Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෑස් සමාගම් වලට දිනුම – ගෑස් මිල ඉහළට – ප්‍රිමියම් හයිබ්‍රිඩ් නැවතත් වෙළඳපොළට

සාමාන්‍ය කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේම ලේබලය වෙනස් කොට එහි ලීටර් 18 ලෙස දක්වමින් ගෑස් අලෙවි කිරීමට ලිට්රෝ සහ ලාෆ් සමාගම් දැරූ උත්සාහයන්ට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු සංවිධාන රැසක විරෝධය එල්ල වුණා.

ඔවුන් එහිදී පෙන්වා දුන්නේ,

උපුටා ගැනීම.

ලිට්රෝ සමාගම විසින් නවතම හදුන්වාදීමක් ලෙස සදහන් කරනු ලබන ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය වන්නේ ලීටර 18 කි. ලීටර 18 ක් යනු ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 9.18 කි. (ගෑස් 1 kg = 1.96 ලීටර) නැතහොත් (ගෑස් ලීටරයක් යනු 0.51 කිලෝ ග්‍රෑම්) කි.

මේවන විට බස්නාහිර පලාත තුළ 12.5 kg ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= කි. ඒ අනුව ගෑස් කිලෝ එකක මිල රුපියල් 119.44 කි.

ලිට්රෝ සමාගම පාරිභෝගිකයා ගොනාට ඇන්දවීමේ නවතම ක්‍රමවේදය අනුව ලීටර 18 ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1395/= කි. ( කිලෝ 9.18 කි ) ඒ අනුව ගෑස් කිලෝ එකක මිල වන්නේ 151.96 කි. එම ගෑස් සිලින්ඩරයට ගෑස් කිලෝ 12.5 ක් පිරවූයේ නම් අදාල මිල වන්නේ රුපියල් 1899.50 කි.

ඒ අනුව නවතම සිලින්ඩරයේ ගෑස් කිලෝ එකකින් රුපියල් 32.52 ක පාඩුවක් පාරිභෝගිකයාට සිදුවනු ලබයි. ගෑස් සිලින්ඩරයකින් පාරිභෝගිකයාගෙන් ගසා කන මුදල රුපියල් 406.50 කි. මේ අනුව පෙනී යන්නේ ලිට්රෝ ගෑස් සමාගම මෙරට පාරිභෝගිකයින් ගොනාට අන්දවමින් හා වලංගු නීති උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලබන බවයි.

මේ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ පසුගිය දා (27) අදාළ ගෑස් සිලින්ඩර වෙළඳ පොළෙන් ඉවත් කර ගන්න ලෙස පාරිභෝගික සේවා අධිකාරිය අදාළ සමාගම වෙත උපදෙස් ලබා දුන්නා.

එලෙස උපදෙස් සහ නියෝග නිකුත් කර තිබියදී පවා ඒවා තඹ දොහිත්තකට මායිම් නොකළ අදාළ සමාගම් එම සිලින්ඩර තව දුරටත් වෙළඳපොළ තුළ තිබෙන්නට් ඉඩ හැර තිබුණා.

අවසානයේ සාමාගම් වලට අවනත වෙමින් පාරිභෝගික සේවා අධිකාරිය අදාළ ආන්දෝලනාත්මක ලීටර 18 ගෑස් සිලින්ඩරය අලෙවිය සඳහා අවසර ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරන පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයසඳහන් කරන්නේ පාරිභෝගිකයින්ගේ දෛනික අවශ්‍යතාවය සඳහා හිඟයකින් තොරව කිලෝග්‍රෑම් 12.5කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළට නිකුත් කිරීමේ කොන්දේසියට යටත්ව අදාළ ගෑස් සමාගම් සඳහා ලීටර 18 නැතිනම් කිලෝ ග්‍රෑම් 9.18 ක ගෑස් සිලින්ඩර අලෙවිය සඳහා අවසර දී ඇති බවයි.  

ඒ අනුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ කිලෝග්‍රෑම් 12.5කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට නොහැකි නම් ඒ බව 1977 අංකයට දැනුම්දෙන ලෙසය.

කෙසේ වෙතත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරන ආකාරයට ලෝක වෙළදපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රසිද්ධියේ මිල ඉහළ නැංවීම වෙනුවට සුක්ෂම ලෙස ගෑස් මිල ඉහළ නැංවීමට ගෑස් සමාගම් දැරූ උත්සාහය හමුවේ රජය පරාජයට පත්ව තිබෙනවා.

About The Author