම බල අරගලය කරළියට පැමිණියේ බැසිල් රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු තෙල් මිල අඩු කර ජනතාවට සහන දෙන බවට බැසිල් හිතවාදීන් තැන තැන පැවසීමත් සමගය.

බැසිල් රාජපක්ෂ ජූලි හය වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙන බවට රාවයක් පැවතිණි. එහෙත් ඇමරිකාවේ සිට පැමිණි ඔහුගේ නිරෝධායන කාලය ජූලි අටවනදා තෙක් අවසන් නොවන බැවින් ඔහු ජූලි අටවෙනිදා දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මාධ්‍ය හමුවේ පැවසූහ.

“බැසිල් ඇමතිතුමා කවදාද පාර්ලිමේන්තු එන්නේ කියන එකයි මොකක්ද ලැබෙන ඇමතිකම කියන එකයි අභ්‍යන්තර ප්‍රශ්ණයක්,” අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවේ පැවසීය.

“අපි ඉන්ධන මිල ගැන සංවේදියී. මේ බැසිල් ඇමතිතුමා එනවද නැද්ද නෙමෙයි, අපිට ලැබෙන පළවෙන අවස්ථාවේදී ම මිල අඩු කරනවා,” ඔහු කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවත් ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමත් සමග උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවල වෙනසක් හෝ ඔවුන්ගේ බලතල අඩු කිරීමක් විය හැකි බව දේශපාලන අරංචි මාර්ග පෙන්වා දෙයි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒමට විශාල වැඩකොටසක් ඉටුකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වමේ පක්ෂ ප්‍රසිද්ධියේම බැසිල් රාජපක්ෂ මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් වීම විවේචනය කර ඇත.

මේ අතර පසුගියදා හදිසියේම ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවති ලංකා ෆොස්ෆේට් සමාගම ඔහුගෙන් ඉවත්කර කෘෂි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පැවරුණේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් හා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ අනුෂ පැල්පිට වසර 34 ක තම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමග අභ්‍යන්තර දේශපාලන අර්බුදයේ තවත් පැතිකඩක් නිරාවරණය කරමිනි.

“කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍ර‍තිපත්තිමය තීරණ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී ගරු විෂයභාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා වශයෙන් මාත් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් බරපතල වෙනස් මත දැරීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු සුමටව ඉටුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මට නිරීක්ෂණය විය. විෂයභාර අමාත්‍යවරයා 2005 වර්ෂයේ සිට මා පෞද්ගලිකව අඳුනන හිතවතකුවූ බැවින් තවදුරටත් එම සම්බන්ධය රැකගනිමින් අමාත්‍යාංශයෙන් ඉවත් වීමට තීරණය කළෙමි,” යනුවෙන් අනූෂ පැල්පිට සිය විශ්‍රාම යාම සම්බන්ධයෙන් සටහනක් තබමින් පැවසීය.

1987 දී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරයකු ලෙස රාජ්‍ය සේවයට බැදුණු අනූෂ පැල්පිට පසුකලෙක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ වකවානුවේදී ජනපති ලේකම්වරයා ලබාදුන් නියෝගයකට අනුව යමින් සිල් රෙදි බෙදා දීම වෙනුවෙන් වරදකරු කෙරිණි. වසර හයක සිරදඬුවමකට යටත් කරන ලද ඔහු 2019 දී අභියාචනාධිකරණය විසින් සියලුම චෝදනාවලින් නිදොස් කර නිදහස් කරනු ලැබීය.

දේශපාලන අරංචි මාර්ග සඳහන් කළේ අනූෂ පැල්පිට එම අමාත්‍යංශයේ සිදුවූ ඇතැම් ටෙන්ඩර් ක්‍රියාවලින් පිළිබඳව පළ කළ සිය අකමැත්ත සහ ප්‍රශ්න සහගත බව මත මෙසේ කලින් විශ්‍රාම යාමට ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවකි.

පසුගිය ඉරිදා (ජූනි 27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිවරයා පැවසුවේ 2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ය.

එහෙත් එම නිලධාරීන් විවිධ චෝදනා මත සිරගතවීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ හේතුවෙන් රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි බියෙන් නිලධාරීන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මකවීමට මැලි වී ඇති බවද සඳහන් කළේය.

මේ අතර රටේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවූ විශාල සංවර්ධනය හා සහන වෙනුවට ජීවන වියදම ඉතාමත් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට ඇතැමුන් මැසිවිලි නගති.

පසුගියදා නිකුත් කෙරුණු දත්තවලින් පෙනුම් කෙරුනේ ජුනි මස උද්ධමනය මාස 14කින් වර්තා වූ ඉහළම අගය වූ සියයට 5.2 ක් ලෙස වර්තා වී ඇති බවකි. මේ අතර මහබැංකු වාර්තා පෙන්නුම් කරනුයේ ඉතා විශාල වශයෙන් මුදල් මුද්‍රණය කෙරෙන බවය. රටේ විදේශ සංචිත ඉතාමත් සීග්‍රයෙන් පහළ බැසීම නිසා ගෙවීමට ඇති විදේශ ණය ගෙවූ පසු රටේ ආනයනයන්ට අවශ්‍ය විදේශ සංචිත හිඟ වන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.

මේ අතර රට පුරා විවිධ ප්‍රදේශවල ගොවින් උද්ඝෝෂණයේ යෙදෙනුයේ තමන්ගේ වගා සඳහා අවශ්‍ය පොහොර නොමැති වීමෙන් එම වගා පාළුවී සිය ජීවිකාව අනතුරට ලක්ව ඇති බව පවසමිනි.

වියත් මගේ ක්‍රියාකාරිකයෙකු වන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන හා අතුරලියේ රතන හිමියන් මැතිවරණයට පෙර සිටම මෙම රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් විශාල ක්‍රියා මාර්ගයක නියැළුණු බව නොරසකි.

මේ වනවිට ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් නගන මැසිවිල්ලෙන් කියවෙන්නේ වියත්මගේ සුළු පිරිසක් විසින් තීරණ ගනු ලබන අතර බිම්මට්ටමේ විශාල වැඩ කොටසක් ඉටුකර රජය බලයට ගෙන ඒමට කටයුතු කළ බොහෝ පිරිස් මේ වන විට නොසලකා හැර ඇති බවකි.

නාමල් රාජපක්ෂ

බැසිල් රාජපක්ෂගේ දේශපාලන ආගමනයත් සමග නැවතත් දේශපාලනඥයන්ගේ බලය පිහිටුවීමට හැකි වේය යන්න ඇතැමුන්ගේ මතය වී ඇති ඇතත්, ඔහු පාර්ලිමේන්තුවට පිවිස ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයක් භාරගන්නේ සිය දේශපාලන ගමන් මග අරම්භ කිරීමට බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙවෙනි වරට ජනපතිවරණයට ඉදිරිපත් නොවන බවට කළ ප්‍රකාශයත් සමග ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත්වන බව ඔවුන් පෙන්වා දෙයි. එහෙත් නාමල් රාජපක්ෂ ද මේවන විට 2024 ජනාධිපති අපේක්ෂකත්වයට සූදානමින් සිටින බවට ඉගි පළකර ඇත.

අගමැති හා ජනපති

“පළමුවෙන්ම කිව යුත්තේ මහින්ද සහ බැසිල් ආවට ගියාට පාර මාරු වන්නේ නැතැයි කියා ය. ඔවුන් හිතෙන හිතෙන තැනින් පාර පනින්නේද නැත. ඒ දෙදෙන අද අපේ රටේ ප්‍රායෝගික දේශපාලනයේ ඉන්නා වඩාත්ම පළපුරුදු ජ්‍යෙෂ්ඨයින් දෙදෙනා ය. එවගේම මහින්දගේ පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසය තරම්ම දිගු දේශපාලන ඉතිහාසයක් බැසිල්ටද ඇත,” යනුවෙන් දේශපාලන විචාරක කුසල් පෙරේරා තම මුහුණු පොතේ සටහනක් තබමින් පැවසීය.

“ඔහු දේශපාලනයට පිවිසුනේ 1970 පාර්ලිමේන්තුවේ බෙලිඅත්ත මන්ත්‍රී ලෙස තේරී පත් වූ මහින්දගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීමෙනි….. බැසිල් යූ.ඇන්.පි ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙකු වූ ගාමිණි දිසානායකට හවුල් විය. ඔහු ව්‍යාපාර කටයුතු ඉගෙන ගත්තේ ගාමිණි දිසානායක යටතේ කඩිනම් මහවැලියේ ඔහුට බාර දුන් උප කොන්ත්‍රාත් කලමනාකරණය කිරීමෙන් ය,” යනුවෙන් කුසල් පෙරේරා තවදුරත් පැවසීය.

බැසිල් රාජපක්ෂ

කුසල් පෙරේරා පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ රනිල් – මංගල කුලකයට අයත් වන නව ලිබරල්වාදියෙකු ලෙසින් ගණන් ගැනෙන බවකි. ඒ ඔහු සිංහල-බෞද්ධ දේශපාලන ව්‍යාපෘතියෙන් ඉවත්ව විශේෂයෙන්ම සුළු ජාතින් සමග කටයුතු කිරීමට ඉතාමත් දක්ෂයෙකු බවය.

බොහෝ දෙනාගේ ගණනය අනුව බැසිල් 2024 ජනාධිපතිවරණයට සූදානම් වෙමින් දේශපාලනික තීන්දු ගන්නේ යැයි කීමත් ඔහු නැවත එන්නේ ඒ වෙනුවෙන් යැයි කීමත්, “රාජපක්ෂ දේශපාලනයට” අයත් නොවන්නක් බව පවසන කුසල් පෙරේරා, “රාජපක්ෂ දේශපාලනය තීන්දු වන්නේ මහින්දගේ දේශපාලන ඉව අනුව මිසක් එක් එක් සාමාජිකයාගේ සිතැගි අනුව නොවන” බව කියා සිටී.

“මහින්දගේ දේශපාලන ඉව ඇල්ලීම තේරුම් ගත හැක්කේ නාමල් රාජපක්ෂ ආණ්ඩු පාලනයේ එසවෙන ආකාරයෙනි. පසුගිය දිනෙක මාධ්‍යයන්හි කිසිවකුද නොදැන ඔහු විද්‍යුත් තාක්ෂණ හා ව්‍යවසාය දියුණු කිරීමේ රාජ්‍ය ඇමති වශයෙන් දිවුරුම් දෙනු ලැබූයේ ඔහුගේ කැබිනට් ඇමති ධූරයට අමතරව ය.

මෑතක සිට ඔහු අත නොගසන විෂයක් නැත. ක්ෂුද්‍ර මූල ණය වෙනුවෙන් මැදිහත් වන්නට ඔහු පොරොන්දු වන්නේය. ඇඟළුම් කර්මාන්ත හිමියන් සමග ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේත් නාමල් ය. කොළඹ වරාය නගරය සඳහා විද්‍යුත් මුදල් භාවිතය ගැන සළකා බලනවා යැයි කියන්නේද ඔහු ය. පශ්චාත් කෝවිඩ් යුගයේ ආනයන-අපනයන වෙළඳාම සඳහා සරල කෙටි ක්‍රමයක් හදා ගැනීමේ වාසිය වෙනුවෙන් රේගු හා අදාළ ආයතන සමග සාකච්ඡා කරන්නේද ඔහු ය. “ලෝක කැස්බෑ දින” උත්සවයට සහභාගි වන්නේද ඔහු ය. ජාතික කෝවිඩ් එන්නත් වැඩ සටහන වඩාත් කාර්යක්ෂම කළ හැකි ලෙස අදාළ අමාත්‍යාංශ සතු සම්පත් හවුලේ යොදා ගැනීම සාකච්ඡා කිරීමට මුල පුරන්නේද නාමල් ය. පසුගිය පොසොන් පොහොය වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව සමගින් සිරකරුවන් නිදහස් කරන්නට නියමිතව තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් රඳවා ගෙන ඉන්නා දෙමළ සිරකරුවන් නිදහස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවේදී කියන්නේද නාමල් ය.”

නාමල් රාජපක්ෂ

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර, පැවසුවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ව්‍යුහයෙන් ඔබ්බට ගොස් පුද්ගලික අභිමතාර්ථ මුදුන්පත්කරගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීමෙන් බලාපොරොත්තුවන්නේ කෙසේ හෝ බලය ලබාගැනීම හා බලයේ රැදීසිටිම පමණක් බවය.

“පක්ෂ ආකෘතියෙන් තොරව පුද්ගල කේන්ද්‍රීය යම්කිසි අරමුණු කිහිපයක් එක්ක පක්ෂයක් හැදුනොත් අර අපි පක්ෂයකින් අපේක්ෂා කරන දේශපාලන සන්දර්භය නැතිව ඒ එක එක පුද්ගලයන්ගේ ස්වාධිකාරී අරමුණු වෙනුවෙන් පක්ෂ බිහිඋනහම අර සම්ප්‍රදායික පක්ෂ නියැලෙන බලය සදහා අරගලයට වඩා ඒ පක්ෂ ඇතුළේ තියෙන බල අරගල තමයි ගොඩාක් වෙලාවට ප්‍රබල වෙන්නේ.”

“අද මේ දේශපාලන අර්බුදයක් ගොඩනැගිල තියෙන්නේ රටට හොඳ පාලකයන් නිර්මාණය වෙන්න තියෙන ඉඩ මේ හරහා ඇහිරිලා ගිහිල්ලා තියෙන නිසා.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය.

“මේ පුද්ගල කේන්ද්‍රීය පක්ෂ දේශපාලන බල පොරයේ ප්‍රධාන මාතෘකා බවට පත්වෙලා තියෙනවා. මේ අය රටේ ප්‍රධාන ප්‍රශ්ණවලට විසදුම් හොයනවාට වඩා තමගේ බලය රැකගැනීමට තමයි මුල්තැන දෙන්නේ. අද රටේ ඇතිවෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයත් මේකයි. කොවිඩ්, ආර්ථික ප්‍රශ්ණය, විදේශ ප්‍රතිපත්තියට වඩා, නායකයින් රටේ ප්‍රශ්නවලට විසදුම් හොයනවට වඩා තමගේ බල පොරයක පැටලිලා ඉන්නවා.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සුරියබණ්ඩාර සඳහන් කළාය.

© රංග සිරිලාල් – බීබීසී සිංහල

About The Author