Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ උඩින් යන චීන පාරේ වැඩ හෙට ඇරඹෙයි

මාර්ග තදබදය වැඩිම ස්ථාන වලට ගුවන් පාලම් – සම්පුර්ණ වැඩ පිළිවෙල මෙන්න..

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් හෙට දින (07) ආරම්භ වන බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිනිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රජයේ වගකීම බවත් එම නිසා කොළඹ හා ඒ ආශ්‍රිත නගරවලත් දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවලත් අනෙකුත් ප්‍රධාන නගරවලත් පවතින අධික රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලද බවත් පවසන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කළ බවත් පවසනවා.

මෙහි වැඩ පිළිවෙලට සමගාමිව කොහුවල මංසන්දියේ ගුවන් පාලමක් ද ගැටඹේ මංසන්ධියේ ගුවන් පාලමක් ද කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ද උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදි කිරීම සැලසුමයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට පැමිණෙන හා බත්තරමුල්ල , කඩුවෙල සහ අතුරුගිරිය යන ප්‍රදේශ වල සිට කොළඹට ළඟා වන රථ වාහන නිසා දැනට ඇති වී තිබෙන අධික රථ වාහන තදබදය අවම කිරීමට කි.මි 16.4 කින් යුතු නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් සකස් කෙරිණි.මෙය මංතීරු 04 ක් යටතේ ඉදිකරයි. මේ සදහා රු.බිලියන 134.9 ක් වැය වේ. මෙම මාර්ගයේ ඉදිකිරීම් චයිනා හාබර්ඉංජිනේරු සමාගම (China Harbour Engineering Company) මගින් සිදු කෙරෙනවා.

ඉදිකිරීම් කාලය වසර 3ක්.

මෙම මාර්ගයේ හිමි කාරිත්වය වසර 15ක් යන තුරු චීනය සතු වීමද විශේෂත්වයක්.

නව කැලණි පාලමෙන් ආරම්භ වී කොලොන්නාව , රාජගිරිය , බුත්ගමුව , බත්තරමුල්ල , ‍කොස්වත්ත , පොතුඅරාව , හෝකන්දර හරහා අතුරුගිරියෙන් පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධවේ. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී නව කැළණි පාලමට සම්බන්ධ වීම සදහා අන්තර් හුවමාරුවක් ද ‍බේස්ලයින් මාර්ගයට සම්බන්ධ වීම සදහා දෙමටගොඩ අන්තර් හුවමාරුවක් ද රාජගිරිය , කොස්වත්ත , හෝකන්දර යන ප්‍රදේශවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය පිටත වටරවුම් අධිවේගී මාර්ගයට සම්බන්ධ වීම සදහා අතුරුගිරිය ප්‍රදේශයේ තවත් අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 217.30ක් වන අතර පළල මීටර 9.4 ක් වේ. මීට අමතරව ගුවන් පාලමේ පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා (traffic signals )මගින් පාලනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 2648ක්.

මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිත බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදි කෙරෙන ගැටඹේ ගුවන් පාලමෙහි ප්‍රධාන පාලම දිගින් මීටර 396.70කින් යුක්ත වන අතර branch flyover එක දිගේ මීටර 285.00වනවා.

මෙම පාලමෙහි පළල ආකාර තුනකට ඉදිවෙන අතර ප්‍රධාන ගුවන් පාලම පාලමේ මීටර් 9.40ක් වන අතර එම ප්‍රධාන ගුවන් පාලම branch flyover එකක් සමග එකතුවන විට එහි පළල මීටර 12.90ක් ලෙස ඉදිකරනු ලබනවා.

මහනුවර දෙස සිට පේරාදෙණිය දෙස සඳහා නිදහස් ගුවන් පාලම (branch flyover) මීටර 6.40කින් යුක්තයි.

මීට අමතරව ගුවන් පාලම යට කොටසේ වාහන තුනක් හා දෙකක් යන ලෙස මාර්ග පද්ධතියක් එම කොටස්වල සෑදීමට සැලසුම් කර ඇති අතර පේරාදෙණිය සිට මහනුවර දෙසට මාර්ගයේ මංතීරු හතරක් සහිත මීටර 30ක් දිග යකඩ පාලමකුත් අලුතින් සෑදීමට සැලසුම් කර ඇත.මේ සඳහා මුළු වියදම රු. මිලියන 9451 වේ.මෙම ව්‍යාපෘතියමාස 28 කින් නිම කිරීමට අපේක්ෂිතය.

විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තව ඉදි කෙරෙනවා.

උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396ක්.

එහි පළල මීටර 10.4කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310ක්.

එහි පළල මීටර 6.9කි. මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැයවේ.

මාස 12ක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය.

මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering (Pvt) Ltd) විසින් සිදුකරනු ලබයි.

කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය සහ බේරේ වැව මතින් බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ඉදිකරන ගුවන්පාලම මාස 12ක කාලයක් ඇතුළත රුපියල් මිලියන 2730 ක විදයමින් දිගින් මීටර 360ක් සහ පළල මීටර 11කින් යුක්තව ඉදිකෙරෙනවා. මෙහි ඉදිකිරීම් ඇක්සස් ඉංජිනේරු සමාගම (Access Engineering PLC) මගින් සිදු කරන බවයි මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

About The Author