Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

‘ජාතික පාසල් බෝඩ් ලෑලි ව්‍යාපෘතිය‘ අව වරප්‍රසාදිතයින්ගේ අධ්‍යාපනයේ වල කැපීමේ ආරම්භයයි – රජිත් කීර්ති තෙන්නකෝන්

අධ්‍යාපනයේ තත්වය ඉහළ නැංවීමට බෝඩ් ලෑලි ගසන ලෝකයේ එකම රට ලංකාව පමණක් විය යුතුය. පහසුකම් කිසිවක් ලබා දෙන්නේ නැතිව, කිසිදු සැලසුමක් නොමැතිව ‘බෝඩ් ලෑලි ජාතික පාසල්‘ බිහි කිරීම අධ්‍යාපනය සඳහා දරුවන්ට ඇති අවස්ථාව ‘ඇති – නැති‘ වශයෙන් තවදුරටත් පුළුල් කිරීමක් බවට පත් වනු ඇත.

ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය අරඹමින් ‘ අධ්‍යාපනය ලංකාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමේ අවිය‘ යැයි කීවේය. ඉන් වසර තිස් පහකට පසුව, 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහඝ්‍ර ඉලක්ක අතර සිව්වන ස්ථානයට ‘තත්වයෙන් උසස් අධ්‍යාපනය‘ තැබුවේය. එහි හැඳින්වීම ‘Education enables upward socioeconomic mobility and is a key to escaping poverty‘ වන්නේය.

රසායන පොහොර හා බෙහෙත් තහනම ලංකාවේ කෘෂිකර්මය විනාශ කරන්නේ යම් ලෙසකින් ද, රජයේ ‘ජාතික පාසල් 1000 සේ වැඩසටහන — ලංකාවේ අධ්‍යාපනය, ලංකාවේ ජනතාවට දරිද්‍රතාවයෙන් මිදීම සඳහා වන අවියට දැවැන්ත විනාශයක් – අගතියක් සිදු කරනු ඇත.

ගෝඨාභය රට හදන සෞභාග්‍ය යේ දැක්ම‘ ප්‍රතිපත් ප්‍රකාශයේ ජනප්‍රිය යැයි සම්මත පාසැල්වල මෙන් සියළු භෞතික හා මානව පහසුකම්වලින් සම්පූර්ණ පාසැල් තුන (3) බැගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පිහිටුවන බව දැක්වේ. බලයට පත්වී අදට අවුරුද්දයි මාස හයකි. ඔය කියන විදිහට භෞතික හා මානව පහසුකම් වැඩි කළ එකම ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයක් හෝ ලංකාවේ තිබේද ? නැත!

දැනට තියෙන ජාතික පාසල් සංඛ්‍යාව 373 කි.

මානව හා භෞතික සම්පත් සැපයීම පසෙක තිබිය දී දැන් රජය ජාතික පාසල් ක් 1000 දක්වා වැඩි කරන්න යයි. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම තිබෙන එක් පාසලක ‘ජාතික පාසලක් යැයි බෝඩ් ලෑල්ලක් විවෘත කළ පමණින්‘ අධ්‍යාපනයේ ගුණාත්මක බව, පහසුකම් වැඩි වන්නේ නැත.

අද ලංකාවේ ඇත්තේ ඇති හැකි එකාගේ දරුවාට සියළු පහසුකම් තිබෙන පාසල් අතලෝස්ස අත් කර ගැනීමේ ක්‍රමයකි. ඒ සඳහා ඕනෑම දෙයක් කරන්නට දෙමාපියන් පෙළබෙන ක්‍රමයකි. රජයේ ‘ජාතික පාසල් 1000‘ කතාව අන්න ඒ මානසිකත්වයට උඩගෙඩි දෙන ලාබ ජනප්‍රිය රසායන පොහොර තහනම ගණයේ ම අනර්ථකාමී වැඩකි.

පරිපාලකයෙකු හා විධායකයෙකු ලෙස මාගේ අත්දැකීම නම් ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමට මුලික අවශ්‍යතාව පහසුකම් වැඩි කිරීම ය. වතුර, වැසිකිලි, ඩෙස්පුටු හා වෙනත් උපකරණ සහ පුහුණු ගුරුවරු ඒ මුලික අවශ්‍යතාවය යි. ඒ කිසිවක් නැතිව ‘ජාතික පාසැල් බෝඩ් ලෑලි ගැසීමෙන්‘ රටේ අධ්‍යාපනය නැංවෙන්නේ නැත.
ලංකාවේ පළාත් සභා යටතේ පාලනය වන හොඳම පාසල් ටික ජාතික පාසල් වශයෙන් බෝඩ් ලෑලි ගැසීම නිසා වත්මන් අධ්‍යාපන ක්‍රියාවලියේ අංශ 4 ක ගැටළු මතු වනු ඇත්තේය.

1. ප්‍රතිඑල
ලංකාවේ ජාතික හා පළාත් පාසල් අතර විධිමත් ප්‍රතිඑල විශ්ලේෂණයක් සිදු කර නැත. 2016 දී දකුණු පලාතේ පළාත් පාසල් ලංකාවේ (සා.පෙ.) හොඳම ප්‍රතිිඑල ලබා ගන්නා විට දකුණේ ජාතික පාසල් ස්ථාන ගත වූවේ ලංකාවේ 6 වන ස්ථානයේ ය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබන දරුවන් පිරිවරාගෙන, ආදි ශිෂ්‍ය සංගම් හා දේශපාලන නායකත්වයේ විශේෂ අනුග්‍රහය මත මධ්‍ය රජයේ සියළු පහසුකම් සපයා දෙන ජනප්‍රිය ජාතික පාසල් සමහරක් සා.පෙ. (විෂයන් සියල්ලම අසමත්/විෂයන් දෙකක් තුනක් පමණක් සමත් දරුවන් වැඩිම පිරිසක් සිටින) පාසල් අතර වෙති.

2. ගුරු මාරු
දැනට තිබෙන ජාතික පාසල්වල ගුරු මාරුකිරීම් වෘත්තීය සමිති ආධිපත්‍ය මත සියල්ල තීරණය කරන එකම අවුල් ජාලාවකි. දකුණ, වයඹ ඇතුලු පලාත් වල විධිමත් ගුරුමාරු ක්‍රමවේදයක් තිබේ. (වරප්‍රසාද සහිත, දුෂ්කර පාසලක් ඇහැටවත් දැක නැති ගුරුවරුන් නැති බව එයින් කියවෙන්නේ නැත.) දුර දක්නා දේශපාලන තීන්දු ගත්, කොන්ද පණ තියෙන නිලධාරීන් සිටින පළාත් වල ගුරු හිඟය, දුෂ්කර ග්‍රාමීය ප්‍ර දේශවලට විෂම ලෙස සැලකීම ඉතා අඩුය.

දකුණු පලාතේ ජාතික පාසල්වල ගුරුවරුන්ගේ හිඟය පුරවා ඇත්තේ පළාත් සභාවෙන් පඩි ලබන, අනියුක්ත ගුරුවන්ගෙනි.

3.අධීක්ෂණ ක්‍රියාවලිය
පලාත් සභා පාසල්වලට කොට්ඨාශ, කලාප, පලාත් වශයෙන් විධිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් තිබේ. ජාතික පාසල් මේ අධීක්ෂණ ක්‍රියාවලිය ගණන් ගන්නේ නැත. ඒවායේ බහුතරය තමන් ජාතික පාසල් නිසා පලාතේ අධික්ෂණය නොතකා කටයුතු කරන බහුතරයකින් සමන්විතය. ඒ නිසාම ඒවායේ ප්‍රතිඑල සංවර්ධන වැඩසටහන් නැත. උගන්වනවාද කියා සොයා බලන්නට විධිමත් යාන්ත්‍රණයක් නැත. (ඔව් ඔය ජාතික පාසල් සියල්ලේම උගන්වනවාදැයි සොයන්නට කවුරුත් නැත)

ඉසුරුපායේ සිට ගිහින් මොණරාගල නැතිනම් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් උගන්වනවාදැයි බලන්නේ නැත. කොට්ඨාශ, කලාප බලධාරීන් ගේ මැදිහත්වීමක් එක්කෝ නැත. නැත්තම් ගණන් ගන්නේම නැත.

4. ගුරුවරුන් බඳවා ගැනීම
දැනට තියෙන ජාතික පාසල්වලට අවශ්‍ය ගුරුවරු ටික බඳවා ගන්නට බැරි කම පමණක් නොව ගුරුවරුන් ස්ථානගත කිරීමේ නොහැකියාව ජාතික පාසල්වල අධ්‍යාපනය බිඳ වැටීමට ඇති මුලිකම හේතුවයි. පළාත් සභාවට අවශ්‍ය නම් ගුරුවරුන් බඳවා ගත හැකි බව මම දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමි. දෙමළ ගුරු හිඟය 100% ක් අවසන් කරන්නට එදා මට හැකි විය. දකුණෙන් මම ඉවත්වන විට ගුරු පුරප්පාඩු 99% ක් පුරවා තිබුණි.

විශේෂිත අවශ්‍යතා සලකා බඳවා ගැනීම් කරන්නට අණ්ඩුකාරවරුන්ට බලයක් තිබේ. ජාතික පාසල්වල ගුරු බඳවා ගැනීම් සිදු කරන්නට වරකට වැඩි කලක් ගතවේ. එපමණක් ද නොවේ. කොහේ හෝ සිටින දේශපාලනඥයින්, නිලධාරීන් මේ ගුරුවරුන් ඈත ප්‍ර දේශවලට ස්ථානගත කරන්නේ ම නැත. මහියංගනයට, වලපනේට, දෙනියායට නමට ගුරු පත්වීම් ලැබෙන අතර, ගුරුවරුන් සේවය කරන්නේ කොළඹ, ගම්පහ, නැත්තම් කුරුණෑගල-කෑගල්ල-මහනුවර නැතිනම් ආසන්තම නගරවලය.

පලාතේ ගුරු ප්‍රශ්න විසඳන්නට පලාත් සභාවට ඇති හැකියාව කවදාවත් ඉසුරුපායේ සීතල කාමර වල නිලධාරීන්ට ලැබෙන්නේ නැත. ජාතික පාසල් 1000 ක ව්‍යාපෘතියෙන් සෘජු වාසිය ලැබෙන්නේ ඉසුරුපායේ කැන්ටින් මුදලාලිටය. රටේම ගුරුවරු, ආදිශිෂ්‍ය සමිති, සරළ සිල්ලර දෙයට ඉසුරුපායට ගෙන්වා පැමිණීම මහා අවුල් ජාලයක් නිර්මාණය කරනු ඇත්තේය.

පළමු වසරට දරුවන් බඳවා ගැනීම
ජාතික පාසල්වල පළමු වසරට දරුවන් බඳවා ගැනීම අන්ත දුෂිත ක්‍රියාවලියක් බව රහසක් නොවේ. එපමණක් නොවේ, මේ ජනප්‍රිය පාසල්වල අතරමැද පන්ති දරුවන් පිරවීම එතරම්ම දුෂිත, ඇති හැකි බලවත් මිනිසුන්ගේ දරුවන් වෙනුවෙන්ම සකස් කළ ජාවාරමකි.
යෝජිත අලුත් ජාතික පාසල් හි සම්බන්ධිත පෝෂිත පාසල්/ප්‍රාථමික පාසල් තිබේ. මේ පාසල්වල දරුවන් අලුත් ජාතික පාසල්වලට බඳවා ගන්නේ යැයි කිසිවෙකුත් සහතිකයක් දෙන්නේ නැත. පහසුකම් සහිත පාසල්වලට දක්ෂ දරුවන්ට ඇතුලත්වීම සඳහා දැන් ඇති සීමිත අවස්ථාව ද, මේ නව ජාතික පාසල් ක්‍රමය මගින් විනාශ කරනු ඇත.

මේ ආණ්ඩුව අධ්‍යාපනය නගා සිටුවීමට අවශ්‍ය පහසුකම් (වතුර, පුටු-මේස, ගුරුවරු, තාක්ෂණික උපකරණ) ලබාදීමට ප්‍රමුඛත්වයක් දී නැත. ඒ වෙනුවට, බෝඩ්ලෑලි ජාතික පාසල් ගොන්නක් පමණක් රට පුරා බිහි කරනු ඇත.

ආණ්ඩුව ජාතික පාසල් ව්‍යාපෘතිය තුලින් අධ්‍යාපනයේ ගුණාත්මක බව බිල්ලට තබා, දැවැන්ත ප්‍රචාරක වාසියක් ලබා ගැනීමට උත්සහ දරයි. රටේ ප්‍රධාන විපක්ෂයට අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක්/දැක්මක්/වැඩපිලිවෙලක් ඇති බවක් පෙනෙන්නට නැත. අවම වශයෙන් ඒ ගැන කථා කරන්නේ හෝ නැත. අධ්‍යාපන කේෂ්ත්‍ර යේ ප්‍රවීණයින් ද එවැනිම නිහඬතාවක් දක්වමින් උකටලීව සිටී.

බෝඩ් ලෑලි ජාතික පාසල් මේ රටේ අව වරප්‍රසාදිත දරුවන්ගේ තත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය ඔවුන්ගෙන් තවදුරටත් දුරස්ථ කරනු ඇත. ගුරුවරුන් හා පහසුකම් නැතිව කළ හැකි අධ්‍යාපනයක් නැත. දැනට පවත්නා අධ්‍යාපන පරිපාලනය අවුල් ජාලාවක් බවට පත් කොට, සුපිරි හා අව වරප්‍රසාදිත පාසල් අතර පරතරය තවදුරටත් වැඩි කිරීමෙන් රටකට සිදුවන යහපතක් නැත.

© රජිත් කීර්ති තෙන්නකෝන්

About The Author