සෑම ගුරුවරයෙකුම කාලකණ්ණියෙක් යැයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමා නොකියන බව සැබෑවකි.
ඔහු කියන්නේ ගුරුවරුන් මෙහෙයවන, ඔවුන්ට නායකත්වය දෙන පිරිස කාලකණ්ණි බවයි. එහෙත් තමන් මේ අවස්ථාවේ සිසුන්ට ඉගැන්වීම සඳහා දරණ දැඩි ප්‍රයත්නයත් සමග එම ප්‍රකාශය සමස්ත ගුරු ප්‍රජාවටම දැනෙන දෙයක් බවට පත්ව ඇති සෙයකි.
එමෙන්ම සියලු ගුරුවරුන් එකහඬින් වර්ජනයකට එක්ව සිටින විට එම ප්‍රකාශය සියල්ලන් අරඹයා කළ එකක් ලෙස අප තේරුම ගත්තද වරදක් නැතැයිද සිතමි.අමාත්‍යවරයා “කාලකණ්ණි” කතාව යම් කණ්ඩායමකට හෝ සමස්තයට හෝ කීවද දැන් විමසිය යුත්තේ සැබෑ කාලකණ්ණි කවුරුන්ද යන්නයි.
කාලකණ්ණි යන්නෙහි අරුත් කිහිපයක් ඇත.
පිං නැනි, අවාසනාවන්ත, අභාග්‍ය සම්පන්න, පව්කාරයා ආදිය ඉන් කිහිපයකි. මේ අරුත් අනුව නම් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමාට සාපේක්ෂව “ගුරුවරුන් කාලකණ්ණි පිරිසකි”.
එකී අරුතින් අමාත්‍යතුමාගේ චෝදනාව සාධාරණය.ඔහුට සාපේක්ෂව ගුරුවරුන් අඩු වැටුප්, වරප්‍රසාද ලබන්නේ ඔවුන්ගේ පව්කාරකම නිසාය. අවාසනාවන්ත හා අභාග්‍ය සම්පන්න නිසාය.
පසුගිය සන්ධාන ආණ්ඩු සමයේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අතරතුර තමන් ලැගුම්ගත් හෝටලයේදී ඇද වැටී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමන්ගේ පාදවලට හානි සිදුවිය.
ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් එක් කෝටි දසලක්ෂයක (ලක්ෂ 110 ක්) පමණ මුදලක් ඔහුට ලබා දී තිබූ බව එවක හෙළිවූයේ ජවිපෙ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකදීය.
ජනාධිපති අරමුදල ලෙස අප දන්නේ නැති බැරි මිනිසුන්ට උපකාර කිරීම සඳහා පිහිටුවා ඇති දෙයක් ලෙසය. එමෙන්ම යම් කෙනෙකුගේ හදවත් සැත්කමක් වැනි හදිසි ප්‍රතිකාර අවස්ථාවක් සඳහා රුපියල් ලක්ෂ දෙක තුනක් හෝ ලක්ෂ දහයකට අඩු මුදලක් ලබා දෙන බව බොහෝ විට අපි අසා ඇත්තෙමු.
එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමන් ගුරුවරයෙකු මෙන්ම අවාසනාවන්තයෙකු (කාලකණ්ණියෙකු) නොවන බැවින් ඔහුට එකී මහජන අරමුදලින් එකවරම රුපියල් ලක්ෂ 110 ක් ලැබී තිබේ.
අමාත්‍යතුමාගේ කකුල් තුවාල වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු විවිධ චෝදනා නැගූහ.
එක් මන්ත්‍රීවරයෙකු විමසුවේ දොරෙන් නොගොස් ජනේලයෙන් පැන්නේ ඇයිද යන්නයි. ඊට පිළිතුරක් දුන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමා පැවසුවේ “මෙතුමාට නැති හදිසියක් මට තිබ්බා. මොකද මෙතුමාලා පැය තුන හතරක් ලෑස්ති වෙන්න ඕන වැඩේට. මේ ඔක්කොම ව්‍යාග්‍රා කණ්ඩායම , මේකේ බහුතරයකට කොටුවක් පැන ගන්න පණ නැහැ. ඉතිං ඒකට අනෙක් එවුන්ට ඊර්ෂ්‍යා කරලා වැඩක් තියනවයැ.” කියාය.
ඇත්තටම එතුමාම අනියමින් පිළිගන්නා පරිදිම කොටු පැනීමකට (බිරිඳ හෝ සැමියා සිටියදී වෙනත් ගැහැණියක හෝ පිරිමියෙකු සමග සබඳතා පැවැත්වීම) ගොස් කකුල කැඩුණු පසු මහජන මුදල්වලින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.
ගුරුවරයෙකුට මෙවන් අනතුරක් නොව හදිසි අසාධ්‍ය තත්වයක්දී හෝ පිළිසරණක් නොලැබෙන්නේ ඔවුන්ගේ කාලකණ්ණිකම නිසාය. එහෙත් කොටුපැන්නත් ඇමතිතුමා වාසනාවන්තයෙකි.
එකලම කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී රුපියල් 2,30000/= ක තම පෞද්ගලික දුරකථන බිල ගෙවා තිබුණේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙනි.
තම උපකරණ (Devices) භාවිත කරමින් හා පෞද්ගලික මුදලින් ඩේටා (Data) දාගනිමින් ගුරුවරුන් මේ අවස්ථාවේ මාර්ගගත අධ්‍යාපනය (Online) දරුවන්ට ලබාදෙන්නේ ඔවුන්ගේ අභාග්‍ය සම්පන්න බව (කාලකණ්ණිකම) නිසා වුවද ඇමතිතුමාගේ බිල එලෙස මහජන මුදලින් ගෙවෙන්නේ එතුමා කාලකණ්ණියෙකු නොවන නිසාය.
අමාත්‍යතුමාට එදා ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීම පිළිබඳ චෝදනා එල්ල වූ අවස්ථාවේ එය කොටස් වශයෙන් ආපසු ගෙවන්නේ යැයි ප්‍රකාශ වූ බව යන්තම් මෙන් මතකය.
වාසනාවන්ත ඇමතිතුමනි, මේ ඊට හොඳම අවස්ථාවයි. ඔන්ලයින් නිසා අන්ත අසරණව, අපහසුතාවට පත්වන සිටින නැති බැරි දහස් සංඛ්‍යාත දරු පිරිසකට එම ලක්ෂ 110 න් විශාල දෙයක් කළ හැකිය.
ඇතැම් විට තම මුදලින් දරුවන්ටද ඩේටා ආදිය ලබා දෙමින් ඉගැන්වීම් කාර්යයේ නිරත කාලකණ්ණි ගුරුවරුන්ගේ මුවගටද එමගින් සතුටු සිනහවක් නැංවෙනු ඇත.
© පුරවැසි සටහන – ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ – මහින්ද රූබසිංහ
අත නොහැර කියවන තැන
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා
ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතු ද?
ජනාධිපති ගෝඨාභයගේ සල්ලි මල්ලට මොකද වුණේ ?