Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගැසට් රිවස් කර, පාලකයන් ගොළු කර සහල් ඇටේ ජනතාවගේ උගුරේ හිරවූ හැටි

වෙළඳපොළේ සහල් මිල අසීමිත ලෙස ඉහළ යමින් තිබියදී ගැසට් මගින් එය පාලනය කිරීමට මිල නියම කළද ඊට කිදු අනුකූලතාවයක් නොදක්වා සහල් මාෆියාවට ඉඩ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිහඬ වෙමින් ජනතාව පිටම බර පැටවූ ආකාරය කරුණු සහිතව හෙළිව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ දත්තවලට අනුව 2019 වසරේදී මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හතලිස් පන්ලක්ෂ අනූ දෙදහසේ (4,592,000) සිට මෙට්‍රික් ටොන් පනස් එක්ලක්ෂ විසි එක්දහස (5,121,000) දක්වා මෙට්‍රික් ටොන් පන්ලක්ෂ විසි නවදහසකින් (529,000) 2020දී වැඩි වී තිබේ.

ආණ්ඩුව දිගින් දිගටම් පැවසුවේ යහපාලන සමයේ කෘෂිකර්මාන්තය කඩා වැට්ටවීමේ ප්‍රතිඵලයක් ලෙස වී ගොවි තැන කඩා වැටීමෙන් සහල් නිෂ්පාදනය අඩුවී ඇති බවයි.

එබැවින් සහල් මිල ඉහල යන බවද ඔවුන්ගේ ඇතැමෙකුගේ තර්කය වුණා.

ඒ අනුව දිගින් දිගටම වැඩිවන සහල් මිල හමුවේ ආණ්ඩුව ගැසට් ගසමින් සහල් මිල පාලන කරන බව පාරම් බෑවද කිසිවක් හරහා සහල් මිල නම් පාලනය කිරීමට නොහැකි වූ බව පැහැදිලි වුණා.

එමෙන්ම ආණ්ඩුව විසින් හමුදාව යොදවා සහල් මෝල් වැටලීමේ වැඩ පිළිවෙලක්ද ආරම්භ කරන ලද්දේ මෝල් හිමියන් විසින් සහල් තොග සඟවා ගෙන සිටින බව පවසමින්.

එම වට පිටාව තුළ මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ වී නිෂ්පාදනය වැඩි වී නැති බවත් මහා පරිමාණ මෝල් හිමියන් වී තොග රැස් කර නැති බවත් ප්‍රකාශ කරමින් සහල් මිල පාලනය සම්පූර්ණයෙන්ම නොතකා කටයුතු කෙරිණ. ඔහු වැඩිදුරටත් අභියෝග කරන ලද්දේ වී තොග රැස්කර තිබෙන තැන් හෙලි කළහොත් තමන් ව්‍යාපාරය අත්හරින බවයි.

එහෙත් මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ. “2020 වසරේ වී නිෂ්පාදනය සහල් මෙට්‍රික් ටොන් මිලියන 3.3කට සමාන වන අතර එය දල වශයෙන් මාස 17ක දේශීය සහල් ඉල්ලුම පසුරාලීමට ප්‍රමාණවත් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.”

ඒ සමගම තව දුරටත් මහ බැංකු වාර්තාව “මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු සතුව විශාල වෙළඳපොළ බලයක් පැවතීම හේතුවෙන් සහල් සිල්ලර මිල ගණන් රජයේ විසින් පනවන ලද උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මට්ටමක පැවතුනි.” යනුවෙන්ද සඳහන් කර තිබේ.

ඒ අනුව පෙනී යන්නේ රටට අවශ්‍ය සහල් තොග අවශ්‍ය පමණට තිබියදී ආණ්ඩුවේ සහ මෝල් හිමියන්ගේ සැරසිලි දෙස බලමින් රටේ ජනතාව වැඩි මිලට සහල් පරිභෝජනය කළ බව නොවේද?

About The Author