Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජාතික රූපවාහිනිය පුද්ගලික අංශයට විකිණීමේ සැලසුමක් : සභාපතිගේ දුෂිත බව පැවසෙන ගනුදෙනුවකට : අධිකරණයෙන් අතුරු තහනමක්

පඩි ගෙවන්න සල්ලි නෑ : ආදායම රූපවාහිනියෙන් එළියට ගෙනියන සැලසුමක් ගහලා

රූපවාහිනියේ ඩිජිටල් අංශය ගොඩගන්න දෙරණට සම්බන්ධ ආයතනයකට භාර දීලා

ජාතික රූපවාහිනිය පුද්ගලික අංශයට විකිණීමේ සැලැස්මක් ගැන වෘත්තීය සමිති අනතුරු අඟවයි

ජාතික රූපවාහිනියේ සමාජ ජාල සහ වෙබ් අඩවි ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුවලට ගිවිසුම්ගත වූ සමාගම හැර සෙසු කිසිදු පාර්ශවයකට සම්බන්ධ වීම වළක්වමින් කොළඹ සිවිල් අභියාචනාධිකරණය පසුගියදා (22) ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන මහතාට සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර කර තිබෙනවා.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධනට සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එරෙහිව අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ ජාතික රූපවාහිනියේ සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි නව්‍යකරණ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ විශ්මිත එන්ටප්‍රයිසස් නම් සමාගමේ හිමිකරු වූ හර්ෂ කමල් ගෝමස් මහතා විසින් අධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

එම පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ වර්ෂ 2018 දී ජාතික රූපවාහිනියේ ඩිජිටල් නව්‍යකරණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කීරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුව තම සමාගම තේරී පත් වුණු බවය.

මුල් ගිවිසුම්ගත කාලය අවුරුදු තුනක් වූ අතර එම ව්‍යාපෘතියේ ගිවිසුම් කාලය 2021 නොවැම්බර් මස 15 වැනිදා අවසන් වූ පසු තවත් අවුරුදු තුනක් සඳහා රූපවාහිනී කළමනාකරණය එම සමාගම හා ගිවිසුමකට එළඹ තිබුණු බව පෙත්සම් කරු අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

එසේ තිබිය දී පසුගිය දා පත් වුණු නව සභාපති සොනාල ගුණවර්ධන මහතා විසින් එම ගිවිසුම හදිසියේ අවලංගු කරමින් වෙනත් පාර්ශවයකට එම ව්‍යාපෘතිය භාර දී ඇති බවයි පැවසෙන්නේ.

දෙරණ හිමිකාරිත්වයට සම්බන්ධ තැනකට භාරදුන් වැඩේ

තරඟකාරී මාධ්‍ය ආයතනයක ඩිජිටල් මෙහෙයුම භාර දී ඇත්තේද තවත් තරඟකාරී පුද්ගලික මාධ්‍ය ආයතනයකට බව පැවසෙනවා.

එහිදී හෙළිව ඇත්තේ සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය භාර දී ඇත්තේ දෙරණ රූපවාහිනී ජාලයේ හිමිකාරිත්වයට සම්බන්ධයක් ඇති “අයිඩියා හෙල්“ සමාගමට බවයි.

තම ව්‍යාපාරික කටයුතු හදිසියේ නතර කිරීමට එරෙහිව මහාධිකරණයට කරුණු ගොනු කළ හර්ෂ කමල් ගෝමස් එයින් තමන්ට සිදුව ඇති අගතිය සම්බන්ධව කරුණු දක්වා මේ පිළිබඳව නිසි විභාගයක් පවත්වන තෙක් තම සමාගම සමග ගිවිසුම්ගත වී ඇති කටයුතු වෙනත් කිසිදු පාර්ශවයක් වෙත ලබා නොදෙන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම පෙත්සම සලකා බලමින් අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

විශ්මිත එන්ටප්‍රයිසස් ආයතන වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ උක්ත පෙත්සම මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

අදායම එලියට යවා රූපවාහිනිය බංකොලොත් කිරීමේ සැලසුමක් පිළිබඳ චෝදනා

රූපවාහිනී වෘත්තිය සමිති සාමාජිකයන් චෝදනා කරන්නේ රූපවාහිනියේ ඇතැම් ආදායම් වෙනත් පාර්ශවයන් වෙත ලබාදීම සඳහා රූපවාහිනී සභාපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.

රූපවාහිනියේ සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි සම්බන්ධ ගනුදෙනුවේ දී ද එම මුදල් සෘජුවම පුද්ගලික ආයතනයකට බර කිරීමට ඉඩකඩ සලසා තිබූ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

සේවක පඩි නඩි ගෙවා ගැනීමට නොහැකිව මේ වන විට බංකොලොත් වී ඇති ජාතික රූපවාහිනිය තව දුරටත් බංකොලොත් කිරීමට සිතාමතා බංකොලොත් කොට එය වෙනත් පාර්ශ්වයකට විකිණීමේ සැලසුමක් ක්‍රියාත්මක බවට එහි සේවකයින් චෝදනා කරනවා.

සේවකයින්ගේ කටවල් වසා එලියට දමයි

භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ප්‍රමුඛතාවය ලබාදීම වෙනුවෙන් කැපවිය යුතු මහජන මුදලින් නඩත්තු වන ජාතික රූපවාහිනිය පසුගිය දා එහි නිවේදිකාවක සේවයෙන් ඉවත් කළා.

පවතින දේශපාලනය ක්‍රමව්දය පිළිබඳ පාරමී රණසිංහ මහත්මිය සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබූ අතර ඇයට පුරවැසියෙකු ලෙස අදහස් ප්‍රකාශ කිරීමට ඇති මූලික අයිතිවාසිකම පවා අභියෝගයට ලක් කරමින් ඇය රූපවාහිනියෙන් ඉවත් කිරීමට පාලන අධිකාරිය තීරණය කර තිබු බව මාධ්‍ය සංවිධාන රැසක් සඳහන් කර තිබුණා.

‘බොල් චරිතය’ ගැන කතා කළ ජාතික රූපවාහිනී නිවේදිකාවට භාෂණයේ නිදහසත් අහිමි කරයි : හතර මායිමේ එන්න එපා කියා රස්සාවෙන් අස් කරයි

About The Author