Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති රනිල් බෑ කියයි : වැඩේ නවතී

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා (31) දැනුම් දී තිබෙනවා.

මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ ගන්නා ලද තීරණයක් බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවා තිබුණා.

නීතිපතිවරයා මේ පිළිබඳ කරුණු විමසූ අවස්ථාවේදී, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සිය අත්සන භාවිත නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දන්වා ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව, අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගන්නා අවස්ථාවේ මේ පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාට දැනුම් දී ඇති බවද සඳහන්.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබ ඇති බව ය.

එම තීරණයෙහි කිසිදු වෙනසක් නැති බව ඒ මහතා සඳහන් කර තිබීම විශේෂත්වයක්.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් හතර දෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් තැබීමට තමන් තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ ජූනි මස 26 වන දා ප්‍රකාශයක් කර තිබුණා.

ජනාධිපතිවරයාගේ එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එවකට සිටි ජනාධිපතිවරයාගේ එම තීරණය මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනි බවට එම පෙත්සම් මගින් චෝදනා කර තිබුණා.

එසේ ම, එය ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මයන්ට පටහැනි බව ද අයුක්ති සහ අසාධාරණ බව ද පෙත්සම්කරුවන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

About The Author