Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගේ ඇතුළෙ පැළ තියාගන්න එක ඔය කියන තරම් හොඳයි ද?

මෑත වසරවල දී නිවස තුළ පැළෑටි තබාගැනීමේ උපක්‍රමය ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය වී ඇත. එනමුත් ගෘහස්ථ ශාක අප විශ්වාස කරනා තරමට ම වාතය පිරිසිදු කරන්නේ ද? එසේ නම් ඒ කොපමණ දුරකට දැයි සොයා බැලීම වටී.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ දා පටන් අප බොහෝ දෙනෙකු වැඩි කාලයක් ගත කරන්නේ අපගේ නිවෙස් හා කාමර ඇතුළත ය. එබැවින් නිවස තුළ සැරිසරන වායුවල ගුණාත්මකභාවයේ ඇති වැදගත්කම කෙරෙහි මේ වන විට විශාල අවධානයක් යොමු ව පවතියි. ඇමරිකානු පාරිසරික ආරක්ෂක ඒජන්සිය (EPA) වාර්තා කරන්නේ නිවසක් තුළ ඇති වායු දූෂක මට්ටම, එයින් පිටත පරිසරයට වඩා පස් ගුණයක් වැඩි බව යි. ගෘහස්ථ ක්‍රීඩාවක හෝ ව්‍යායාමයක නිරත වනවා නම් මෙම තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි ය. අප නිවස ආශ්‍රිත ව ආශ්වාස කරන වාතය හැකි තරම් පිරිසිඳු බව සහතික කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. කිසියම් පුද්ගලයෙකුට තම නිවස තුළ ඇති වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා “වායු පවිත්‍රකාරකයක්” යොදා ගත හැකි වුව ද, ඒවායේ මිළ පිළිබඳ සැලකූ කල සාමාන්‍ය ජනතාවට නම් එවැන්නක් සවි කර ගැනීම සිහිනයක් පමණි. ගෘහස්ථ ශාක පිහිටට පැමිණෙන්නේ මෙවැනි අවස්ථාවක දී ය.

ගෘහස්ථ ශාකවලින් වාතය පිරිසිඳු වන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් වාතයේ ගුණාත්මකභාවය අඩු වීම සඳහා “කාබන් ඩයොක්සයිඩ්”, “කාබන් මොනොක්සයිඩ්”, “නයිට්‍රස් ඔක්සයිඩ්” මෙන් ම වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs) ද බලපාන බව ඔබ දැනටමත් දන්නවා ඇත. ඒවා අපගේ නිවෙස් තුළ ඇති ඇතැම් නිෂ්පාදන සහ ද්‍රව්‍ය තුළින් නිකුත් වෙයි.

එසේ ම ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය හරහා ශාක, අප විසින් පිට කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පරිවර්තනය කරන අතර අවශෝෂණය නම් ක්‍රියාවලියක් හරහා වායුගෝලය තුළින් විෂ වායූන් ඉවත් කරයි.

1989 දී නාසා ආයතනයේ, විද්‍යාඥ බිල් වුල්වර්ටන් විසින් උපුටා දක්වන ලද වාර්තාවක දැක්වෙන්නේ ගෘහස්ථ වායු දූෂණයෙන් ගැලවීම සඳහා ආර්ථික විසඳුමක් සැපයීමට නිවෙස් තුළ තබා ගන්නා ශාකවලට හැකි බව යි. වොල්වර්ටන් විසින් පරිසරය තුළින් විෂ වායු ඉවත් කිරීමට ශාකවලට ඇති හැකියාව ගැන පමණක් නොව, ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා එම ශාක භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ ද අධ්‍යයනය කළේය. කෙසේ වෙතත්, වඩාත් මෑත පර්යේෂණවලින් සනාථ වී ඇත්තේ මෙම අදහස නිවැරදි නොවන බව යි.

ඕසෝන් ස්තරයට සිදු වන හානිය අවම කිරීම සඳහා අවට පරිසරයේ ඇති ස්වාභාවික ශාකවල බලපෑම පිළිබඳ අධ්‍යයනය කළ විද්‍යාඥයෝ, ශාක ඕසෝන් ගැටලුව විසඳීම වෙනුවෙන් 99%ක පමණ දායකත්වයක් ලබා දෙන බව සොයා ගත්හ. 2017 වසරේ “බිල්ඩින් ඇන්ඩ් එන්වයරන්මන්ට්” සඟරාවේ පළ වූ ලිපියක මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළ වී ඇත. කෙසේ නමුත් ගෘහස්ථ ශාකවලින් සාමාන්‍ය නිවසකට සිදු වන බලපෑම අනුමාන කිරීම සඳහා රසායනාගාරයක් තුළ සිදු කරන ලද පරීක්ෂණවල දී සොයා ගනු ලැබුවේ ශාක විසින් අදාළ නිවසේ පරිසරය වෙත ඇති කරන බලපෑම ඉතා සුළු එකක් බව යි. කිසියම් නිවසක වාතයේ ගුණාත්මකභාවයේ ප්‍රායෝගික වෙනසක් ඇති කිරීමට නම්, එහි එක් කාමරයක් පහළට සිට ඉහළට යන තුරු ම ශාකවලින් පිරවිය යුතු යැයි පර්යේෂකයෝ යෝජනා කරති.

තනි ශාකයක් නිවසක් තුළ සිටුවා ගත් පමණින් වාතය පිරිසිඳු නොවන අතර නිවස තුළට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට නම් අවම වශයෙන් ශාකවලින් වැසී ඇති හරිත බිත්තියක්වත් තිබිය යුතු බව 2020 පරිසර කළමනාකරණ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි විය. එහි දී විද්‍යාඥයින් නිගමනය කර තිබුණේ උද්‍යාන විද්‍යාවට අනුව සුදුසු ශාක විශේෂවලින් පුරවන ලද හරිත බිත්තියකින්, තිරසාර අභ්‍යන්තර හරිත පවුරක් නිර්මාණය කිරීමට හැකි වන බව යි. එසේම අදාළ ගොඩනැගිල්ලේ අභ්‍යන්තර පරිසරයේ සෞඛ්‍ය දර්ශකය වැඩිදියුණු කිරීමට එම පවුර භාවිත කළ හැකි බව යි.

තව ද ප්‍රමාණවත් තරම් ඉහළ පරිමාණ භාවිත කළහොත් නිවස තුළ ගුණාත්මක වායු සංයුතියක් ගොඩ නගා ගත හැකි බව සැබෑවක් වුවත්, එය කළ හැකි වන්නේ කෙසේද? යන වගට තවමත් විද්‍යාත්මක පිළිතුරක් නොමැති බව ද සිහි තබා ගත යුතු ය.

2018 වසරේ ප්‍රකාශයට පත් කරන ලද “ශාක විද්‍යාවේ ප්‍රවණතා” යන පර්යේෂණ ලිපියේ ද ගෘහස්ථ ශාක විසින් වායු දූෂක ද්‍රව්‍ය ඉවත් කරන බවට කියා ඇති නමුත්, වඩාත් ඵලදායී වන්නේ කුමන ශාක විශේෂ ද යන්න පිළිබඳ සඳහන් කර නොමැත. එම පත්‍රිකාව නිගමනය කරන්නේ “ගෘහස්ථ වායු දූෂක ඉවත් කිරීම සඳහා ශාකවල ඇති හැකියාව ‘ස්ටෝමැටල් අවශෝෂණය’ (කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය සහ සම්ප්‍රේෂණය හරහා වායුගෝලයට ජල වාෂ්ප මුදා හැරීම පාලනය කිරීම) සහ ‘ස්ටෝමැටල් නොවන තැන්පත් වීම’ හරහා බොහෝ දුරට ගණනය කර ගත හැකි වන බවයි.”

ගෘහස්ථ ශාකවලින් පෙරීමට ලක් වන දූෂක වායු මොනවාද?

නාසා අධ්‍යයනයට අනුව ගෘහස්ථව ඇති වඩාත් සුලබ මෙන් ම හානිකර ද වන දූෂක වායු වන්නේ “ට්‍රයික්ලෝරෝඑතිලීන්”, “ෆෝමැල්ඩිහයිඩ්”, “බෙන්සීන්”, “සයිලීන්” සහ “ඇමෝනියා” යනාදිය යි. ට්‍රයික්ලෝරෝඑතිලීන්, තීන්ත සහ වාර්නිෂ් යනාදියෙන් ද ෆෝමැල්ඩිහයිඩ්, කඩදාසි බෑග් සහ කෘතිම රෙදිවලින් ද බෙන්සීන්, දුම්කොළ සහ ඩයි වර්ගවලින් ද සොයාගත හැකි ය. මෝටර් රථ පණ ගැන්වීමේ දී සයිලීන් වායුව මුදා හරින අතර ඇමෝනියා, ජනෙල් පිරිසිඳුකාරක සහ බිම් ඉටි තුළ දක්නට ලැබේ.

මෙම දූෂක වායු වර්ග පහ ඉහළ සාන්ද්‍රණයකින් පවතින විට දී ක්ලාන්තය හා හිසරදය ඇති වන අතර නාසය, මුඛය සහ උගුර මෙන් ම අක්මාව හා වකුගඩුවලට ද හානි සිදු විය හැකි ය. නාසා අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ ගෘහස්ථව ඇති මෙම දූෂක පහේ ම මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීම සඳහා ක්‍රියා කරන ශාක දෙකක් ඇති බව යි. එනම්, “සාමයේ ලිලී මල්” (Spatiphyllum ‘Mauna Loa’) සහ “ක්‍රිසැන්තමම්” (Chrysanthemum morifolium) ය. ඒ හැරුණු විට “සෙන්සවේරියා” ශාකය ද ගෘහස්ථ වායු දූෂණය අවම කරන බවට ප්‍රකට ය.

ගෘහස්ථ ශාකවලින් වෙනත් සෞඛ්‍යමය බලපෑම් සිදු වේ ද?

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිවසට සිර වූ බොහෝ දෙනෙකු ගෙවතු වගාවට පිවිසීමට තීරණය කළ බව පෙනේ. එසේ නමුත් මෙයින් සැලකිය යුතු තරමට සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබේ ද? යන්න සොයා බැලීම වටී.

2021 මැයි මාසයේ “Environmental Research” සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී, විද්‍යාඥයන් පිරිසක් විසින් සිසුහු 323 දෙනෙක් අධ්‍යයනය කරන ලදහ. ඒ අනුව ගෘහස්ථ ශාක හා ගෙවතු වගාව තුළින් මානසික සෞඛ්‍යය වැඩි දියුණු වන බවත් “නිවසේ සිටිය දී ම නිවසින් බැහැරව සිටීම” යන හැඟීම ඇති කරලීමට එය උපකාරී වන බවත් සොයා ගන්නා ලදී.

මෑතක දී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී ද ගෙවතු වගාව හා නිවස තුළ ඇති ශාක කිසියම් පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය සඳහා ප්‍රයෝජනවත් වන බව හෙළි විය. තරුණ වැඩිහිටි පිරිමින් වෙනුවෙන් පළ වන “Physiological Anthropology” නමැති ජර්නලයෙන් උපුටාගත් තවත් අධ්‍යයනයක දී පරිගණකයක් ඉදිරියේ වැඩ කරන පුද්ගලයෙකුට සාපේක්ෂ ව, ගෘහස්ථ හා ගෙවතු වගාව සිදු කරන පුද්ගලයෙකුගේ ආතතිය අඩු බව සොයාගෙන ඇත. පරිගණකයක් සමඟ වැඩ කරන පුද්ගලයෙකුගේ රුධිර පීඩනය, හෘද ස්පන්දන වේගය, සහ මානසික ආතතිය එයට වඩා ඉතා වැඩි ය.

ගෘහස්ථ ශාක සුරතල් සතුන් සඳහා ආරක්ෂිත ද?

නිවසකට ශාක සහ හරිත බිත්ති ඕනෑ තරම් හඳුන්වා දිය හැකි වුව ද, ඒවා නිවසේ ඇති කරන සුරතල් සතුන් සඳහා ආරක්ෂිත ද? යන්න පිළිබඳ ද සිතා බැලිය යුතු ය.

ලිලී මල් බළලුන්ටත් සහ තක්කාලි පැළ බල්ලන්ටත් අනතුරුදායක බව සුරතලුන්ගේ අයිතිකරුවෝ දනිති. කෙසේ නමුත් තවත් බොහෝ ශාක විශේෂ අපගේ සුරතල් සතුන්ගේ සෞඛ්‍යයට හා යහපැවැත්මට හානිකර වේ. ඔබේ සුරතලා ඔබ නිවස තුළ තබා ගන්නා විෂ සහිත පැළයක් අනුභව කළහොත් කුමක් සිදුවේ ද? පශු විෂ තොරතුරු සේවයේ (VPIS) වෛද්‍යවරයෙකු වන ඇලෙක්සැන්ඩර් කැම්බල් මෙසේ පවසයි.

“සුරතල් සතුන් විෂ සහිත ගෘහස්ථ පැළෑටි අනුභව කළ බොහෝ අවස්ථාවල දී, එම සතුන් තුළ රෝග ලක්ෂණ දැකීමට තිබුණේ නැත. එනමුත් ඔවුන් ආමාශ ආන්ත්‍රයික ආබාධවලින් දුක් විඳින බව පෙනිණි. වඩාත් දරුණු රෝගාබාධවලට ලක් වූ සතුන් කිහිප දෙනෙකු ද මා හට හමු වී තිබේ.”

පශු වෛද්‍යවරුන් සඳහා ඇති ලොකුම අභියෝගයක් වන්නේ සුරතල් සතෙකු ආහාරයට ගෙන ඇත්තේ මොනවාදැයි දැන ගැනීමයි. මේ සඳහා සරල විසඳුම කුමක් ද? ඔබේ සුරතලාට විෂ සහිත බව දන්නා කිසියම් ශාකයක් වේ නම්, එය නිවස තුළින් මෙන් ම ගෙවත්තෙන් ද ඉවත් කිරීම ඔබේ වගකීමකි. ASPCA වෙබ් අඩවියෙහි මෙවැනි විෂ සහිත ශාක පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් තිබේ.

ශාකවලට ඔබේ නිවස වඩාත් ප්‍රසන්න පරිසරයක් බවට පත් කළ හැකි බව මෙන් ම ඒවා රැකබලා ගැනීමෙන් මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ පවා ලබා ගත හැකි බව ද සත්‍යයකි. එනමුත් මහා පරිමාණයෙන් තබා ගතහොත් මිස ගෘහාශ්‍රිත වාතය පිරිසිඳු කිරීමේ ක්‍රියාවලිය සඳහා අප සිතන තරම් දායක වීමට ශාකවලට හැකි බවට සාක්ෂි නැත. ඒවායින් වාතය පිරිසිඳු කිරීම කෙසේ වෙතත් රාත්‍රියේ දී කාබන් ඩයොක්සයිඩ් පිට කරමින් නිවැසියන්ගේ ජීවිත අනතුරේ හෙළීමට ඉඩ ඇත. එබැවින් ඔබ ඔබේ නිවස තුළ ඇති වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වන්නේ නම්, උසස් තත්ත්වයේ පෙරණයක් ​​සවි කර තිබෙන වායු පවිත්‍රකාරකයක් සවි කර ගැනීම වඩාත් සුදුසු ය. නැතහොත් ජනෙල් දොරවල් හොඳින් හැර දමා ස්වාභාවික පරිසරයේ ඇති වාතයට නිවස තුළ සැරිසැරීමට ඉඩ දීම 100%ක් ආරක්ෂිත වේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author