Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තලාවේ මාරක බස් අනතුර සිදුවුණේ රියදුරුගේ වරදින් – පොලීසිය

පාසල් සිසුවෙකුට දිවි අහිමි කරමින් තවත් මගීන් 40ට ආසන්න පිරිසකට බරපතළ සහ සුළු තුවාල ගෙන දෙමින් තලාව ජයගඟ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය තඹුත්තේගම පොලීසියේ රථවාහන අංශයට නියෝග කර තිබෙනවා.

මේ අතර, අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රිය සහායකවරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් තඹුත්තේගම පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ, මෙම අනතුර පළමු සැකකාර බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය නිසා සිදුවී ඇති බව අනතුර සම්බන්ධයෙන් දැනට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවය.

මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිකරුවෙකු බස් රථයේ ගැටීමට යාමේදී රියදුරු ඔහු බේරා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

ජයගඟට සමාන්තරව දිවෙන මාර්ගයේ ගමන් කළ මෙම බස් රථය ජලාශය පිරී ඉතිරී තිබූ ජය ගඟ දෙසට පෙරළීමට ඉඩ නොදී මේ අයුරින් හෝ ආරක්ෂා කර ගැනීමට හැකිවූයේ සැකකාර රියදුරුගේ දක්ෂතාවය නිසා බවද සඳහන් කර තිබේ.

පළමු සැකකාර රියදුරු බීමත්ව සිට නොමැති බැවින් සහ ඔහු රියදුරු බලපත්‍රයක් හිමි පලපුරුදු රියදුරකු බැවින් සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස‍ නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනවිය පළමු සැකකාර රියදුරා ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රියදුරා මේ මස දහ අට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් රිය සහායක ශරීර ඇප මත මුදා හැරීමටත් නියෝග කර තිබේ.

About The Author