කාත්තන්කුඩියේ දී සිදුකළ පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණයකින් තුවාල ලද සහරාන් හෂීම් ගේ සහෝදරයා වූ මොහොමඩ් රිල්වාන්ට කොළඹ ජාතික රෝහල තුළදී අනන්‍යතාව වෙනස් කොට ප්‍රතිකාර කිරීමේ සිදුවීමක් පාස්කු කොමිසම හරහා හෙළිකර තිබෙනවා.
මෙහි පළවන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් එම වාර්තාවේ ඇතුළත් අදාළ උපුටනයයි..
2018 වසරේ අගෝස්තු 27 වැනිදදා අලුයම් කාලයේ රිල්වාන් ජීවිත අවදානමක් සහිත ශාරීරික හානිවලට ලක්විය. මෙය සිදුවූවේ කාත්තන්කුඩියේ පාලමුණේ ප්‍රදේශයේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පරීක්ෂණ සිදුකරන අතරතුරයි. ඒ වන විට සහරාන් සිට ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පවත්වන ලද පුහුණු කඳවුරකයි. එහිදී සහරාන් සෞදි අරාබියේ සිටි මොහොමඩ් අලියාර් මසුක් රිලාන් සම්බන්ධ කරගෙන සහාය පතා ඇත. එසැනින් වෛද්‍ය මොහමඩ් සුෆියන් මොහොමඩ් සප්‍රාස් හා සම්බන්ධ වී මේ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගෙන තුවාල ලැබූ රිල්වාන්ට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳ විමසා ඇති අතර එහිදී සහරාන් විසින් මිල්හාන් ෂයිනි සහ ගපූර් මාමාට උපදෙස් ලබා දී ඇත්තේ මඩකළපුව වෙත යන ලෙසයි. ඔවුන් එහි යන විට රිල්වාන් සිටියේ බරපතළ තත්ත්වයකයි. අසාඩ් ද එහි සිටියේය. මුලින් ඔවුන් උත්සාහ කළේ රිල්වාන් මඩකළපුව රෝහලට රැගෙන යාමට වුවත් එසේ නොකරන ලෙස රිල්වාන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
ලබාදුන් උපදෙස්වලට අනුව රිල්වාන්ට ප්‍රථමාධාර ලබා දී පසුව ප්‍රතිකාර සඳහා කොළඹට ප්‍රවාහනය කළ බව පෙනේ. සහරාන් සහ සාදික් වෙනත් වාහනයකින් කොළඹට පැමිණියහ. අසාද් සහ සහරාන්ගේ මස්සිනා ඇතුළු තවත් අය විසින් රිල්වාන් වෙනත් වාහනයකින් කාත්තන්කුඩි සිට කොළඹට ගෙන එන ලදී.
රිල්වාන් රෝහලට ඇතුළත් කළ අතර රෝගියාගේ නම ලෙස එම්.අයි. ෂහිඩ් යන නම ලබා දී ඇත. ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් තුවාල සිදුව ඇති බව රෝහල් බලධාරීන්ට දන්වා තිබේ. කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර ඒකකයේ දී රෝගියා පරික්ෂා කළ වෛද්‍ය චන්දන රෝගියාගේ තත්ත්වයට හේතු වූ සංසිද්ධිය ලෙස දක්වා තිබූ කරුණු ඉදිරියේ ප්‍රශ්නාර්ථ ලකුණක් සටහන් කළ අතර එම තුවාල ලබා ඇති හේතුව හා විස්තරකොට ඇති සංසිද්ධිය මුළුමනින්ම ගැළපෙන බවක් ඒත්තු නොගත් හෙයින්, පොලිසියට දැන්විය යුතු බව තවදුරටත් නිර්දේශ කළේය.
ඇත්ත වශයෙන්ම එක් හෙදියක වන ශිරෝමි විද්‍යාසේකර සාක්ෂි දෙමින් කියා සිටියේ ඇය ද රෝගියාගේ තත්ත්වයට හේතුව ලෙස දක්වා ඇති සංසිද්ධිය ලබා ඇති තුවාල හා රෝගියාගේ තත්ත්වය සමග ගැළපීමක් නැති බව වෛද්‍යවරයාට දන්වා ඇති බවයි.
කෙසේ වෙතත් රිල්වාන්ගේ ඇඳ ඉහපත රිල්වාන්ගේ භාරකරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයකු ජාතික රෝහලේ පොලිස් මුරපොළ වෙත ගෙන ගිය බව පෙනේ. පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව රාජකාරියේ යෙදී සිටි පී.එස්. අරුණ ශාන්ත තෙන්නකෝන් හට ඔහු දන්වා සිටියේය. ඒ සඳහා දෙමළ භාෂාවෙන් අනුමැතියක් ලබා දී ඇති අතර, දෙමළ භාෂාව කියවිය නොහැකි බව තෙන්නකෝන් නමැති නිලධාරියා පිළිගත්ත ද වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එවකට රෝහල් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල චන්ද්‍රසිරි නානායක්කාරගේ සාක්ෂි වූයේ මේ පිළිබඳව ඔහුව දැනුම්වත් කර නොතිබූ බවයි.
රිල්වාන්ගේ ඇඳ ඉහපතේ නිශ්චිතව දක්වා ඇති පරිදි පියවර ගනු ලැබුවේ නම් සිද්ධිය පිළිබඳ වැඩි විස්තර සහ මෙම කණ්ඩායම විසින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් සඳහා සූදානම් වෙමින් සිටින බව දැනගැනීමට ද හැකියාව තිබුණි. රිල්වාන්ට ඔහුගේ සැබෑ අනන්‍යතාව හෙළි නොකර ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම පිළිබඳ විමර්ශන කොමිසමේ අවධානයට යොමු විය.
ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීම තුළින් රජයේ රෝහල්වලට ඇතුළත් කර ගන්නා රෝගියාගේ අනන්‍යතාව හැකි ඉක්මනින් ලබාගත යුතු බව විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කරයි. එසේම සියලුම රජයේ රෝහල්වල පොලිස් මුරපොළ සඳහා වන ක්‍රියා පටිපාටිය සමාලෝචනය කළ යුතුය. වෛද්‍ය නිලධාරියකුගේ නිර්දේශය පරිදි සියලුම රෝගීන්ට වෛද්‍ය නෛතික පරීක්ෂණ පෝරමයක් නිකුත් කිරීම සහතික කිරීම සඳහා ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කළ යුතු අතර රෝගියා අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත පරික්ෂාව සඳහා ඉදිරිපත් කළ යුතුය. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරික්ෂණයෙන් පසු වෛද්‍ය නෛතික වාර්තාවක් නිකුත් කළ යුතු අතර අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අනාවරණයන් මත පදනම්ව වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට උපදෙස් දිය යුතුය.
උපුටාගැනීම අවසන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට