Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ නගර සභාවේ චීස් බෝම්බය පත්තු වෙයි : නගරාධිපතිවරිය නඩු මගට

නගර සභාවේ බලය අත් පත් කර ගැනීමට පොහොට්ටුවේ කුමන්ත්‍රණයක් බවට චෝදනා

කොළඹ මහ නගර සභාවේ කටයුතු පිළිබඳ මේ වන විට විශාල ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මෙහි ආසන්නතම සිදුවීම පසුගියදා වාර්තා වූයේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු කිහිපයක් හේතුවෙන්.

නගරාධිපති නිල නිවසේ වසරක් සඳහා කෙටි කෑම වෙනුවෙන් ලක්ෂ 3ක් වියදම් කරලා

මහින්ද කහඳගම මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව පසුගිය වසරේ පමණක් නගරාධිපති නිල නිවසේ කෙටි කෑම වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් වැයකර තිබෙනවා.

එහිදී රුපියල් 68000 කට ආසන්න මුදලක් චීස් මිලදී ගැනීම සඳහා වය කර ඇති බව ද ඔහු අනාවරණය කර තිබෙනවා.

මීට අමතරව නගරාධිපතිවරියගේ නිවසට වායු සමීකරණ 14 ක් සවිකර ගෙන ඇති බවත් නගර සභාවේ වියදමින් පුද්ගලික කාර්යමණ්ඩලයේ වැටුප් ගෙවීම් පිළිබඳවත් කහඳගම මහතා අනාවරණය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් මහින්ද කහඳගම මහතා විසින් පළාත් කොමසාරිස්වරයාට යොමු කරන ලද ලිපිය පහළින්

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා අප කොළඹ මහනගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.

තමන් කිසි විටකත් පුද්ගලික පරිභෝජනය සඳහා මහජන මුදල් ලබා ගෙන නොමැති බවත් නගරාධිපතිවරිය ලෙස තමන්ට නීත්‍යනුකුලව හිමිව ඇති දීමනා පමණක් ලබා ගෙන ඇති බව අවධාරණය කළා.

එමෙන්ම කොළඹ නගරාධිපති නිල නිවස තම පුද්ගලික බූදලයක් නොවන බව පැවසු නගරාධිපතිවරිය එය නඩත්තු කර පවත්වා ගෙන යාම සඳහා සේවක මහත්ම මහත්මීන් පත් කිරීම සහ ඔවුන්ගේ වැටුප් ගෙවීම කොළඹ නගර සභාවේ කාර්යක් බවද සඳහන් කළා.

නගරාධිපතිවරිය නඩු මගට

තම කීර්ති නාමයට අපහාස වන අයුරින් නිර්මාණය කර ඇති මෙම අභූත චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පැවසු රෝසි සේනානායක මහත්මිය මේ සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම විමර්ශනයකට මුහුණ දීමට තමන් සුදානම් බවද සඳහන් කළා.

මෙම සිදුවීම පිළිබද කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස දැනුම් දෙමින් පළාත් කොමසාරිස්ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට ඇය මේවන විටත් කටයුතු කර ඇති බවද සඳහන් කළා.

සත්‍ය තොරතුරු විකෘති කර තම කීර්ති නාමයට හානිවන අයුරින් තොරතුරු සමාජ ගත කිරීම සම්බන්ධයෙන් කහඳගම මන්ත්‍රීවරයාට එරෙහිව ද නීත්‍යනුකුල ගැනීමට තමා කටයුතු කරන බවද රෝසි සේනානායක මහත්මිය අප සමඟ පවසුවා.

නගරාධිපතිවරිය විසින් පළාත් කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපිය

නාගරික ලේකම්ගේ ප්‍රතිචාරය

මෙම සිදුවීම සම්බන්ධයෙන් නාගරික ලේකම් ඩි. එම්. එස්. ඒ නිරෝෂන් මහතාගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ ප්‍රශ්න ගත කිසිදු මුදලක් නීති විරෝධී ලෙස වෙන්ව නොමැති බවයි.

එමෙන්ම නගරාධිපති නිල නිවසේ සේවක සේවිකාවන් රෝසි සේනානායක මහත්මියගේ පුද්ගලික සේවකයින් නොවන බවත් නගරාධිපති නිල නිවස නඩත්තු කිරීම සඳහා කුමන පුද්ගලයෙකු නගරාධිපති වුවද යෙදවීමට අනුමත පිරිස බව ද ඔහු සඳහන් කළා.

නගර සභාවේ බලය ඇල්ලීමේ පොහොට්ටුවේ කුමන්ත්‍රණයක් බවට චෝදනා

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ පොදුජන පෙරමුණ විසින් කොළඹ නගර සභාවේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයක නිරත වන බවයි.

ඒ වෙනුවෙන් දුෂිතයින්ම ලවා නගරාධිපතිවරිය ඇතුළු පාලන බලය දරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අපහසු තාවයට පත් කිරීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.

බහුතර බලයකින් බලය අත්පත් කර ගත නොහැකිවූ විට අභූත චෝදනා නගමින් නාගරික කොමසරිස්වරයෙකු අතට බලය පවරා ගෙන ආණ්ඩුවේ දුෂිත කටයුතු ඒ හරහා ඉටු කර ගැනීමට ඔවුන් උත්සහ දරන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

About The Author