ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම අලුත් එකක් නොවන බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පිටුපස බිහිසුණු චිත්‍රයක් ඇති බව තමන් දන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (21) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතාද එක්වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහතින්,

“ජනාධිපතිවරයා සෑම සෙනසුරාදාවකම ‘ගම සමග පිළිසඳරක්’ පවත්වා ගමේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා යැයි කියන මාධ්‍ය මෙහෙයුමක් දියත්කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා කරන්නේ ඒ සතියේ ආණ්ඩුවට එල්ලවී තිබෙන චෝදනා, විවේචනයන් පිළිබඳව පිළිතුරු සැපයීම සහ ඔහුගේ අඬවැඩියාව ඉදිරිපත් කිරීමේ සංදර්ශනයයි. ජනතාවගේ ගැටලුවලට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔහු මුහුණදී තිබෙන ගැටලු පිළිබඳව අඳෝනා නැගීමයි කරන්නේ.
හැබැයි ඒක අඳෝනාවක් පමණක් නොවෙයි, යම් බිහිසුණු චිත්‍රයක් තිබෙන බව පේනවා. ඊයේ දිනයේදී එතුමා විසින් කළ ප්‍රකාශ අතර, විශේෂයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන දෝෂාරෝපණ හා තර්ජනයන් එල්ලකර තිබෙනවා. “ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා. මාධ්‍ය නිදහස මම දීලා තිබෙනවා. මාස 14ක් මම පාලනය කළා. නමුත් කිසිම මාධ්‍යයකට මම කිසිම බලපෑමක් කරලා නැහැ.” ඔහු බලපෑමක් කරලා නැහැ කියනවා. ඒකෙන් ඔහු ගම්‍ය කරන්නේ බලපෑමක් කරන්න අයිතියක් තියෙනවා කියලා. නෑ ඔහුට එහෙම අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට මාධ්‍ය ආයතනවලට බලපෑම් කරන්න හෝ මාධ්‍ය ආයතන බියවද්දන්න අයිතියක් නැති බව ජනාධිපතිවරයා පළමුවෙන්ම තේරුම් ගන්න ඕනෑ.
දෙවනුව ඔහු කියනවා මාධ්‍ය නිදහස දීලා තියෙනවා කියලා. මාධ්‍ය නිදහස ජනාධිපතිවරයාගේ ලයිසන් එකක් නෙවෙයි. ජනාධිපතිවරයා විසින් ලබාදිය යුතු වරප්‍රසාදයක් නෙවෙයි. මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යවේදීන්ගේ මේ රටේ පුරවැසියන්ගේත් තොරතුරු දැනගැනීම සඳහා තිබෙන යුක්තිසහගත අයිතියයි. ඒක අයිතියක්. ඒක ජනාධිපතිවරයාගේ ලයිසන් එකකින් ලබාදෙන ලද නිදහසක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිසේසේ මේ රටේ මානව සංවර්ධනය පිළිබඳව අනාගතය පිළිබඳ කල්පනා කරන ලද ප්රගතිශීලී පුරවැසියන් විසින් අරගල කරලා අත්කරගෙන, ආරක්ෂා කර ගත් දෙයක්. “ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා.” කියලත් ඔහු කියනවා. ජනාධිපතිවරයා මාධ්‍යයට පාඩම් උගන්වන්න මොන සිහියෙන් යුතුව කතා කරනවාද කියලා මම දන්නේ නැහැ.
මෑත ඉතිහාසයේ මාධ්‍ය ආයතනවලට බිහිසුණු පාඩම් උගන්වපු තත්වයක් තිබෙනවා. ඒවා මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යවේදීන්ටත් අතිශය බිහිසුණුයි. ‘සිරස’ මාධ්‍ය ආයතනයට ක්ලේමෝ බෝම්බ දෙකක් එල්ල කොට මැදිරි සංකීර්ණය විනාශ කළා. එය සිරස මාධ්‍ය ආයතනයට උගන්වන ලද බිහිසුණු පාඩමක්. ඒ යුගයේ අධි ආරක්ෂක කලාපයක පිහිටා තිබූණු ‘ලීඩර්’ පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණාලයට දෙපාරක් ගිනි තැබුවා. එය ඔවුන්ට උගන්වන ලද බිහිසුණු පාඩමක්. ‘සියත’ මාධ්‍ය ආයතනයට 2010 ජනාධිපතිවරණය අවසන් වූ වහාම බෝම්බ ගසා ගිනි තිබ්බා. එය ‘සියත’ මාධ්‍ය ආයතනය වෙත උගන්වන ලද බිහිසුණු පාඩමක්. ලසන්ත වික්රමතුංගව ඝාතනය කළා. එය මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩමක්. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කළා. පෝද්දල ජයන්තව පැහැරගෙන ගොස් අත-පය කඩලා කොණ්ඩෙ බාගෙට බූගාලා මහපාරේ දාලා ගියා. කීත්නොයාර් පැහැරගෙන ගිහිල්ලා පහරදීලා මාරාන්තික තුවාල සිදුකොට පාරේ දාලා ගියා. උපාලි තෙන්නකෝන් පැහැරගෙන පහරදීලා මහමග දාලා ගියා. ඒවා අපේ රටේ මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩම්. ‘ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තිබ්බා. ඒ මේ රටේ වෙබ් මාධ්‍ය ආයතනවලට උගන්වන ලද බිහිසුණු පාඩම්.
අපේ රටේ මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යවේදීන්ටත් මෑත ඉතිහාසයේ බිහිසුණු පාඩම් උගන්වා තිබෙන බව අපි දන්නවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ “ඒවා මාත් එක්ක බෑ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා.” කියන දේ නූතන ජන මාධ්‍ය පිළිබඳව පාඨමාලාවක් නොවෙන්න පුළුවන්. මෙය ඍජුවම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉලක්කකොට එල්ල කර තිබෙන බලපෑමක්. මේ කතාව කියන විගසම කියනවා, ඔහු එවැනි බලපෑමක් එල්ලකොට නැහැ කියලා. ජනාධිපතිවරයා ඉතා හොඳින් තේරුම්ගත යුතුව තිබෙනවා මේ යුගය වෙනස් බව. පැරණි පාඩම්වලින්, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩම්වලින් ඒ යුගයේ පාලකයනුත් පාඩම් ඉගෙන තිබෙනවා. ඒ වගේම මේ රටේ පොදු ජනතාව පාඩම් ඉගෙනගෙන තිබෙනවා. නැවත එවැනි බිහිසුණු පාඩම් මාධ්‍ය ආයතන වෙත හෝ මාධ්‍යවේදීන්ට ඉගැන්වීම සඳහා ජනාධිපතිවරයා උත්සුක වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
අනික් පැත්තෙන් ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනෑ, නීති සම්පාදනය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව. විවිධ ප්‍රකාශයන් හරහා ඔහු පෙන්නුම් කර සිටින්නේ ඔහුගේ ආණ්ඩුවට හිතකර වන, එය ප්‍රවර්ධනය කරවන මාධ්‍ය මෙහෙයුම්වලදී ඉතාමත්ම ලැදියාවෙන් මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ව බදා වැළඳගෙන තිබෙනවා. නාගලෝකයෙන් නයි කරඬුව අරගෙන එනකොට, එය ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියේ ප්රවර්ධනයක් බව දන්නා නිසා ඔහු එය විවේචනය කළේ නැහැ. ඒ වගේම වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ බෙහෙත්, වඳ දොස්තරලා වැනි ප්රවෘත්ති නිර්මාණය කරමින් ප්‍රවර්ධනය කරනකොට ඒවා ඔහුගේ දේශපාලන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන මාධ්‍ය මෙහෙයුම් නිසා විවේචනය කළේ නැහැ. ජාතික චින්තනය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය පවා පරිසර වාර්තා කරණයේදී වෙනස්වීම පිළිබඳවත් අනතුරු ඇඟවීමක් කරනවා. ඔහුත් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියත් ප්‍රවර්ධනය කිරීම සහ එම හිමිකරුවන්ගේ උවමනාවන් සමපාත වන විට ප්රතිවිරෝධයක් පැන නගින්නේ නැහැ. හැබැයි ඔහුගේ දේශපාලන ව්‍යාපෘති ගැන ජනතාවගේ පැත්තේ ඉඳන් වාර්තා කරනකොට, ඔහුගේ ආර්ථික හා පාරිසරික විනාශකාරී ක්‍රියාමාර්ග ගැන ජනතාවගේ පැත්තේ ඉඳන් වාර්තා කරනකොට එය මාධ්‍ය හිමිකරුවන්ගේ මෙහෙයුමක් හැටියට ඔහු අර්ථකථනය කරන බවයි පේන්නේ. ජනාධිපතිවරයාට මාධ්‍ය පිළිබඳව තිබිය යුත්තේ ඍජු ප්‍රතිපත්තියක් මිස දෙබිඩි ප්‍රතිපත්තියක් නොවේ. නමුත් පෙන්නුම් කරමින් තිබෙන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක්.
ඔහු ඒ සාකච්ඡාවේදී තුන්වැනි කරුණ හැටියට “දැන් මේ බලන්න. තව බොරු ප්‍රචාර ගෙනියනවා. ජේ.වී.පී. පරිසරවේදීන් කියන්නේ. සිංහරාජයේ අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා.” ෆේස් බුක් පිටුවක් උපුටා දක්වනවා. ‘ජේ.වී.පී. පරිසරවේදියෝ’ කියලා ෆේස් බුක් පිටුවකින් විවිධ බොරු ප්රවෘත්ති නිර්මාණය කරන බව අපි දැක්කා. මේ පිටුව සතියකට ආසන්න කාලයකදී, නිර්මාණය කර තිබෙන්නේ. මේ රටේ පරිසර විනාශය පිළිබඳව මුහුණු පොතේ සිදුවන සංවාදය විකෘති කිරීම සඳහා මේ ෆේස් බුක් පිටුව යොදා ගන්නවා. ලෝකයේ විවිධ ස්ථානවල සිදුකෙරෙන පරිසර විනාශයන් ලංකාවේ යැයි කියා උලුප්පා දක්වමින් මෙහි සිදුකරන සත්‍ය පරිසර විනාශය යටපත් කිරීමේ ප්රයත්නයක් දරන බව අපි දැක්කා. මේ ෆේස් බුක් පිටුව උපයෝගී කරගෙන ජනාධිපතිවරයා අපි පිළිබඳව යම් වැරදි අර්ථකථනයක් නිර්මාණය කර තිබෙනවා.
අඩුම තරමින් ජනාධිපතිවරයා හෝ ඔහුගේ මාධ්‍ය අංශය ෆේස් බුක්වල ක්‍රියාකාරිත්වයේ තිබෙන ඇත්ත ගිණුම් සහ ව්‍යාජ ගිණුම් හඳුනාගන්න සමත් වී නැහැ. ‘ජේ.වී.පී. පරිසරවේදියෝ’ යැයි කියන ගිණුම ජනතා විමුක්ති පෙරමුණේ යැයි හඟවමින් ආණ්ඩුවට පක්ෂපාතී ලෙස ප්රවෘත්ති නිර්මාණය කිරීම වෙනුවෙන් යොදා ගන්නා තමන්ගේ කඳවුරේම ව්‍යාජ ගිණුමක්. ඒ ව්‍යාජ ගිණුම උපයෝගී කරගෙන සමාජය තුළ අපේ පක්ෂය කෙරෙහි වෙනස් සැකයක්, බොරු ප්රවෘත්ති නිර්මාණය කරනවා යැයි අදහසක් ජනතාව තුළ ඇති කිරීමට ජනාධිපතිවරයා යොදාගෙන තිබෙනවා. ව්‍යාජ ගිණුමක තොරතුරු උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කරන්න තරම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බංකොලොත් වීම පිළිබඳව නම් අපිට කනගාටුවක් තිබෙනවා. හැට නව ලක්ෂයක් වන ඔහුට ඡන්දය දීපු පොදු ජනතාව මෙවැන්නක් බලාපොරොත්තු වුණේ නැහැ. දිස්ත්‍රික්කයක ඉන්න මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් යොදවා මෙවැනි කතාවක් කීවා නම්, අපට පිළිගන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයා දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේදී පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා පත්වී තිබෙන අසරණභාවය වගේම ඔහු පත්වී තිබෙන බංකොලොත්භාවයයි.
ඔහුගේ අසරණභාවයට, බංකොලොත්භාවයට යටත් වී පක්ෂයකට විරුද්ධව අවලාද ගහන්න අපි ඉඩ නොදිය යුතුයි. එනිසා අපි අද දිනයේ මෙම ගිණුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ‘ජේ.වී.පී. පරිසර වේදියෝ’ කියන මෙම ගිණුම ආරම්භ කළේ කවදාද? ආරම්භ කළේ කවුරුන් විසින්ද? එම ගිණුම මුදල් ගෙවා ප්‍රවර්ධනය කිරීමට උපයෝගී කරගෙන තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත කාගේ නමටද තිබෙන්නේ? කියලා හොයාගන්න පුළුවන්.
මේ පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යටපත් කරනවා නම්, පරීක්ෂණවල ප්‍රතිඵල සමාජයට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒකෙන් කියැවෙන්නේ එක දෙයක්. ජනාධිපතිවරයාගේ ‘ගම සමග පිළිසඳරක්’ ව්‍යාපෘතියේදී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින්ම ඔහුගේ දැනුවත්භාවයෙන් හෝ ඔහුගේ දේශපාලන කඳවුරේ දැනුවත්භාවයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ ගිණුමක් බව. වැරදි ප්රවෘත්ති ව්‍යාජ ගිණුමකින් නිර්මාණය කරලා එම වැරදි ප්රවෘත්ති ජනාධිපතිවරයා විසින් උපුටා දැක්වීමෙන් කියැවෙන්නේ ගරිල්ලා මාකටින් වැඩක් කියලා, අපිට සාධාරණ සැකයක් තිබෙනවා. පක්ෂයක ගිණුමක් යැයි හඟවමින් ජනාධිපතිවරයා සියලු මාධ්‍ය ඉදිරියේ කරන ලද මෙම ප්‍රකාශයට ජනාධිපතිවරයා වගකියන්න ඕනෑ. ඔහුට අත පිහදාගන්න බැහැ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප ඉදිරිපත් කරන පැමිණිල්ල කඩිනමින් විභාග කොට, සියලු විස්තර සමාජයට හෙළිදරව් කළ යුතුයි. එහෙම නැතුව ජනාධිපතිවරයාට තමන්ගේ දේශපාලන උවමනාවන් අනුව හිතූ හිතූ තැන්වල පුරාජේරු දොඩවන්න ව්‍යාජ ගිණුම් උපයෝගී කර ගැනීමට දරන මේ ප්රයත්නය පරාජය පත්කළ යුතුයි. නැත්නම් හෙට තවත් මොකක් හරි හදන්න පුළුවන්. ඊළඟ සෙනසුරාදා එය උපුටා දක්වන්න පුළුවන්. ඒ නිසා ජනතාව රැවැට්ටීම සඳහා ජනාධිපතිවරයා කරන මේ ව්‍යාජ රංගනය පරාජයට පත් කළ යුතුයි.
ගම සමග පිළිසඳර වැඩසටහනේදී ඔහු මූලිකව සාකච්ඡා කරන දෙයක් තිබෙනවා. ග්‍රාමීය ජනතාව පරිහරණය කළ ඉඩම්වලට නිලධාරීන් බලෙන් පැනලා ජනතාව හිංසාවට පත්කරලා තිබෙනවා, ඒ ප්රශ්නය විසඳන්න මැදිහත් වෙනවා කියලා මතයක් ගොඩනගනවා. කාලාන්තරයක් මුළුල්ලේ හේන් වගා කළ තැන් තිබුණා. සත්තු ඇති කළ තැන් තිබුණා. දර කපාගෙන ආපු තැන් තිබුණා. සියවස් ගණනාවක් තිස්සේ තිබුණු මේ තත්වයන් බරපතළ පාරිසරික විනාශයන් බවට පත්වුණේ නැහැ. අපි මතුකරන්නේ ගොවි ජනතාවන් වගා කරන කුඩා හේන් ගොවිතැනක් හෝ කැලයට තමන්ගේ සත්තු මුදා හැරීම හෝ ලී දණ්ඩක් කපා ගැනීම පිළිබඳව නොවෙයි. මහා පරිමාණයෙන් සිදුකෙරෙන වනාන්තර විනාශයට වෙනත් අර්ථකථනයක් දීමේ උත්සාහයක් තිබෙනවා. අපි මතුකරන්නේ ගොවියන්ට ඉඩම් දීම පිළිබඳව ප්‍රශ්නයක් නොවෙයි. මහා පරිමාණයෙන් සමාගම්වලට පරිසර විනාශකාරීව ඉඩම් ලබාදීම ගැනයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සුමේධ පෙරේරා ‘ඇවන්ගාඩ් මැරිටයිම්’ පුද්ගලික සමාගමේ සභාපතිට ඉදිරිපත් කළ ලිපියක් මගින් “වාර්ෂිකව බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක ඌනතාවයක් පවතින අතර, මෙම අස්වැන්න ලබාගැනීමට අක්කර අසූදාහක පමණ වපසරියක් අවශ්‍ය වන අතර එයින් අක්කර හතළිස් දහසක ප්‍රමාණයක් වගා කිරීමට ඔබගේ ආයතනයට හැකියාවක් ඇති බව දන්වා ඇත. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අක්කර 5000ක වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔබ ආයතනයට අනුබද්ධ ‘ඇවන්ගාඩ් ඇග්‍රෝ’ සමාගම ස්ථාපිත කර ඇති අතර, අපේක්ෂිත ව්‍යාපෘතිය මගින් රජය මූලික වශයෙන් බලාපොරොත්තු වන විදේශ විනිමය ඉතිරි කිරීම හා සිරකරු පුනරුත්ථාපනය සහ වෙනත් සමාජ ව්‍යාපෘති සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව මෙයින් නිර්දේශ කරමි.” කියලයි. ඉල්ලා තිබෙන අක්කර හතළිස් දාහෙන් නියමු ව්‍යාපෘතියක් හැටියට 5000ක් ලබාදෙන බව කියා තිබෙනවා.
ඈත ගොවි ජනපදවල තුන්වැනි පරම්පරාවේ ගොවි දුවාදරුවන්ට ගෙයක් හදාගන්න හෝ ගොවිතැනක් බතක් කරගන්න නෙවෙයි මේ ඉඩම් දෙන්නේ. අන්න එතන තමයි බරපතළ වනාන්තර විනාශයන් සිදුවෙන්නේ. අක්කර හතළිස්දාහක් වෙනුවෙන් අක්කර 5000ක නියමු ව්‍යාපෘතියක් ලබාදෙනවා. මේ වෙනුවෙන් ‘පොල්ලබැද්ද’ රක්ෂිත වනාන්තරයේ අක්කර 4,526ක රූස්ස වනාන්තර හෙළිකිරීමට සමාගම්වලට ලබාදෙනවා. ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට ඌරිවරිගේ වන්නිලඇත්තෝ ආදිවාසී නායකයා තමන්ගේ වානාන්තර ටික ආරක්ෂා කරලා දෙන්න කියලා අධිකරණයට ගියා. මේ ගොවි ජනතාවට දීපු ඉඩම් නොවෙයි. මේ ඉඩම් දුන්නේ කාටද?
‘ආර්.ජී.එන්. ප්ලාන්ටේෂන්’ පුද්ගලික සමාගමට අක්කර 1000ක් දීලා. ‘ඩී.එස්.ඩබ්. හර්බල් ප්ලාන්ටේෂන්’ පුද්ගලික සමාගමට අක්කර 100ක් දීලා. ‘ඩෙල්මා චිකන් ඇන්ඩ් ඇග්‍රෝ’ පුද්ගලික සමාගමට අක්කර 500ක් දීලා. ‘පුස්සැල්ල මීට් ප්‍රඩක්ෂන්’ පුද්ගලික සමාගමට අක්කර 500ක් දීලා. ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පොල්ලබැද්දෙන් අක්කර 150යි. ‘මොරගොඩ ඇග්‍රෝ සර්විස්’ පුද්ගලික සමාගමට අක්කර 500ක් දීලා. ඌව වෙල්ලස්සේ අක්කර 65,000ක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් ‘බුකර්ටේට්’ සමාගමට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. දැන් ආපහු වෙන සමාගමකට ලබාදෙන්න කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා. පොළොන්නරුව ත්‍රිකෝණමඩුව අක්කර 8,500ක් දෙන්න යනවා. විල්පත්තුව පරිවාර වනාන්තරවල අක්කර 1,500ක් කෝමාරිකා වගාකරන්න දෙනවා.
මේ ගොවි ජනතාවට ඉඩම් ලබාදීම් හෝ දර කෑල්ලක් කඩා ගැනීමට හෝ ලී දණ්ඩක් කපාගැනීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. පාරම්පරික ගොවි ජනතාව පදිංචි වී සිටින ගම්මානවල, ජල පෝෂක ප්‍රදේශවල, අලි සහ අනෙකුත් සතා සිවුපාවුන් ජීවත්වන ප්‍රදේශ විනාශයක්. මේ වගේ අක්කරය රුපියල් 1000/ක බදු කුලියට දෙන්නේ. අක්කර 1000ක් ගන්න රුපියල් ලක්ෂ දහයයි. මේ ඉඩම් ලබාදෙන්නේ මෙහෙමයි. ජනාධිපතිවරයා කියන ගමේ ජනතාවගේ හේන් වගා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේ. මේ ජනතාවට ආර්ථික වශයෙන් කිසිම ප්‍රතිලාභයක් නැතිව කොම්පැනිවල කම්කරුවෝ බවට පත්කරන ව්‍යාපෘති මේවා. පාරම්පරික ගොවිතැන අහිමිවෙන ගොවි ජනතාව කුලී ජනතාව බවට පත්කිරීම අවසන් ප්රතිඵලයයි. තමන්ට ඡන්දවලට උදව් කළ, අයගේ කොමිස්වලට, පගාවලට මේ රටේ පරිසරය අක්කර දහස් ගණනක් බිලිදීමේ විනාශය ගැනයි අපි කතාකරන්නේ. ජනාධිපතිවරයා උත්තර දෙන්න ඕනෑ අන්න ඒ විනාශය ගැනයි. අඩුම තරමින් ඊළඟ ‘ගම සමග පිළිසඳරේදී’වත් ඔහු මේ පිළිබඳව රටට පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනෑ.
දේශපාලකයන්ට විවිධ වර්ගයේ තුටුපඬුරු බෙදන සමාගම්වලට අක්කර දහස් ගණනක් ඩෝසර් කරන්න අවසර දීලා තිබෙනවා. වටිනා පාරිසරික පද්ධති ආසන්නයේ හෝටල් ඉදිකරන්න අවසර දීලා තිබෙනවා. මෙතන තිබෙන්නේ මහ විනාශයක් මිස නිදහස් චතුරස්රයේ ගස් හිටුවීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අපේ රටේ වටිනා ජල පෝෂක ප්‍රදේශ සහ විශාල වනාන්තර ප්‍රමාණයක් කොම්පැනිකාරයන්ට ලබාදෙමින් කරන ලද විනාශය පිළිබඳව අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කර තිබෙනවා. ලෝක ජල දිනයේදී කොළඹ නගරයේ අපි විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සූදානම්කර තිබෙනවා. “හුස්ම පොද රැකගන්න, කොළඹට එන්න” කියලා අපි සියලු දෙනාට ආරාධනා කරනවා. මේ පාරිසරික විනාශය වැළැක්වීම සඳහා ජනතාවට ආරාධනා කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් අපි දියත් කර තිබෙනවා. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම සමන්ත විද්‍යාරත්න සහෝදරයාගේ නායකත්වයෙන් රට පුරා ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්රණ පැවැත් වූවා. පරිසරය පක්ෂ, පාටවලට අයිති දෙයක් නොවෙයි. ශ්‍රී ලංකා, ජේවීපී, යූඑන්පී ලෙස හෝ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හෝ පරිසරය දෙස බලන්න එපා කියලා ආරාධනා කරනවා.”

“ජනාධිපතිතුමා පරිසර ප්‍රශ්නයට මේකප් දැම්මට යටින් කුණුවෙලා ගඳගහනවා. ළපටි හුරතල් කතාවලින් පරිසර විනාශය ගැන ඇත්ත කතාව වහන්න බැහැ” – ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න
“වත්මන් ආණ්ඩුව බලයට එන්න පරිසර ප්රශ්නය පාවිච්චි කළා. විල්පත්තු වන විනාශය ගැන කතා කරමින් වියත්මඟ වැනි සංවිධාන කිව්වා පරිසරය ආරක්ෂා කරන්න ගහක් වගේ නායකයෙක් ඕනෑ කියලා. වර්තමාන ආණ්ඩුවට අවුරුද්දයි මාස 04ක් ගතවෙලා. මේ වෙනකොට රටේ ජල පෝෂක භූමි, වන රක්ෂිත භූමි, කඩොලාන භූමි ඩෝසර් කරන්න පටන් අරගෙන. අපි දෙසැ.28 වෙනිදා සිට ඩෝසරයට එරෙහිව පරිසර සම්මන්ත්රණ මාලාවක් පටන් ගත්තා. දැන් සම්මන්ත්රණ 30කට ආසන්න ප්‍රමාණයක් කරලා තිබෙනවා. ජනතාව දැනුවත් කළා. වන විනාශය යම් පාලනයක් කළත් සම්පූර්ණයෙන් නවත්වන්න අපිට බැරිවෙලා තිබෙනවා. දැන් සිංහරාජය ඇතුළේ නක්ල්ස් ඇතුලේ දහයියාගලට, පොල්ලෙබැද්දට, ත්රිකෝණමඩුවට, විල්පත්තුවට ඩෝසර් ඇවිල්ලා. අපි ජනාධිපතිට අගමැතිට කියනවා රක්ෂිත කැලෑවලට ජල පෝෂක ප්‍රදේශවලට දාපු ඩෝසර් ටික ජනාධිපති මන්දිරයේ අගමැති මන්දිරයේ නැත්නම් පාර්ලිමේන්තුවේ ගාල් කරගන්න කියලා.
නන්දසේන ජනාධිපතිවරයා ළපටි, බොළඳ, හුරතල් වචනවලින් පරිසර ප්රශ්නය පිළිබඳව අදහස් දක්වනවා අපිට ඇහෙනවා. කොළඹ ලස්සන කළා, මම තමයි පරිසරය ආරක්ෂා කළේ කියලා. මමයි හැමදේම කළේ කියලා එතුමා කියනවා. ජෛව විවිධත්වය සුරකින රක්ෂිත ඉඩම් ආරක්ෂා කරනවා කියන එක ළපටි සුරතල් වැඩක් නෙවෙයි කියලා අපි ජනාධිපතිට කියන්න කැමතියි. අපේ ගෙවල්වලත් අම්මලා අක්කලා මල් වවලා ලස්සන කරනවා. අලංකාරය වැදගත්. නමුත් පරිසරය කියන්නේ ඊට වඩා ගැඹුරු විෂයක්. ජෛව විවිධත්ව පරිසර පද්ධතියකින් ජනතාවට රටට ලැබෙන සේවය මෙතකැයි කියලා කියන්න බැහැ. එවැනි පරිසර පද්ධති තමයි මේ විනාශ කරමින් තිබෙන්නේ. අපේ ජීවිත ගැටගැහිලා තියෙන්නේ පරිසරයත් එක්ක. අපේ පෙනහැල්ල බදු සිංහරාජයට, නක්ල්ස් කඳු පංතියට අත තියනවනම්, ජල පෝෂක ප්‍රදේශ, ආරක්ෂක තෙත් බිම් විනාශ කරල දානවනම්, අලි ඇත්තු ඉන්න කැලෑ විනාශ කරල දානවනම් අපිට ඒ දිහා බලාගෙන ඉන්න බැහැ. මේ රටේ පාලකයින්ට වන සතුන්, කැලෑ, ගං ඉවුරු වන ලැහැබ පේන්නේ වානිජ භාණ්ඩ හැටියට. අවුරුදු 73ක් ආණ්ඩු කරපු අයගේ කෙරුවාවෙන් පරිසර ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. දරුණු නියඟයන්, ගංවතුර, රජරට පළාතේ දරුණු වකුගඩු රෝග ඇතිවෙමින් තිබෙනවා. ආර්ථික හානි අත්පත් කරදෙමින් ඉන්නවා. කැලේ හිටපු අලි දැන් සරණාගතයින් අනාථයින් බවට පත්වෙමින් ඉන්නවා. අලි ගමට ඇවිත්, නගරෙට ඇවිත්. දැවැන්ත නායයෑම් ඇතිවෙනවා. නන්දසේන මහත්තයා නගර අලංකරණය කරනකොට මීතොටමුල්ලේ කුණු ගොඩගැහුව්වා. කුණු කන්ද නායගිහින් මිනිස්සු මැරුණා. ඒවා ගඳගහන ප්‍රතිපත්ති. මේ ප්‍රශ්න මේකප් කරලා ලස්සන ඇන්දුවට යටින් කුණුවෙලා ගඳගහනවා. පරිසර විනාශය දැන් සමාජීය ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා එය සරල ලෙස ගන්න එපා.
බි්රතාන්ය අධිරාජ්‍යවාදීන් තේ වගාව වෙනුවෙන් අපේ රටේ කඳු පංතිය ජලපෝෂක ප්‍රදේශ වනසලා දැම්මා. එම ඉතිහාසයෙන් පස්සේ දැවැන්ත වන විනාශය වෙන්නේ නන්දසේන, රාජපක්ෂ පාලනය කාලේ. දරුණුම ත්‍රස්තවාදය පරාජය කළා කියපු මේ පාලකයින් පරිසරය වනසන ත්රස්තවාදීන් බවට පත්වෙලා. ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ පරිසරය ආරක්ෂා කර ගන්න කියලා. නමුත් දැන් ජනතාවට සිදුවෙලා තියෙන්නේ ආණ්ඩුවෙන් පරිසරය ආරක්ෂා කරගන්නයි. පරිසර ඇමතිගෙන් පරිසරය ආරක්ෂා කරගන්න වෙලා, වනජීවී ඇමතිගෙන් වනජීවීන් ආරක්ෂා කරගන්න වෙලා. ජනාධිපතිගෙන් පරිසරය ආරක්ෂා කරගන්න වෙලා. ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයින්ගේ ඩෝසර් ටික කැළේට දාලා තියෙන්නේ. යුද්ධය කාලේ එල්ටීටීඊ ත්රස්තවාදීන් අලිමංකඩ ඇතුලු ප්‍රදේශ අල්ලා ගත්තා. අපේ ආරක්ෂක අංශ ඒවා මුදවා ගත්තා. ඒ වගේ දැන් මේ ආණ්ඩුවෙන් සිංහරජය මුදවා ගන්න වෙලා. නක්ල්ස්, ත්‍රිකෝණමඩුව, විල්පත්තුව මුදවාගන්න වෙලා. මේක දැවැන්ත අනතුරක්. මේ රටේ ජනතාවට අපි කියනවා පක්ෂ පාට බේදයෙන් තොරව තමන්ට ජීවය දෙන මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න එකතු වෙන්න කියලා. අද ලෝක වනාන්තර දිනයයි. හෙට ලෝක ජල දිනයයි. අපි ජනතාවට ආරාධනා කරනවා ඩෝසර් ආපසු හරවන්න එන්න කියලා. අපි කියන්න සතුටුයි. පසුගිය දෙසැ.28වෙනිදා ආරම්භ කරපු ඩෝසරයට එරෙහි සම්මන්ත්රණ මාලාවෙන් පසුව දැන් විවිධ කණ්ඩායම් සංවේදී වෙලා. දරුවන් කට අරින්න පටන් අරගෙන. දරුවන්ට පේන් දේ දැනෙන දේ කියනවා. සිරසට ආපු භග්‍යා දැරිය කිව්වෙත් තමන්ට දැනුන දේ. ආණ්ඩුව කළ යුත්තේ ඒ දරුවට තර්ජනය කරන එක නෙවෙයි. සිංහරාජයට අපි ගියා. වන විනාශය අපි දෑසින් දැක්කා. භාග්‍යා කියන්න කලින් අපි මේවා කිව්වා. ඇයි ආණ්ඩුව අපෙන් මේවා ප්‍රශ්න කරන්නේ නැත්තේ? දැන් සාමාන්‍ය ජනතාවත් මේ ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පාරට බහින්න සූදානම්. එතකොට ආණ්ඩුවට රිදෙනවා. නැගිටින කට්ටියට රිදවන්න ආණ්ඩුව උත්සහ කරනවා. භාග්‍යා වැනි තරුණ තරුණියන්ට, දේවානි වැනි රාජ්‍ය නිලධාරීන්ට තරවටු කරනවා. අවනීතික උත්සහයන් ගන්නවා.
ආණ්ඩුව වන විනාශය නවත්වන්න ඕනෑ. නැත්නම් වන විනාශ කරන ආණ්ඩුව නවත්වන්න ඕනෑ. ආණ්ඩුව වන විනාශයට පලිහක් හැටියට ජනතාව ඉදිරියට දානවා. ඊට පිටිපසින් ඉන්නේ ආණ්ඩුවට හිතවත් කළු ව්‍යාපාරිකයින්. වැලිතොටුපලවල් අයිතිකාරයෝ, නිදන් හොරු, ගංජා හේන්කාරයෝ ඉන්නවා. යක්කුරේ ජනතාවට පාරක් හදන එක පිටිපස්සේ තිබෙන්නේ වෙන උවමනාවක්. ගැමියන්ට තියෙන ප්‍රශ්න විකල්ප හොයනවා වෙනුවට ජාවාරම්කරුවන්ට පාර කපන එකයි ආණ්ඩුව කරන්නේ. විමලවීර දිසානායක වනරක්ෂණ නිලධාරීන්ට පහර දෙන්න උත්සහ කරනවා. ගස්කපන පුද්ගලයින් අත්අඩංගුවට ගත්තාම විමලවීර දිසානායක ගිහින් බලහත්කාරයෙන් එම පුද්ගලයින් නිදහස් කරගෙන එනවා. මේක අවාසනාවන්ත තත්වයක්.
නන්දසේන මහත්තයා ගම සමඟ පිළිසඳරක් කියලා රට වටේ යනවා. යන යන තැන ඉවරයි. ගමේ මිනිස්සු ඉස්සරහට දාලා පුෂ්පකුමාරලගේ සසේන්ද්රලාගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගන්නවා. දහයියාගල මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනවා කියලා අලිමංකඩක් තිබෙන දහයියාගල ව්‍යාපාරිකයින් විසින් අල්ලගන්න පටන් ගත්තා. සිංහරාජය ලෝක උරුමයක්. ලංකාවේ පෙනහැල්ල වගේ තැනක්. සිංහරාජ වන විනාශය සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ලංකාගමට පාරක් ඕනෑ කියලා සංචාරක හෝටල්වලට පාරවල් කපනවා. ජාතික පාරිසරික පනත පරිසර ඇගයීම් වාර්තා අදාල නැහැ. අපි ළඟ පත්තර වාර්තා තිබෙනවා. ජනාධිපතිවරයා කොහොමද කියන්නේ බොරු ප්‍රචාර කියලා. ‘සිංහරාජයේ දෙල්ගොඩ රක්ෂිතයේ අක්කර 143කට හොර ඔප්පු හදලා’, හොර ඔප්පු හදලා ගස්කපලා තියෙන්නේ. දැන් ගියොත් බලාගන්න පුළුවන්. සිංහරාජෙට ඉන්නේ අලි දෙන්නයි. ඒ අලි යන එන අලිමංකඩ තමයි මේ හෝටල් ඉදිවෙන්නේ. සිංහරාජෙට තියෙන්නේ හේකටයාර් 11187යි. සිංහරාජය පුළුල් කරන්න කියලා 2019 වසරෙදි ගැසට් එකක් ගැහුවා තව හෙක්ටයාර් 36,475ක් අත්පත්කරගන්න කියලා. දැන් ඒ ඉඩම් කොම්පැනිවලට දෙනවා හොර ඔප්පු හදලා.
ජනාධිපතිතුමා මීමුරේ ගිහින් එනසාල් වගාකරන්න ඉඩ දෙනවා කිව්වා. දැන් ව්‍යාපාරිකයෝ අක්කර 5, 10, 25 අල්ලගෙන. නක්ල්ස් වන රක්ෂිතයේ වගා කරන්නේ කොහොමද? මේවා පත්තරවල පළවුනා. මුතුරාජවෙල කියන්නේ කොළඹ නගරයේ හදවත. මේ ආණ්ඩුව ආවට පස්සේ මුතුරාජවෙල අක්කර 406ක් කොම්පැනියක දෙන්න යෝජනා කරනවා නිවාස සංකීර්ණයක් හදන්න. තවත් අක්කර 700ක් දෙන්න හදනවා ගෝල්ෆ් පිටියක් හදන්න. ඊට එරෙහිව කාදිනල්තුමා, පරිසරවේදීන් විවිධ සංවිධාන ආවා. ඒ හැම එකක්ම බොරු කියලද ජනාධිපතිතුමා කියන්නේ. ලාහුගල අක්කර 60ක් කපලා. ජනාධිපතිතුමා රට ජාතිය, ආගම ආරක්ෂා කරනවා කියලා ආවේ. ආපු ගමන් කුරුණෑගල රාජසභාමණ්ඩපයට වැඩේ දුන්නා. රජපීල්ල උද්‍යානයට වැඩේ දුන්නා. මාධ්‍ය වාර්තා කළා. ඒවා කොහොමද නැහැ කියන්නේ. රූමස්සල විශේෂ ජෛවවිවිධත්ව කලාපයක්. ඒ මැදින් අඩි 20ක පාරක් කපන්න යනවා. දැවැන්ත ඛේදවාචකයක් සිදුවෙමින් තිබෙනවා.
මේ අපරාධය ආපස්සට හරවන්න ඕනෑ. ලෝකයේ ජීවය පවතින්නේ පරිසර පද්ධතියත් එක්ක. ලෝකයේ වැඩිපුරම සමුළු තියන්නේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඉන්න කාලේ ලෝක පරිසර සමුළුවකට ගිහින් කිව්වේ අපේ රටේ වන ගහනය 20% සිට 30% දක්වා වැඩි කරනවා කියලා. 1%කින් වැඩි කරන්න නම් අක්කර 162,500ක් වවන්න ඕනෑ. නමුත් පසුගිය වසර 05 ඇතුළේ අපේ රටේ වන ගහනය අඩුවෙමින් යනවා. අවුරුද්දකට අක්කර 20,000 ගානේ කපලා විනාශ කරනවා. මේ යනවිදියට වනය විනාශ කළොත් 2030 වනවිට වනගහනය 13%දක්වා අඩුවෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඩොසර් ටික වහාම කැඳවන්න කියලා. නැත්නම් ආණ්ඩු පවා ඩෝසර් කරගෙන යන ගමනකට ජනාතාව පෙළගස්වන්න අපි සූදානම්”
© මාධ්‍ය ඒකකය ජනතා – විමුක්ති පෙරමුණ
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට