Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති රනිල් දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව අමතයි

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) පැවති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව අමතමිනි.

වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් මත පදනම් වූ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් වෙනුවෙන් ගෝලීය සාමුහික කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි.

කඩිනමින් අවතීර්ණ විය හැකි දේශගුණික ක්‍රියාමාර්ගවල වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද සිය ප්‍රශංසාව පළ කළේය.

දේශගුණික ගැටළු හේතුවෙන් 2050 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5% ක් අහිමි වන බවට විශේෂඥයින් විසින් අනාවැකි පළ කර ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ දේශගුණික අනුවර්තන සැලැස්ම සඳහා ප්‍රවේශයන් ද්විත්වයක් අනුගමනය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය

“සුළං සහ සූර්ය බලය යන ශ්‍රී ලංකාව සතු ස්වභාවික වාසි ද ප්‍රයෝජනයට ගනිමින්, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය මත පදනම් වූ හරිත වර්ධනය සඳහා උපාය මාර්ගයක් ලෙස COP27 හි දී දේශගුණික සශ්‍රීකත්ව සැලැස්ම එළිදක්වනු ලැබුවා.

2022 වර්ෂයේදී ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හරිත ආර්ථිකයක් කරා පරිවර්තනය වීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සිදුවන ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සමඟ මෙම මුලපිරීම සිදුකරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ දේශගුණික අභිලාෂ පිළිබඳ දෙවන පැතිකඩ වන්නේ දේශගුණික යුක්ති සංසදයක් පිහිටුවීමට සහාය වීමයි. මෙම සංසදයේ අරමුණ වනුයේ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන අලාභ හා හානි, ඊට අනුවර්තනය වීම සහ අවම කිරීම ඇතුළු විවිධ දේශගුණික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීමයි.

මෙම ප්‍රයත්නයන්ට අමතරව, ගෝලීය වශයෙන් ප්‍රභල ක්‍රියාමාර්ගයන් දෙකක් ද ශ්‍රී ලංකාව යෝජනාකර සිටිනවා. එහි පළමුවැන්න වන්නේ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා වේදිකාවක් සපයන ජාත්‍යන්තර දේශගුණික විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම‍යි.

දෙවැනි යෝජනාව වන්නේ වගකීම් සහගත සම්පත් කළමනාකරණයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් ශ්‍රී ලංකාවට උපරිම බලපෑමක් ලබාගත හැකි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමයි.

නිවර්තන කලාපය තුළ සිදුවන දේශගුණික විපර්යාසයන් හේතුවෙන් එම කලාපයේ වාසය කරන “අවදානමට ලක්වී ඇති ප්‍රජාවන්” අසාමාන්‍ය බලපෑම්වලට ලක් වෙනවා.

ඒ අනුව ජෛව විවිධත්වයෙන් ඉහළ නිවර්තන කලාපය ඉලක්ක කර ගනිමින් යෝජිත නිවර්තන කලාපීය දේශගුණික අභිලාෂ පිළිබඳ ව්‍යාපෘතිය මම ඉදිරිපත් කරනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා ආයෝජනය කිරීම, ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් සෙවීම සහ නිවර්තන කලාපය තුළ පරිසර දූෂණය පාලනය කිරීම යන ක්‍රියාමාර්ග මගින් නිවර්තන කලාපයට පමණක් නොව ලොව පුරා සෞම්‍ය කලාපයටද පරිවර්තනීය ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව සැලසෙනවා.

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ කලාපය තුළ අඩු ආදායම්ලාභී රටවල්වල ආර්ථිකයන් සඳහා යෝජිත ණය සහන ලබාදීම වැනි සාධනීය මුලපිරීම්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් යෝජනා කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා.

About The Author