Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දුමින්දට දුන් ජනාධිපති සමාව “ලෝක නඩුවක්” වෙන ලකුණු

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණ දණ්ඩනය ලැබ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ද එම තීරණය තහවුරු කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටි ආර් දුමින්ද සිල්වා මහතා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල මත නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

එය දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ විරෝධතාවයක් බවට පත්ව ඇති අතර මෙම තීරණය සම්බන්ධයෙන් බන්ධනාගාර පද්ධතිය තුළ ද විරෝධතා රැල්ල නිර්මාණය වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජනාධිපතිවරයාට තීරණයට එරෙහි වෙයි

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සඳහන් කරන්නේ මෙය ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය සහ වගවීම අඩපණ වී ඇති බව හඳුනාගත හැකි තවත් එක් උදාහරණයක් බවයි.

ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණයට අපහාසයක්

දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අධිකරණය කළ අපහාසයක් බවත්, මේ රට නීතියක් නොමැති රටක් බවට ලෝකයා හමුවේ තහවුරු වන බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

‘සමගි ජන බලවේගයේ’ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්.

 ”වර්තමානයේ ජනාධිපතිවරයා කටයුතු කරනුයේ ආණ්ඩුව නම් මම යැයි සිතමින් බව පෙනේ. පාර්ලිමේන්තුව අධිකරණය තමාට රිසි පරිදි ක්‍රියා කළ යුතු බව එතුමාගේ ක්‍රියාදාමයන් තුලින් පෙන්නුම් කෙරේ.” යනුවෙන් දක්වා ඇති  එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

”මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට බරපතළ අනතුරකි. දැනටමත් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න කරමින් සිටි. යුරෝපා සංගමය පසුගියදා සම්මත කළ යෝජනාව තුල රටේ අනාගත ආර්ථිකයය ද විශාල අභියෝගයකට ලක්ව තිබේ. දේශපාලන පලිගැනීම් පිලිබද ජනාධිපති කොමිසම යනුවෙන් අපකීර්තිමත් කොමිසමකින් නිර්දේශයන් ලබා ගනිමින් අධිකරණය ලබාදුන් තීන්දු වෙනස් කිරිමට නීතිපතිතුමාට බලපෑම් එල්ල කොට තිබේ.

අමාත්‍ය මණ්ඩලය හරහා අධිකරණ තීන්දු වෙනස් කරලිමට උත්සාහ දරයි. මෙවැනි ක්‍රියාකාරකම් තුලින් පැහැදිලි වන්නේ රටේ නීතියක් හෝ ශීලාචාර පැවැත්මක් නොමැති තැනකට රට ගෙන යන බවයි.  ත්‍රි පුද්ගල මහාධිකරණයක් මගින් නියම කල දඩුවමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් තහවුරු කල දඩුවමක් මෙලෙසට විධායක බලය යොදා වෙනස් කරන්නෙනම් පැහැදිලිවම එය රටේ යහපාලනය පිලිබදව ප්‍රශ්නයක් ඇති කරන්නකි.  

මෙම සිදුවිම ඉතාමත් සංවිධානාත්මකව සිදු කල බව නොරහසකි. දේශපාලන පලිගැනීමේ කොමිසමට කිසිසේත් අදාළ නොවන දුමින්ද සිල්වාගේ නඩුකරය කොමිසමේ කාර්ය අවසන් වන මොහොතේ බාර ගැනීමත් ඒ සා බරපතල තීන්දුවක් දේශපාලන පලිගැනීමකට ලඝු කිරිමට කටයුතු කිරිම මෙම තීන්දුව දුන් එවකට කටයුතු කල අගවිනිසුරුතුමා ඇතුළු විනිසුරුතුමන්ලාට ද කල අපහාසයකි. 

දුමින්ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම ද මෙම නිර්ලජ්ජිත තීරණය ගැනීමට පසුබිම සැකසිමක් බව පැහැදිලි වේ. රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දිනෙන් දින පිරිහීමට ලක්කරන ආණ්ඩුව මෙම ක්‍රියාව තුලින් ශිෂ්ඨ සම්පන්න ලෝකයෙන් අපගේ මාතෘ භුමිය තව දුරටත් හුදකලා කරනු ඇත. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ රටේ ජනතාව බලය ලබාදුන්නේ නීතිය තමාට ඇවැසි ලෙස භාවිතා කිරිමට නොවේ.  

දුමින්ද සිල්වාට එල්ල වුයේ මිනිමැරුම් චෝදනාවකි. එම මිනිමැරීම තුල වින්දිත පාර්ශ්වයක් ද සිටි. ආණ්ඩුව තමාගේ දේශපාලන හිතවතාට සමාව දෙමින් සිදුකරනුයේ වින්දිත පාර්ශ්වයන්ට නීතියෙන් ලබා දුන් සාධාරණත්වය අහිමි කිරිමයි. මෙවැනි සිදුවිම් සිදුවිය හැක්කේ ගෝත්‍රික වැඩවසම් වහල් පාලනයක් තුල පමනි.  

තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපතිවරයා විසින් අයුතු ලෙස භාවිතා කිරිම සමගි ජන බලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ජනාධිපතිවරයා ⁣දුන් මෙම වැරදි පූර්වාදර්ශය තුලින් රටේ අනාගතය අනතුරකට හෙලා ඇත. එබැවින් වහාම මෙම නියෝගය හකුලා ගනිමින් නීතියේ ස්වාධීපත්‍ය සහ ස්වාධීනත්වයත් ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බලකරමු.

දුමින්ද සිල්වා නිදහස් කළ නියමිත ක්‍රියාදාමය කුමක්ද ?  නීතීඥ සංගමය ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කරයි 

මිනීමැරුමකට සම්බන්ධ වැරදිකරුවකු වන දුමින්ද සිල්වාට සමාව ලබා දීමේදී නියමිත ක්‍රියාදාමය අනුගමනය කළේ කොතැනද යන ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. මිනීමැරුම් වැරදිකරුවෙකුට සමාව දෙන විට ඒ සඳහා නඩු විභාගයේ විනිසුරුවරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ කැඳවිය යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. 

එමෙන්ම, ජනාධිපති සමාව සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, කරුණු සහ ඔහුට විශේෂයෙන් සමාව ලැබීමට තරම් කැපී පෙනෙන හේතූන් කවරේද යන්න මහජනතාව දැනගත යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ලිපියෙන් ජනපතිවරයා වෙත අවධාරණය කර සිටියි.  

bar association 1
bar association 2

අධිකරණයේ ස්වාධිනත්වය හෑල්ලු වනවා – ඇමරිකාව පවසයි

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය සිය කනස්සල්ල පළකර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ සිරඟත කර සිටි රැඳවියන් නිදහස් කිරීම හොද තීරණයක් වුවද, ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ද වරද කරුවෙකු බව තහවුරු කරන ලද දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් නීතිය හෑල්ලුවට ලක්වන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

බන්ධනාගාර පද්ධතිය තුළ විරෝධතා රැල්ලක් – සිල්වට දුන්න චාන්ස් එක අපිටත් දියෝ

මෙය අතර මරණ දණ්ඩනය නියමව සිටි වරදකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටින සෙසු සිරකරුවන් අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට බන්ධනාගාර ගතකර සිටින මරණ දණ්ඩනය නියම වූ රැඳවියන් සඳහන් කර ඇත්තේ තමන්ට ද දුමින්ද සිල්වාට නිදහස ලැබුණු ආකාරයෙන්ම නිදහස ලබාදිය යුතු බවයි.

මේ වන විටත් මහර බන්ධනාගාරය තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන් විසින් ආහාර වර්ජනය ආරම්භ කර තිබෙනවා.

දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය හරහා ජාත්‍යන්තර වශයෙන්ද ලංකාවටම බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ඇතැම් විටෙක GSP + බදු සහනය සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපානු ඇති බවත් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දී ද මෙම තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කෙරෙනු ඇති බවටත් ඔවුන් අනාවැකි පළ කරනවා.

About The Author