Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගුරුවරුන්ට මඩ ගහන්න තුප්පහි කැම්පේන් එකක් – පිටුපස ආණ්ඩුවේ මඩ බලකාය ඉන්නවා ගුරු සංගම් වලින් චෝදනා

තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වර්ජනයක් සහ උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරමින් සිටින ගුරුවරුන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ඉතා අශෝභන මඩ ව්‍යාපෘතියක් පිළිබඳ මේ විට කරුණු අනාවරණය වෙමින් තිබෙනවා.

ගුරුවරුන්ගේ වෘත්තීය අභිමානය පමණක් නොව, ඔවුන්ගේ පුද්ගලික ජීවිතය පවා විනාශ කර දමන ආකාරයේ අසත්‍යය සහ අපහාසාත්මක තොරතුරු නිර්මාණය කරමින් මෙම මඩ ව්‍යාපාරය දියත් කර ඇති අතර ඒ පිටුපස සිටින්නේ ආණ්ඩුවේ මඩ බලකාය බවයි ගුරු වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

මේ විට අනාවරණය වන කරුණු අනුව Face book මාධ්‍ය ඔස්සේ මෙහි එක් මඩ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත්තේ ජනප්‍රිය Face book පිටු කිහිපයකට මුදල් ගෙවමින් බවටයි හෙළිව තිබෙන්නේ.

ඒ අනුව අසත්‍ය සහ අපහාසාත්මක පොස්ටු නිර්මාණය කිරීමෙන් නොනැවතී පුවත් පත්වල පළ වූ ලිපි ආකාරයෙන් සකසන ලද ව්‍යාජ තොරතුරු ද සමාජ ගත කරමින් මෙම මඩ ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.

අද පුවත්පතේ පලවූ ආකාරයෙන් ” ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමඟ ලැගුම් හලක සිට සැමියාට අසුවෙයි” යනුවෙන් පුවතක් ව්‍යාජ ලෙස නිර්මාණය කර පළ කර තිබෙන්නේ අදාළ පුවත් පත් ආයතනයේ මාධ්‍යවේදියෙකුගේ නමද අවභාවිතා කරමින්.

මේ සම්බන්ධයෙන් අදාළ පුවත්පතේ කතෘ මණ්ඩලයෙන් අප විමසීමක් සිදු කළ අතර මේ අයුරින් කිසිදු පුවතක් තම පුවත්පතෙහි පල වී නොමැති බව ඔවුන් අපට තහවුරු කළා.

මේ හා සම්බන්ධ අනෙක් පුවත ලංකාදීප පුවත්පතේ පල වූ අයුරින් ව්‍යාජ ලෙස නිර්මාණය කර තිබෙනවා.

එහි සිරස්තලය ලෙස දැක්වෙන්නේ “ගුරුවර්ජනයට නිවසින් ආ ගුරුවරිය ලැගුම් හලකින් මතුවෙයි” ලෙසයි.

ලංකාදීප කතෘ මණ්ඩලයෙන් අප මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී එවැනි පුවතක් තමන්ගේ පුවත්පතෙහි පලනොවූ බව ඔවුන්ද තහවුරු කළා.

මෙහි ඇති අනෙක් ඛේදනීය තත්වය වන්නේ මේ පුවතට සම්බන්ධ අදාළ ගුරුවරිය බව පවසමින් හොරණ ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගුරුවරියකද නොවන තැනැත්තියකගේ ඡායාරූපයක්ද පළකරමින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයයි.

මෙලෙසින් ඉතා නින්දිත සහ පහත් අයුරින් සමාජ මාධ්‍ය හරහා ගුරුවරුන්ගේ කීර්ති නාමයට හානි සිදු කරන කණ්ඩායම් සහ පුද්ගලයින් රැසක් මේ වන විට හදුනාගෙන ඇති බවත් ඊට එරෙහිව අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමති සන්ධානය කටයුතු කරන බවත් අප මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ජෝසප් ස්ටර්ලින් සහ මහින්ද ජයසිංහ යන මහත්වරුන් සඳහන් කළා.

ඔවුන් සඳහන් කළේ අසත්‍ය සහ මඩ අවලාද වලින් ගුරුවරුන්ගේ ප්‍රශ්න හෝ සටන යටපත් කළ නොහැකි බවයි.

ගුරු වෘත්තියට නිගා කරමින් ඇතැම් කණ්ඩායම් ගෙන යන සැලසුම් සහගත මඩ ප්‍රචාරයන් හමුවේ ප්‍රදර්ශනය වන්නේ ආණ්ඩුවේ බංකොලොත් බව පමණක් බවයි ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කළේ.

About The Author