Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොවිඩ් 19 එන්නත පිළිබඳ අප දැන ගත යුත්තේ මොනවාද?

අද වන විට ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ් 19 වෛරසයට එරෙහි සටන තුළ එය වළක්වාලීම සඳහා ගෝලීය වශයෙන් පුළුල් එන්නත් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතී. එකිනෙකට වෙනස් වන මෙම එන්නත් වර්ග නිෂ්පාදනය කිරීම සඳහා සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරවලින් නිර්මාණය කර ඇති එන්නත් පරාසයක් භාවිත කරනු ලැබේ. ප්‍රධාන වශයෙන් මිනිසුන් රෝගාතුර වීමේ අවදානම, රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීම හා මිය යාම අවම කිරීම මෙවැනි එන්නත්වල අරමුණ යි.

අපට එන්නතක් අවශ්‍ය වන්නේ ඇයි?

කොවිඩ් 19 වෛරසය ප්‍රථමයෙන් මතු වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, බහුතරයක් දෙනා තවමත් සිටින්නේ අවදානමට ලක්ව ය. එය පාලනය කර ගත හැකි එක ම ක්‍රුය වී ඇත්තේ අන්‍යයන් හා ගැටෙන ප්‍රමාණය අඩු කිරීම යි. එහෙත් ජනතාවගේ සාමාන්‍ය එදිනෙදා කටයුතු සිදු වන ආකාරය අනුව එම පිළිවෙත් අනුගමනය කිරීමට අපහසු ය. එබැවින් යම්තාක් දුරකට හෝ වෛරසය අඩපණ කිරීම සඳහා එන්නතක් ශරීරගත කිරීම යනු සුදුසු පියවරකි.

ප්‍රධාන එන්නත් වර්ග.

“ෆයිසර් බයෝ එන්ටෙක්”, “මෝඩර්නා” සහ “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා” යනු මේ වන විට නිෂ්පාදනය කර තිබෙන එන්නත් සියල්ල අතරින් පෙරමුණෙහි ම සිටින වර්ග තුන වේ. ෆයිසර් සහ මෝඩර්නා යන දෙවර්ගය ම ආර්.එන්.ඒ. ප්‍රවේශය හරහා නිර්මාණය කර තිබේ. එය තරමක් ඉක්මන් ක්‍රමයකි. එහි දී ඔවුන් විසින් වෛරසයේ ජාන කේතයට අදාළ ඉතා කුඩා කොටසක් නීරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට එන්නත් කරනු ලැබේ. අදාළ කොටස මඟින් ඔහුගේ ශරීරය ඇතුළත වෛරසය නිපදවීමට පටන් ගන්නා අතර ඒ හරහා ශරීරය තුළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩ නැඟේ. එබැවින් අදාළ පුද්ගලයා හට පිටතින් වෛරසය ආසාදනය වීමේ අවදානම අඩු වී යයි. මේ වන විට අදාළ එන්නත් දෙවර්ගය එක්සත් රාජධානිය, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ භාවිත කිරීම සඳහා අනුමත වී ඇත.

ඔක්ස්ෆර්ඩ් එන්නත ඉහත දෙවර්ගයට වඩා සියුම් ලෙස වෙනස් වේ. එහි දී අදාළ ජාන කේතයන් ශරීරය තුළට ගෙන යාම සඳහා භාවිත කරනුයේ කිසිසේත් හානිකර නොවන වෛරසයකි. මෙම එන්නත එක්සත් රාජධානිය සහ යුරෝපය තුළ අනුමත කර ඇත.

මෙම එන්නත් තුන ම ගබඩා කිරීම සඳහා අධික ශීත උෂ්ණත්වයක් අවශ්‍ය නොවේ. ඒවා සාමාන්‍ය ශීතකරණයක් තුළ ගබඩා කළ හැකි බැවින් භාවිත කිරීම ඉතා පහසු වේ. වර්ග තුනම මාත්‍රාවන් දෙකක් ලෙස ලබා දිය යුතු නමුත් එක්සත් රාජධානිය ප්‍රමුඛතාවය දෙන්නේ හැකි තරම් පිරිසකට පළමු මාත්‍රාව ලබා දීම සහ දෙවැන්න ප්‍රමාද කිරීමට බව පෙනේ

 නව එන්නත් දෙවර්ගය.

මේ අතර නව එන්නත් දෙකක් පිළිබඳ සිදු කෙරුණු මහා පරිමාණ අත්හදා බැලීම්වල දත්ත ද මෑතක දී ඉදිරිපත් කරන ලදී. “ජැන්සන්” සහ “නොවාවැක්ස්” යන නම්වලින් හඳුන්වනු ලබන නව එන්නත් දෙවර්ගයෙහි වැඩකටයුතු මෙ වන විට ඖෂධ නියාමකයින් විසින් සමාලෝචනය කෙරෙමින් තිබේ.

ජැන්සන් එන්නත ඔක්ස්ෆර්ඩ් එන්නතෙහි තාක්‍ෂණය ම භාවිත කරයි. එනමුත් එය ලබා දෙනු ලබන්නේ මාත්‍රා දෙකකට නොව තනි එන්නතක් වශයෙනි. එහෙයින් එය ගබඩා කිරීම සඳහා අවශ්‍ය වනු ඇතතේ එක් ශීතකරණයක් පමණි. මේ වන විට ජැන්සන් එන්නතෙහි මාත්‍රා බිලියනයක් පමණ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම එන්නත මඟින් ලොව පුරා සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව පෙනී යයි.

නොවාවැක්ස් එන්නත සඳහා යොදා ගනු ලබන්නේ තරමක් වෙනස්, එහෙත් පැරැණි ක්‍රමයකි. එහි දී වෛරසයෙන් ලබා ගන්නා ලද ප්‍රෝටීන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන ආකාරයේ මූලික රසායනික ද්‍රව්‍යයක් ශරීරය තුළට එන්නත් කරනු ලැබේ.

අනෙකුත් එන්නත් වර්ග.

යුරෝපය සහ එක්සත් ජනපදය විසින් භාවිත නොකළ ද තවත් එන්නත් වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් ලොව පුරා නිපදවා තිබේ.

චීන විද්‍යාඥයින් විසින් “සිනොවැක්”, “කැන්සිනෝ” සහ “සිනොෆාර්ම්” නමැති එන්නත් වර්ග තුන නිපදවා ඇති අතර ආසියාව සහ දකුණු ඇමරිකාවේ වෙනත් රටවල් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. මේ වන විට චීනය තුළ මිලියනයකට ආසන්න පිරිසකට සිනෝෆාර්ම් එන්නත ලබා දී ඇති බවට වාර්තා වේ.

රුසියාවේ ගමාලියා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද “ස්පුට්නික් ෆයිව්” එන්නත වඩාත් ඵලදායී බවත් ඇතැම් පුද්ගලයින් හට එය ලබා දීම ආරම්භ කර ඇති බවත් කියවේ. 

සියල්ල එක සමානව ඵලදායී වේ ද?

එක් සමාගමකින් නිලදවන ලද එන්නතක ප්‍රතිඵල තවත් සමාගමක් සමඟ සංසන්දනය කිරීම ඉතා අසීරු ය. මන්දයත් ඔවුන්ගේ අත්හදා බැලීම් තරමක් වෙනස් ආකාරවලින් සහ වසංගතයේ විවිධ අවස්ථාවල දී සිදු කර ඇති බැවිනි. කෙසේ වෙතත්, සියලු ප්‍රධාන එන්නත් හරහා රෝගයේ අවදනෙම අවම වනු ඇති බව ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ හැකි ය. එනමුත් වඩා වැදගත් ප්‍රශ්නවලින් එකක් වන, අදාළ එන්නත මඟින් වෛරසය පැතිරීම නවත්වන්නේ ද? යන ගැටලුවට පිළිතුර තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මිනිසුන් හිතාමතාම වෛරසයට ආසාදනය කොට සිදු කරනු ලබන අත්හදා බැලීම් හරහා හොඳින් ම ප්‍රතිඵල ලබා දෙන්නේ කුමන ක්‍රමය ද? යන්න අවබෝධ කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උත්සාහ දරමින් සිටියි.

මේ අතර කොවිඩ් 19 වෛරසයේ නව අනුවාදයන් කිහිපයක් ම ලොව පුරා විවිධ රටවලින මතුවෙමින් තිබේ. නව ප්‍රභේද පිළිබඳ ප්‍රථමයෙන් ම දත්ත ලැබී තිබෙන්නේ ජැන්සන් සහ නොවාවැක්ස් එන්නත් කරන ලද පුද්ගලයින් හරහා ය. විශේෂයෙන් දකුණු අප්‍රිකාව තුළ සිදු කෙරුණු එන්නත්කරණයේ ඵලදායීතාව ඉතා අඩු වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ ද මෙම නව ප්‍රභේද කිහිපය බව සොයා ගෙන ඇත. කොවිඩ් 19 වෛරසය අනෙකුත් වෛරස වර්ගවලින් වෙනස් බව සැබෑවක් වුවත්, එය මේ වන විට චලනය වන ඉලක්කයක් බවට පත් ව තිබෙන්නේ කෙසේ ද? යන වග සොයා ගැනීමට බොහෝ පර්යේෂකයින් උත්සාහ දරමින් සිටින බව පෙනේ. කෙසේ වුවත් තත්ත්වය මේ ආකාරයෙන් ම පැවතුණහොත් අනාගතයේ දී අප දැනට සම්මත කොට ගෙන ඇති සියලු එන්නත් වර්ග සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සිදු වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author