අද වන විට චීනයේ නිෂ්පාදනය කරන ලද “සිනොවැක්” හා “සිනොෆාම්” යන එන්නත් ශ්‍රී ලාංකිකයන් හට ද ලබා දීමට රජය මැදිහත් වී තිබේ. ඒ, ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතයෙන් බේරීම සඳහා ය. මේ වන විට ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි සැලකිය යුතු මාත්‍රා සංඛ්‍යාවක් අප රටෙහි ජනතාවට එන්නත් කොට තිබේ. චීනයේ නිෂ්පාදිත එන්නත පිළිබඳ ද ජනතාව දැනුවත් වී සිටීම වටී.
චීන එන්නතෙහි ස්වභාවය කුමක් ද?
බරපතල රෝග ලක්ෂණ ඇති වීමට ඉඩ නොදෙමින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට නිරාවරණය කිරීම අරමුණු කොට ගෙන, දැනටමත් මරා දමන ලද වෛරස අංශු ශරීරගත කිරීම චන එන්නත් ක්‍රමය හරහා සිදු වේ.
අනෙකුත් එන්නත් වර්ග සමඟ සංසන්දනය කිරීමේ දී, බටහිර රටවල සංවර්ධනය වෙමින් පවතින මෝඩර්නා සහ ෆයිසර් එන්නත් mRNA වර්ගයට අයත් වන බව පෙනේ. මෙයින් අදහස් කරන්නේ එමඟින් කොවිඩ් 19 වෛරසයේ ජාන කේතයේ කොටසක් ශරීරයට එන්නත් කර, ශරීරය තුළ වෛරස ප්‍රෝටීන සෑදීම ආරම්භ කරවන බව යි. එනමුත් ඒ තුළ සම්පූර්ණ වෛරසය අඩංගු නොවන අතර සම්පූර්ණ වෛරසයට පහර දීම සඳහා මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමේ තරමට පමණක් ප්‍රමාණවත් වේ.
“මෙය ජලභීතිකාව වැනි බොහෝ ප්‍රසිද්ධ එන්නත් තුළ සාර්ථක ව භාවිත කෙරෙන වඩාත් සාම්ප්‍රදායික ක්‍රමයකි.” යනුවෙන් නැන්යැන්ග් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ලූඕ ඩහායි පවසයි.
මොඩර්නා සහ ෆයිසර් එන්නත් පිළිවෙළින් සෙල්සියස් අංශක -20 සහ -70 යන උෂ්ණත්ව යටතේ ගබඩා කළ යුතු වුව ද චීන එන්නත ගබඩා කිරීමට අවශ්‍ය වන්නේ සෙල්සියස් අංශක -2ත් -8ත් අතර උෂ්ණත්වයක් පමණි. ශ්‍රී ලංකාව වැනි සමකයට ආසන්න සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය වාසියකි.
චීන එන්නත් කෙතරම් ඵලදායී ද?
ඇතැම් පර්යේෂකයන් පවසන්නේ එහි ඵලදායීතාව පිළිබඳ නිවැරදි තොරතුරු පැවසීමට තරමක් අපහසු බව යි.
විද්‍යාත්මක සඟරාවක් වන “ද ලැන්සෙට්”හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන ලිපියක සඳහන් වන්නේ චීන එන්නත පිළිබඳ පර්යේෂණයේ තෙවන අදියරට සහභාගි වූ රෝගීන් 600කගෙන් ලබා ගත් ප්‍රතිඵල අනුව සිනොෆාම් එන්නත වඩාත් සුදුසු වන්නේ හදිසි අවස්ථාවන් සඳහා බව යි. කෙසේ වෙතත් තුර්කියේ සහ ඉන්දුනීසියාව තුළ සිදු කෙරුණු අවසාන අදියරේ අත්හදා බැලීම්වල අතුරු දත්තවලින් පෙනී ගියේ එන්නත 91.25%ක් ඵලදායී බව යි.
බ්‍රසීලයේ පර්යේෂකයන් මුල දී කියා සිටියේ ඔවුන්ගේ සායනික අත්හදා බැලීම්වල දී එන්නත 78%ක් ඵලදායී වූ බව යි. එනමුත් 2021 ජනවාරි මාසයේ දී ඔවුන්ගේ ගණනය කිරීම් අතරට වැඩි දත්ත ප්‍රමාණයක් ඇතුළත් කිරීමෙන් පසුව එම අගය 50.4% දක්වා සංශෝධනය කරන ලදී. එම දිනවල ම සිදු වූ ස්වේච්ඡා සේවකයෙකුගේ මරණයෙන් පසු අදාළ පර්යේෂණ තාවකාලික ව නතර කරන ලද නමුත්, මරණය හා එන්නත අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සොයා ගැනීමෙන් පසු එන්නත්කරණය නැවත ආරම්භ විය.
පසුගිය වසරේ ජූලි මාසයේ සිට ම චීනයේ අධිඅවදානම් කණ්ඩායම්වල හදිසි භාවිතය සඳහා සිනොවැක් එන්නත යොදා ගෙන තිබේ.
2020 සැප්තැම්බර් වන විට සිනොවැක් ආයතනයේ ප්‍රධානී, “යින්” මහතා පැවසුවේ ඒ වන විට ස්වේච්ඡා සේවකයන් දහසකට වැඩි පිරිසක් සඳහා එන්නත ලබා දී ඇති අතර ඉන් ඉතා සුළු පිරිසකට පමණක් තෙහෙට්ටුවක් හා අසහනයක් දැනුණු බව යි. එනම් 5%කට වඩා අඩු පිරිසකට ය.
අද වන විට චීන එන්නත් ලබාගෙන ඇති රටවල් මොනවාද?
චීන සමාගම් විසින් සායනික අත්හදා බැලීම් කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක එන්නත් මාත්‍රා ගණනක් අන් රටවලට සැපයීමට උනන්දුවක් දක්වන බව පෙනේ. නිදසුනක් ලෙස, සිනොෆාම් මාත්‍රා මිලියන 223ක් දැනටමත් ලොව පුරා විවිධ රටවලට බෙදා හැර ඇත. ඇතැම් රටවල ගනුදෙනුවල වටිනාකම තවමත් අනාවරණය වී නොමැති නමුත් “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පත වාර්තා කරන පරිදි හංගේරියාව සිනොෆාම් එන්නත සඳහා මාත්‍රාවකට ඩොලර් 36 බැගින් ගෙවා ඇත. අප්‍රිකානු රටවල් කිහිපයක් ම මාත්‍රාවක් ඩොලර් 19 ගණනේ එන්නත් ලක්ෂ දෙකක් මිළට ගෙන තිබේ.
ඇතැම් රටවල් ඔවුන්ගේ කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා චීන එන්නත් මත දැඩි ලෙස රඳා සිටියි. උදාහරණයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පාලනය කරනු ලබන ප්‍රදේශවලින් බහුතරයකට ලබා දී ඇත්තේ සිනොෆාම් ය. මේ වන විටත් මිලියන 1.5කට එන්නත් කර ඇති සර්බියාවට තවත් 500,000ක සිනොෆාම් මාත්‍රා ප්‍රමාණයක් ලැබෙනු ඇත. කාම්බෝජය සහ ඊජිප්තුව වෙත වරකට මාත්‍රා 300,000 බැගින් යවා ඇත.
මේ අතර, සිනොවැක් එන්නත අත්හදා බලන රටවලට ද දැනටමත් විශාල මාත්‍රා ප්‍රමාණයක් ලැබී තිබේ. නිදසුනක් වශයෙන් මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ඉන්දුනීසියාව විසින් මාත්‍රා මිලියන 28ක් ලබාගෙන ඇත. චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයට අනුව මේ වන විට චිලී රාජ්‍යය සඳහා පස් වතාවක් එන්නත් යවා තිබේ. කෙසේ වෙතත් එහි නිශ්චිත මාත්‍රාවන් ගණන පැහැදිලි නැත. දැනට කැන්සිනෝබියෝ එන්නත ශරීරගත කිරීම ආරම්භ කර ඇති පාකිස්ථානය ද චීන එන්නත් මිලියන දස දහස් ගණනක් ඇණවුම් කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. එනමුත් එන්නත් දෙවර්ගය ම කෙතරම් පරෙස්සම් සහගත ද යන වග තවමත් සිතා ගත නොහැකි ය.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්