Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙනවා කියූ එන්නතුත් නැත ,දෙවන අදියරේ ඒවාත් නැත, PCR ත් නැත – කොරෝනා ඇත. වරද ජනතාව පිට පැටවී ඇත

මේ වන විට කොරෝනා නැවත සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වමින් තිබේ.

කිසි විටකත් බලාපොරොත්තු නොවූ අයුරින් මේ වන විට දිස්ත්‍රික්ක තුනක් අධි අවධානම් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නම් කර තිබේ.

අනෙක් අතට කොරෝනා අසාදිතයින්ගෙන් මේ වන විට රෝහල් ඇඳන් පිරී යමින් පවතී.

වයෝවෘධ වැඩිහිටියන් සහ නිදන්ගත රෝගාබාධ ඇති අය මෙම රෝගය නිසා මිය යාමේ වැඩි සම්භාවිතාවයක් ඇති කීවද මේ වන විට වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් මියයාමේ නැඹුරුවක් පෙන්වමින් රෝගය ව්‍යාප්තවන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

අනෙක් සුවිශේෂීම කරුණ වන්නේ ගුවන් තොටුපොළවල් වල දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ නිරෝධායන ක්‍රමවේද අනුගමනය කරන බව පැවසුවද මේ වන විට කොරෝනාවේ නවතම වෛරස් ප්‍රභේදයන්ද අවස්ථා ගණනාවකදී මෙරටට ඇතුළු වීමයි.

සැබවින්ම ලංකාවට සිදු වුයේ කුමක්ද?

අවුරුදු නිවාඩු සමය පුරවැසියන්ගෙන් ඇතැමෙකු ගත කළේ තම පවුල් වල සාමාජිකයන් සමග බොහෝ විනෝදයෙනි. මාධ්‍ය වාර්තා වලට කොරෝනා ගැන වගේ වගක් වාර්තා නොවුනි.

කඩ සාප්පු පිරී ඉතිරි ගියේය. නුගේගොඩ එක්තරා රෙදිපිළි අලෙවිසැලක එක දිනක වාර්තාවූ පාරිභෝගිකයන් සංඛ්‍යාව 7000ක් බව කියැවුණි.

අවුරුදු අසිරිය මාර්කට් කරමින් දැන්වීම් සහ අනුග්‍රාහකත්වයන් සමග වාණිජමය පරමාර්ථ පසු පස ගිය බොහෝ ව්‍යාපාරිකයින්ට කොරෝනාව අමතක විය.

එහි වරදක් ඇති බව කීමට හැකි වුවද සමාජය දෙස බලා, රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමේ බලය පැවරී ඇති රජය මෙහිදී නිවැරදි තීරණ වෙනුවෙන් මැදිහත් වුවාද යන්න ප්‍රශ්නාර්ථයකි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සහ එයට සම්බන්ධ නිලධාරීන්ගේ කියුම් කෙරුම් අපට අමතක නැත.

අප්‍රේල් මස 19 වනදා වන විට කොරෝනා සම්පුර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කොට උත්සව සමරන බව කියූ අය අවසානයේ නතර වුයේ කොරෝනා සැදී දැඩි සත්කාර ඒකක වල ඇඳන් උඩය.

කොරෝනා තුරන් කර දැමීම කෙසේ වෙතත් එදා සිදු වුයේ මාස දෙකක් පමණ රට වසා දැමීමට සිදු වීමයි.

වර්තමානයේ ආණ්ඩුව කොරෝනා ගැන ඒ තරම් තැකීමක් නොකළේය.

ඊටත් වඩා බරපතළ ගනුදෙනු වල රජය සිර විය.

චීන ජනාධිපතිවරයා දුරකතනයෙන් අමතා ශ්‍රී ලංකාවේ ලොකු තැන්වල ලබා දුන් උපක්‍රමීය උපදෙස් ක්‍රියාවට නැංවීමේ වගකීම ඔවුන්ට පැවරුණි.

අවුරුදු කාලයේ කොරෝනා තිබුණේම නැත.

සියලු ජනී ජනයා අවුරුදු සිරියෙන් ඇලලී කල්ගත කරනු දකින්නට හැකි විය.

දෛනික කොරෝනා අසාධිතයින් ගණන 100 , 25, 70 ,50 ආදී ලෙස කෙටි පණිවිඩ ලැබෙන ජනතාව සිතුවේ කොරෝනා පරාජය කිරීමට ආණ්ඩුවට හැකි වී ඇති බවය.

නමුත් දෛනික අසාධිතයන් ප්‍රමාණය අඩුවෙන් වාර්තාවන්නේ දෛනිකව සිදු කරන PCR ප්‍රමාණය 1000 – 2000 දක්වා, අඩු කර ඇති පසුබිමකදීය යන බව නම් වාර්තාවූයේ නැත.

කොරෝනා පාලනය වී ඇති බව සමාජයට හුවා දැක්වූ මහා ප්‍රාතිහාර්ය මවා තිබුණේ සිදුකරන ලද PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීමෙන් බව සෞඛ්‍යට සම්බන්ධ වෘත්තිය සමිති අවස්ථා ගණනාවකදී පෙන්නවා දුන් නමුත් ඉන් පලක් නොවුණි.

අර්බුද ජරමර මැද ගෙන ආ ඉන්දියානු එන්නත් තොගය දේශපාලකයන්ගේ හිතවතුන්ට ප්‍රමුඛතාවය දෙමින් විද අවසන් කරන ලද අතර දෙවන මාත්‍රාව දී ගත නොහැකි වන තරමටම වැඩේ අල විය.

පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 19 – 20 අතර ආරම්භ කරන බව පැවසුවද එයත් සිදුවන බවක් දැන් පෙනෙන්නට නැත.

චීනය ද එන්නත් තොගයක් එවූ අතර චීන කොන්දේසිය වුයේ ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි.

ඒ අනුවම වැඩ සිද්ධ වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත්කරණයට අදාලව දී තිබු නිර්දේශ අනුව කටයුතු කිරීමට රජය අපොහොසත් විය.

සෞඛ්‍ය නිලධාරීන් සහ සමාජයේ ජනතාව සමග ගැටෙමින් රාජකාරි කරන සේවාවන් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබා දීම විනා ජාතියක් , ආගමක්, පුරවැසි භාවයක් මුල්කොට එන්නත් ලබාදීමේ ප්‍රමුඛතා පෙළගැස්වීමක් නම් අප අසා නැත.

නමුත් නඩුත් චීනේ බඩුත් චීනේ වූ කළ කරන්නටද දෙයක් නැත.

මේ අතර තුර මීමුරේ පැවැති ගම සමග පිළිසඳරේදී එම ප්‍රදේශයට PCR යන්ත්‍රයක් ඉල්ලූ පුද්ගලයාට ජනාධිපතිවරයා පැවසුවේ “දැන් ඔක්කොටම එන්නත දෙනවා. PCR ඕන නෑ කියාය.” එතැන සිටි සෞඛ්‍යයට සම්බන්ධ කිසිදු රජයේ නිලධාරියෙක් ඒ ගැන කිසිදු අදහසක් පළ කළේ නැත.

එන්නත දෙනවා නම් PCR මක්කටයි කියා PCR ද ලොප් වූ තැන, අද සිදුව ඇත්තේ කුමක්ද?

“දෙනවා කියූ එන්නතුත් නැත ,දෙවන අදියරේ ඒවාත් නැත, PCR ත් නැත – කොරෝනා ඇත. වරද ජනතාව පිට පැටවී ඇත”

ලංකාව නම් සුන්දර දිවයිනේ සාමාන්‍ය ස්වභාවය මෙය බැවින් වැඩිය කළබල වන්නටද අවශ්‍ය නැත. තිබෙන්නේ බුද්ධිමත්ව තීරණ ගෙන මොළ ගෙඩි පාදා ගෙන ජීවත් වීම පමණි.

© මී මැස්සා

About The Author