ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළට සහාය ලබාදෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදුකරන කැපවීම ද පැසසුමට ලක් කළේය.
එසේම ශ්‍රී ලංකාවට අදාළව මේ වනවිට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.
දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කැපවීම ද මෙහිදී අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා අතර නිල හමුව නිව්යෝර්ක් හී එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේ දී ඊයේ (18) සිදුවිය.
1978 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිහිපත් කළ නායකන් එම සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙද සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර අත්සන් තැබීමට නියමිත වෙළෙඳ ගිවිසුමට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
දැනට ශ්‍රී ලංකික තරුණ තරුණියන් විශාල පිරිසක් දකුණු කොරියාවේ රැකියාවල නිරතවන අතර ඔවුන් එරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.
එසේම දකුණු කොරියාවේ සේවයෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් නැවත සිය රටට පැමිණෙන්නේ නිපුණතාවයෙන් යුත් ශ්‍රමිකයන් ලෙස බව පෙන්වා දුන් දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආර්ථිකයට එයින් මනා දායකත්වයක් ලබාගත හැකි බව ද සඳහන් කළේය.
එසේම ඩිජිටල්කරණය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දුන් අතර ඩිජිටල්කරණයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට බොහෝ ආදර්ශයන් ලබාගත හැකි බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.
නුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි