Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතාව ආණ්ඩුවෙන් දෙන ඔප්පු උකස් කරයි! ජනපති එපා කියයි

ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට කටයුතු කරන බවත්, කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළ මෙම විප්ලවීය වැඩපිළිවෙළ රජය ආරම්භ කළේ රටේ ජනතාවට සහනයක් ලබාදීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු සඳහන් කළේ බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

ඒ අනුව තමන්ට ලැබෙන ඔප්පු උකස් නොකරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, සුගතදාස ⁣ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (17) පස්වරුවේ පැවති කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනට එක්වෙමිනි .

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්‍රදානය කිරීම සංකේතවත්ව සිදු විය.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස 31 නිවැසියන්ට මෙම “රන්දොර උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

“අද ඔබේ එක ප්‍රශ්නයක් විසඳී තිබෙනවා. තමන්ගේ නිවසේ සින්නකර අයිතිය ඔබට ලැබී තිබෙනවා. නිවසක අයිතිය නැති වීම ජනතාවට විශාල ගැටළුවක් බව අප දන්නවා. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් ලෙස එහි ජනතාවගේ ගැටලු පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා.

අපි ආණ්ඩුව භාරගත්තේ ඉතා අසීරු කාලයක. පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙම ජනතාව විශාල පීඩාවකට පත් වුණා. නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව ඔබ විශ්වාස කළා. එම විශ්වාසය නිසාම එම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා. අප කෙරෙහි විශ්වාසය තබමින් ඉවසීමෙන් කටයුතු කළ ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

අද රට ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. මෙම ආණ්ඩුව එක පක්ෂයකින් ගොඩනැඟුවක් නොවෙයි. ඇතැම් අය වගකීම් පැහැර හරින විට ඉතා හදිසියේ එක් එක් පක්ෂවලින් පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව නිර්මාණය කළා. මීට පෙර මේ රටේ මෙවැනි ආණ්ඩුවක් තිබුණේ නැහැ.

රටක් වශයෙන් අප අද ගොඩනැඟෙමින් සිටින අවස්ථාවේ එහි ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතුයි. මෙම මහල් නිවාසවල පූර්ණ අයිතිය ඔබට ලබාදීමට කටයුතු කර තිබෙන්නේ ඒ නිසයි. අපි දැන් රටක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් තවත් ඉදිරියට යා යුතුයි. ජනතාවට හොද ජීවන තත්ත්වයක් ඇති කර දිය යුතුයි.

මේ ආණ්ඩුව ඉටුකර තිබෙන්නේ වෙනත් කිසිදු ආණ්ඩුවක් ඉටු නොකළ වැඩකටයුත්තක්. අපි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අයිතිය ලබා දී තිබෙනවා. අපි මේ රටේ අයිතිය පුළුල් කර තිබෙනවා. අනෙකුත් ආණ්ඩු අයිතිය දෙස බැලුවේ කොටස් වෙළෙඳපොළේ පමණයි. ඔවුන් බැලුවේ කී දෙනෙක් කොටස් ගන්නවද, කොටස් වටිනාකම වැඩි වෙනවද, අඩු වෙනවද කියලයි. නමුත් අපි බැලුවේ සාමාන්‍ය ජනතාව දෙසයි.

මේ රටේ ගොවි ජනතාව පසුගිය කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. එසේ නොමැති වූවානම් අපට මෙම ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කළයුතුයි. අප මෙතෙක් කාලයක් එම ජනතාවට ඉඩම් අයිතිය දුන්නේ නැහැ. මෙතෙක් සිදු වුණේ බලපත්‍ර ලබාදීම පමණයි. දැන් අප ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කර තිබෙනවා. මේ කාලය අවසන් වන විට ලක්ෂ 20කට වඩා ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට සහ තට්ටු නිවාසවල ජීවත්වන ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදීමට කටයුතු කරනවා. එවිට මේ රටේ ඉඩම් සහ නිවාස අයිතිය තිබෙන ජනතාවගේ ප්‍රමාණය වැඩි වෙනවා. අප සිදු කර තිබෙන එම විප්ලවය කිසිදු ආණ්ඩුවකට කිරීමට නොහැකි වූවක් බව කිවයුතුයි. මෙම වැඩපිළිවෙළ ආරම්භ කළේ මේ රටේ ජනතාවට සහනයක් ලබාදීමටයි.

ඒ වගේම වතු ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳ අදාළ මන්ත්‍රිවරුන් කැඳවා මම සාකච්ඡා කළා. අලුත් නීතියක් සකස් කර සියලුදෙනා සමග සාකච්ඡා කරමින් එම වැඩකටයුතු ක්‍රියාත්ම කරන ලෙස මම එහිදී උපදෙස් දුන්නා.

ගමත්,නගරයත් වැවිලි ප්‍රදේශ යන තුනේම සියලු ජනතාවගේ නිවාස හා ඉඩම් අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරනවා. එය මේ ආණ්ඩුවේ ප්‍රධාන වැඩසටහන වන බවද කිවයුතුයි. රට තුළ වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප එතනින් ආරම්භ කරමු.

මේ මහල් නිවාස ඉදිකිරීම සඳහා හිටපු නායකයන් තුන් දෙනෙක් විශාල කැප කිරීම් කළා. ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිවරයා බම්බලපිටියේ පළමු මහල් නිවාස සංකීර්ණය ඉදි කළා. ඉන්පසුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ විශාල මහල් නිවාස ව්‍යාපෘති ඇතිකළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහල් නිවාස වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට කටයුතු කළා. මේ තිදෙනාට ඒ සම්බන්ධව ස්තූතිවන්ත විය යුතුයි. අද මේ ඔබට ලබාදෙන සින්නක්කර නිවාස ඔප්පුවල වටිනාකම තව වසර දහයකින් දෙගුණයක් වෙනවා. එම නිසා මෙම දේපළ නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියා මම ඉල්ලා සිටිනවා.

අද ඔබට ලැබෙන ඔප්පුව උකස් කරන්න එපා. තව අවුරුදු 10 කින් කොළඹ දියුණු වෙනවා. බස්නාහිර පළාත ලක්ෂ 50ක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී රජයේ ඉඩම්වල තිබෙන පැරණි ගොඩනැගිලි ඉවත් කරනවා. ඒ වගේම මේ පළාතේ නව වරායක් ඉදිකළ හැකියි. ප්‍රසන්න රණතුංග ඇමැතිතුමා ඇතුළු කණ්ඩායම දැනටමත් එම වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයේ අලුතින් පාසල කිහිපයක් ඉදිකිරීමට අප තීරණය කළා. අප එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි”

About The Author