Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති බේරේ වැවේ “පාවෙන තෙත් බිම් දහසක්” හදයි

පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට යොදාගෙන කරන පරිසර අලංකරණ කටයුත්තක්

මුතුරාජවෙල ඇතුළු ඇති සංවේදී තෙත් බිම් රැසක් විවිධ පුද්ගලයන්ගේ බලපෑම් මත විනාශ වෙමින් යන අවස්ථාවක තෙත් බිම් සිහිගන්වමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි බේරේ වැව ආශ්‍රිත පරිසරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම පසුගියදා (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරුණා.

අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වීමට ප්‍රධාන ලෙසම බලප ඇති බවයි පැවසෙන්නේ.

එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බලෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දෙනවා.

පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වේ.

එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වන බවයි පැවසෙන්නේ.

ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයක් ලෙස සඳහන්.

මැසි මඳුරු උවදුර හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග පාලනය සඳහා වක්‍ර මෙහෙවරක් මෙමගින් අපේක්ෂා කරන අතර අදාළ ජල ප්‍රදේශය තුළ මත්ස්‍ය ඝණත්වය ඉහළ නැංවීම වැනි ප්‍රතිලාභ රැසක් ඉතා සුළු පිරිවැයකින් ළඟා කර ගත හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පෙන්වා දෙනවා.

රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, කොළඹ මහනගර සභාවේ නාගරික ‍කොමසාරිස් රෝෂිනි දිසානායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ශ්‍රීමති සේනාධීර, ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය එන්.එස්. විජේරත්න යන මහත්ම මහත්මීහු සහ ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

About The Author