Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ කුලපති හිමියන්ට විද්‍යාර්ථයින් කළ දේ ශ්‍රේෂ්ඨ යි : ඕමල්පේ සෝභිත හිමි දෙසයි

ඒක එයාලගේ අයිතිය නමුත් සිංහයෝ තණකොළ කන්නේ නෑ : මුරුත්තෙට්ටුවේ හිමි පිළිතුරු දෙයි

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

මේ ක්‍රියාව තුළින් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිලාභී විද්වතුන් සිය අභීතභාවය, ආත්මීය ගරුත්වය මැනවින් ප්‍රදර්ශනය කර ඇති බවත්, ජනාධිපතිවරයා හා රජය ඔවුන් ලබාදුන් පණිවුඩය තේරුම් ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මහානායක නායක, හිමිවරු ඇතුලු සියලුම ආගමික නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙය පාඩමක් කරගත යුතු බව කී සෝභිත හිමියෝ බොහෝ දෙනෙක් උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ නෝංජල්, දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන් ඝෘජු ලෙස තමන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ද කියා සිටියහ.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ ඇඹිලිපිටියේදී  මාධ්‍ය හමුවක් අමතමිනි.

රජයක් නියෝජනය කරන්නේ මෙහිදී අපහාසයට, උපහාසයට යොමුවුණු තනතුරු බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, පෞද්ගලික, දේශපාලන, ඥාති හිත්‍රමිත්‍රකම් මුල්කරගෙන තනතුරු දෙනවිට, බොහෝ දෙනෙක් නිහඬව සිටියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්, එම විරෝධය ප්‍රදර්ශනය කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

හිතවතුන්ට තනතුරුදීම හේතුවෙන් රටම මහත් ව්‍යසනයට ගොදුරු වී තිබෙන බව කී සෝභිත හිමියෝ තමන් මේ දක්වා ගෙන ගිය වැඩපිළිවෙල අසාර්ථක බව ජනාධිපතිවරයා දැන්වත් තේරුම් ගත යුතු බව ද කීහ.

මුරුත්තෙට්ටුවේ හිමිගේ ප්‍රතිචාරය

කෙසේ වෙතත් සිදුවීම පිලිබඳ ප්‍රතිචාර දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කුමන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ සිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කල්පනාවෙන් මතක තබා ගත යුතු බව පැවසූහ.

තමන් වහන්සේ අතින් උපාධිය බාර ගැනීම හෝ නොගැනීම ඒ දරුවන්ට ඇති අයිතියක් නිසා ඒ ගැන අහිතක් නැතැයිද ඒ පිළිබඳව වැඩිදුර අදහස් පළ කිරීමට බලාපොරොත්තු නොවන බව ද උන්වහන්සේ පැවසූහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සිසුන් කණ්ඩායමක් විසින් ආනන්ද හිමියන් අතින් උපාධි සහතිකය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.

About The Author