Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ කුලපති හුට පටයෙන් බුද්ධ චීවරයේ ගෞරවයත් කම්මුතුයි

සිසුන්ගේ විරෝධය බුද්ධ චීවරයට ද ? කුලපති තනතුරට ද ? නැතිනම් අවසානයේ සුපුරුදු ලෙසම හෑල්ලු වුයේ බුදු සසුනද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කරනු ලැබුවේ උන්වහන්සේ විසින් දිගින් දිගටම ආණ්ඩුවේ ක්‍රියාකාරකම් විවේචනය කරමින් සිටින අවස්ථාවකයි.

කෙසේ වෙතත් එම පත් කිරීමත් සමග උන්වහන්සේ ආණ්ඩුව විවේචනය කිරීමේ කටයුතු වලින් බැහැර වූ අයුරු පැහැදිලිව නිරීක්ෂණය වූ අතර අදාල පත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූයේ නුසුදුස්සෙකු දේශපාලන හිතවත්කම් මත අදාළ තනතුරට පත්කර ඇති බව පවසමින්.

මෙහි ආසන්නතම සිදුවීම ඊයේ දිනයේ වාර්තා වුණා.

කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් විසින් කුලපති හිමියන්ගෙන් උපාධි සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

භික්ෂුව යනු සැමවිටම බෞද්ධ සමාජයේ පමණක් නොව සමස්ත ලෝකයේම ගෞරවයට සහ වන්දනාවට පාත්‍රවන පුද්ගලයෙකු බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

එම ගෞරවය උන්වහන්සේට හිමිවන්නේ ලෝක සත්‍ය ලොවට හෙළිකළ අමාමෑණී බුදුපියාණන්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස බුද්ධ චීවරය හැඳ සිටින නිසායි.

නමුත් එම ගෞරවය ඊයේ කෙලෙසී ගියා.

කුලපති තනතුරට විරෝධය පළ කිරීම සාධාරණීකරණය කරමින් කරුණු ගෙනහැර දැක්විය හැකිය වුවද භික්ෂූන් වහන්සේ නමක අතින් යමක් ලබා ගැනීමට ප්‍රතික්ෂේප කිරීම උන් වහන්සේගේ මහණකමට දක්වන විරෝධයක් ලෙස ද හඳුන්වා දිය හැකියි.

බුද්ධ චීවරය මෙලෙස අපහසුතාවයට පත් කළේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් උපාධිය ලබාගැනීම ප්‍රතික්ෂේප කළ සිසුන් ද? එසේත් නැතිනම් දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් උන්වහන්සේ එම තනතුරු සඳහා පත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද?

භික්ෂූන් වහන්සේට නොගැළපෙන වැඩ සඳහා උන්වහන්සේ යොදාගනිමින් කටයුතු කිරීමට වත්මන් ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව පැහැදිලියි.

එක රටක් එක නීතියක් ජනපති කාර්යය සාධක බලකාය සඳහා සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම ද එවැන්නක්.

මෙවැනි කටයුතු හරහා දිගින් දිගටම චීවරයට ඇති ගෞරවය ලෝක පරිමාණ වශයෙන් අභියෝගයට ලක්වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ දීම විද්‍යාර්ථයින් පිරිසක් විසින් භික්ෂුවක් ප්‍රතික්ෂේප කිරීම කණගාටුදායක කරුණක්.

මෙවැනි සිදුවීම් පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා තීරණය ගැනීම අප වහා කළ යුතු නොවන්නේද?

නැතිනම් තව දුරටත් මේ අයුරින්ම බුද්ධ චීවරය මේ ධර්මද්වීපය තුලදීම කිච වී පච වී ගොස් සාසනික පරිහානිය සිදුවීම වළක්වා ගත නොහැකි වනු ඇත.

About The Author