Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දස්කොන් මගෙ නමට ඔබෙ හිස දෙනවාද?

දැනට වසර හාරසියයකට පමණ පෙර සිදු වුණ ආල කතාවක් විදිහට සැලකෙන දස්කොන් – ප්‍රමිලා ප්‍රේම පුරාණය බොහොම සිත්ගන්නා සුලු එකක්. ඒ කාලෙ රජ කළේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ. ඒ කිව්වේ සිංහලයේ අන්තිම රජු. දස්කොන්ගේ ඇත්ත නම “ගැස්කොයින්”. එයා ප්‍රංශ පියෙකුට දාව පෘතුගීසි කුසකින් තමා උපදින්නේ. 

දස්කොන් පුංචි කාලෙ ඉඳලා හැදිලා වැඩුණේ නරේන්ද්‍රසිංහ එක්ක. හැබැයි එයා රාජ කුමාරයාට වඩා හොඳට වෙනත් දේවල් ඉගෙන ගත්තා . දස්කොන්ට මිෂනාරිවරුන් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා. ඒත් නරේන්ද්‍රසිංහ එහෙමත් නැත්නම් “සෙල්ලම් රජ්ජුරුවෝ” වැඩි හරියක් කළේ පිස්සු නටපු එක. එයාට රට ජාතිය ගැන ලොකු හැඟීමක් තිබුණෙත් නෑ. 

ඔය අතරේ තමයි ඉන්දියාවෙන් ප්‍රමිලා කියන බිසව රජතුමා එක්ක දීග එන්නෙ. ඒත් එයා පුමිලා එක්ක හිටියේ ටික කාලයයි. ඊට පස්සෙ ප්‍රමිලා හිටියේ හඟුරන්කෙත. රජ්ජුරුවෝ කුණ්ඩසාලේ.  ඔය ඈත් වීමත් එක්ක තමයි රජ්ජුරුවන්ගේ හොඳ ම යාළුවා වුණු දස්කොන් එක්ක බිසවගේ සම්බන්ධය ඇති වුණා කියලා කියන්නේ.

දස්කොන් කොච්චර උගතෙක් වුණත් එයාගෙයි ප්‍රමිලාගෙයි ආලකවි හැරුණාම තවත් තවිපොත් තියෙන්නේ එකයි. ඒ, දස්කොන් හිරේ ඉද්දී තමන්ගේ නිර්දෝශීබව කියලා ලියපු “නෝක්කාඩු මාලය”. ඒ නිසා මේ ඉතිහාස කාරණා ගැන දෙගිඩියාවකුත් ජනතාවගේ හිතේ තියෙනවා. කොහොම නමුත් පේන විදිහට ප්‍රමිලා තමයි දස්කොන්ට ඉස් ඉස්සෙල්ලා ම ආරාධනා කරලා තියෙන්නේ.

 “යන්නෝ මෙමඟ රෑ දහවල තොර වෙත්ද

බොන්නෝ මෙගඟ දිය බොර කරලා යත්ද

දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද

දන්නෝ උපා මිණි බැඳිදොර නාරිත් ද?”

සඳලුතලයේ ඉඳලා පාලුවෙන් බලාගෙන ඉන්නකොට ⁣පාර දිගේ ඕන තරම් මිනිස්සු යනවා එනවා තමයි. ඒත් වතුර බොන්න ආස කෙනෙක් ඇවිල්ලා ගඟ බොර කරලා යන්නෙ නැහැ. ඒ වගේ ම තමයි පිරිමියෙකුගෙ පහස විඳින්නත් පහස දෙන්නත් කැමැත්තෙන් ඉන්න ගැහැනියක් ඒක ගේ ඇතුළට අඬ ගහලා දෙන්න අවශ්‍ය නැහැ නේ. අවශ්‍යතාව තේරුම් ගන්න පුරුෂයා දැන ගන්න ඕනෙ උපක්‍රමශීලී විදිහට ගැහැනිය ලවා ම දොර ඇරව ගන්න. 

ඕක ඇහුණු දස්කොන්ට දෙලොව රත් වුණා. එහෙන් මේ රජ බිසව. ඒ මදිවට තමන්ගේ හොඳම යාළුවාගේ බිරිඳ. තව පැත්තකින් මේ ගැහැනිය පාලුවෙන් ඉන්න බව හොඳට ම දන්නවා. ඒ විතරක් නෙවෙයි. දැක්ක දවසෙ ඉඳන් තමුන්ගෙ හිතෙත් මේ ගැහැනිය ගැන පොඩි ආසාවක් තියෙනවා. ඉතින් දස්කොන් මෙහෙම කියනවා.

“අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු

හකුරු කැලේ දමති ද දියවී යන තුරු

කපුරු මලේ සුවඳට වැනසෙති බඹරූ

කපුරු මලේ දැක දැක නොකරන් වියරූ”

රජ්ජුරුවන්ට එපා නම් ඔයාව මොකට බැන්දා ද? ඔයා වගේ රසවත් කෙනෙක් මේ වගේ කැලේ අතරමං කරලා ගිහින් තියෙන්නෙ ඇයි? මං හොඳට ම දන්නවා ඔයා කපුරු මලක්. අනිවාර්යයෙන් ම මාව විනාශ වෙනවා. ඒ නිසා මාව පිස්සු වට්ටන්න එපා. මට ඉවස ගන්න බැරි වෙයි, මං ඔයාගෙ ළඟට ම එයි.

තවත් සමහරු ඔය කවිය වෙනත් විදිහකට අර්ථ දක්වනවා. ඒ කියන විදිහට “අකුරු කළේ…” කවිය දස්කොන්ට කියන්නේ එයාගෙ හිතවතෙක්. ඒක ලොකු අනතුරු ඇඟවීමක්. හිතවතා දන්නවා මේ දෙන්නගෙ පළහිලව්ව. එයා කියන්න උත්සාහ කරන්නේ දස්කොන් අනිවාර්තේ මැරෙන්න යන නිසා පිස්සුවෙන් වගේ කාගෙවත් ගැහැනියක් පස්සෙන් යන එක නවත්තන්න කියලා.

මේ තවත් කවියක්…

“රන් මාලය පැලඳගෙන ගෙල සුවිපුල්ලා

ඉන් ආලය වඩවයි සිත නුඹ පල්ලා

පන්දාහකට ඉහළින් තිබුණත් එල්ලා

රන් බාජනෙත් නොවිදි ද විදිනා ගුල්ලා”

රත්තරන් මාලය දා ගත්තා ම ඔයා හරි ලස්සනයි. දැක්කම නම් ආදරේ හිතෙනවා. පෙම් පහස විඳින්නමයි ඕනෙ. අඩි පන්දාහක් විතර උඩින් එල්ලලා තිබුණත් භාජනේ මැටි වුණත්, රත්තරන් වුණත් ඒක විදින්න බලාගෙන ඉන්න ගුල්ලා කොහොමහරි උඩට බඩගාලා භාජනේ හිල් කරනවා ම තමා. මේකෙන් දස්කොන් කියන්න උත්සාහ කළේ කොච්චර පරිස්සමින් ආරක්ෂා කළත් අවශ්‍යතාව තියෙන කෙනා තමන්ට ඕන දේ⁣ කොහොමහරි ලබා ගන්නවා කියන එක. 

ඉතින් ඔන්න කොහොමහරි දස්කොන් ප්‍රමිලා එක්ක සෙට් වුණා. දැන් ඉතින් වැඩේ නැගල ම යනවා. 

ඔය අතරේ එක දවසක් ප්‍රමිලාට හොඳට ම අසනීප වුණා. සිහියක් පතක් නෑ. දස්කොන්ට කරකියා ගන්න දෙයක් නෑ. බැරි ම තැන රජතුමාට පණිවිඩයක් යැව්වා. රජතුමාත් දඩිබිඩි ගාලා ඇවිත බලලා, රටේ හිටිය හොඳ ම වෙද්දු ටිකත් ගෙන්නලා පෙන්නුවා. එයාලගේ අදහස වුණේ ලෙඩේ හොඳ වෙන්න නම් රත්තරන්වලින් ප්‍රමිලාගේ පිළිමයක් හදලා බලි ශාන්තිකර්මයක් කරන්න ඕටන කියන එක.

ඉතින් රජ්ජුරුවොත් හා කියලා, පිළිමෙ හදන්න රන්කරුවෙකුට බාර දුන්නා. සැරින් සැරේ ඇවිත් වැඩේ හරියට වෙනවද කියලත් බැලුවා. 

ටික දවසකින් පිළිමෙ සම්පූර්ණ කරලා ඉවර වුණා. වැඩ ඉවර බව දැන ගත්ත දස්කොන්ට ඕනෙ වුණා තමන්ගේ පෙම්වතියගේ රන් රූපය බලන්න. කොහොමටත් පහුගිය දවස් ටිකේ ම රජතුමා ඉන්න නිසා එයාට ප්‍රමිලා ඉන්න පැත්ත පළාතක යන්න ලැබුණෙත් නැහැ නේ.

ඉතින් දස්කොන් ආවා. පිළිමෙ දිහා හොඳට බැලුවා. රන්කරුවා ඇහුවා “බිසවුන්නාන්සේ වගේමයි නේද ස්වාමිනී?” කියලා. දස්කොන්, “හ්ම්… ඔක්කෝම හරි. හැබැයි පොඩි අඩුවක් තියෙනවා” කියලා පින්සලක් අරගෙන පිළිමේ වම් පැත්තේ කළවයේ උඩට ම වෙන්න උපන් ලපයක් ඇන්දා. 

“ආ… දැන් හරි.” කියලා දස්කොන් යන්න ගියා. ඒ සැනින් ම රජතුමා ආවා. එයත් පිළිමෙ දිහා හොඳට බලන අතරතුර එකපාරට ම දැක්කා උපන් ලපය. රජතුමාට හොඳට ම තරහා ගියා. එකපාරට ම රන්කරුවාගේ බෙල්ලෙන් අල්ලගෙන මරන්න ලැහැස්ති වුණා. රන්කරුවා කෑගැහුවා “අනේ රජතුමනි, මරන්න එපා. දස්කොන් අදිකාරම්තුමා තමයි ඕක ඇන්දේ” කියලා. 

රජතුමාට ස්ථිර වුණා මෙච්චර කල් ඇමති මණ්ඩලයේ කට්ටිය තමන්ට වහෙන් ඔරෝ කියන්න උත්සාහ කළේ මොකක්ද කියලා. අනිවාර්යයෙන් ම දස්කොන් ප්‍රමිලා අතර අනියම් සම්බන්ධතාවක් තියෙන්න ම ඕනෙ. නැත්නම් දස්කොන් කොහොමද ප්‍රමිලාගේ කළවා දකින්නේ? 

රජතුමා වහා ම දස්කොන සිර කළා. ටික දවසකින් හිස ගසා දාන්න නියම කළා. මේ ආරංචිය දැන ගත්තු ප්‍රමිලා දස්කොන්ට තල් පතක් යැව්වා.

“සක්මන් කරන මලුවේ දී බැඳි හාද

සිත් සන්තොසින් දුන් මුව මී බීවා ද

ඉක්මන් ගමන් හිමියනි අද යනවාද

දස්කොන් මගෙ නමට ඔබෙ හිස දෙනවාද”

ඒ කියන්නේ “ඇවිදින්න යද්දී හම්බ වෙලා, ආදරේ කරලා, තොල් සිප ගත්තු ඔයා අද ඉක්මනට ම මාව දාලා යනවද? මං හින්දා හිසත් නැති කර ගන්නවාද?” කියන එක.

දංගෙඩියට යන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි දස්කොන්ට මේක ලැබෙන්නේ. එයා කිසි ම දුකක්වත් කලබලයක්වත් නැතුව පිළිතුරු කවියක් ලියලා යවනවා.

“විසැස් කමලාව රස පහස නොවිඳ මා 

දසිස් දුනි පොරණ ඇස දුටු පමණට මා

වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා

ම හිස් එකක් ගියෙ නම් නුඹෙ නමට කිමා”

ඇස් විස්සක් තිබුණු රාවණා සීතා දේවිය පැහැරගෙන ආවට මං එහෙම කළේ නෑ. ඒත් මං වැරදියි ලු. මොනවා වුණත් කමක් නෑ. ඔයාගෙ පහස ලබා ගන්න අවස්ථාව ලැබුණු නිසා මගේ මේ එක ම ඔළුව නැති වෙන එක ගැන මට කිසිම දුකක් නෑ. ඔන්න ඔහොමයි දස්කොන් කිව්වෙ.

මේ කතාව ගැන සලකලා බැලුවාම විශ්වාස කරන්න පුළුවන් දේවල් වගේ ම බැරි දේවලුත් තියෙනවා. 

ලොකුම ගැටලුව තමයි මෙච්චර මේ උගත් ඥානවන්තයා මෝඩයෙක් වගේ අර රන් පිළිමයේ උපන් ලපයක් තියයිද කියන එක. සමහරුන්ගේ අදහස තමයි දස්කොන්ගේ තරහකාරයෙක් මේ වැඩේ කරලා, රජතුමාට දස්කොන්ගෙ නම කියලා පැමිණිලි කළා වෙන්න පුළුවන් කියන එක. හැබැයි එතකොට අපට ප්‍රමිලා ගැනත් සැකයක් ඇති වෙනවා. ඇයි ඉතින් රජතුමයි දස්කොන් එක්කයි ඇරෙන්න මෙයා තව අයත් එක්කත් හිටියද කියලා. නැත්නම් ඉතින් ඔය උපන් ලපය වෙන කාටවත් පේන්න විදිහක් නැහැ නේ. 

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශයක් නම් නෑ. අසම්මත පෙම් කතාවක් රස කර කර කියනවා විතරයි. හැබැයි ඉතින් මිනිස්සු හරි කැමතියි නෙ අසම්මතය විඳින්න. ඒ නිසා තමයි ඔය වගේ කුණු රසවල් මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author