Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතාවට මවා පාන බොරු ෆැන්ටසි කුඩුවෙයි – මෙන්න ඇත්ත ලංකාව විශාලාවක් වෙයිද ?

කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති අවධානම අවම මට්ටමකට පත් කරමින් රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා ජනපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති සහ මෙරට මගී ප්‍රවාහන සේවය පවා සාමාන්‍යකරණයට ලක් කර ඇති මොහොතක මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව රෝහල් පද්ධතියට පවා තරම් ගත නොහැකි අයුරින් ඉහළ යන්නේ දෛනිකව වාර්තාවන ඉහලම මරණ අගයන් වාර්තා කරමින්.

එසේ රජය විසින් වාර්තා කරන මරණ සංඛ්‍යාව පිළිබඳ දත්ත සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව පවසන සෞඛ්‍ය වෘත්තිකයන් පෙන්වා දෙන්නේ රජය වාර්තාකරණ මරණ සංඛ්‍යාව වඩා දෙතුන් ගුණයක් ඉහළ මරණ සංඛ්‍යාවක් දෛනිකව සිදුවන බවට තොරතුරු ඇති බවයි.

මේ අතර රෝහල් පද්ධතිය ‍ක්‍රමයෙන් බිඳවැටෙමින් පවතින්නේ ආසාදිත රෝගීන් දරා ගැනීම සඳහා රෝහල් තුළ ඉඩකඩ නොමැති වීම මතයි.

එමෙන්ම රෝහල් රැසක හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ බොහෝ රෝහල වල කාර්ය මණ්ඩලය ද කොරෝන ආසාදිතයන් බවට පත්වීම හේතුවෙන්.

තත්වය මේ තරම් අර්බුධ කාරී වුවත් බොහෝ මාධ්‍යය ඔස්සේ එහි බරපතල බව සමාජගත කරන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා.

මේ අතර මේ වන විට තම මවත් පියාත් දෙදෙනාම කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදිනියක් වන තිලක්ශනී මධුවන්ති මහත්මිය ඇගේ ෆේස්බුක් පිටුවෙහි ඉතාම වැදගත් සටහනක් තබා තිබෙනවා.

ඒ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) මේ වන විට මතුව ඇති ඛේදනීය තත්ත්වය පිළිබඳවයි.

අදාල සටහන පහතින්..

ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා..

දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.

වාට්ටුවේ එක් ඇඳක රෝගීන් ⁣දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.ඔවුන් අසාධ්‍ය රෝගීන්.

වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.

අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.

තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.

මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.

සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.

මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.

ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.කාර්ය මණ්ඩලය සීමිතයි.

ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.මීට වඩා අසරණකමකුත් නෑ.හෙට මමත් ආසාදිතයෙකු වෙයි.මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.

කොරෝනා සුළුවෙන් තකන්න එපා.

පුළුවන් තරම් පරිස්සම් වෙන්න.පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.පරිස්සම් වෙන්න..

හොඳටම පරිස්සම් වෙන්න..

තිලක්ෂණී මධුවන්ති

About The Author