Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා රෝගීන් රෝහල් පද්ධතියට දරා ගැනීමට නොහැකිවෙයි – නිසි ප්‍රතිකාර නොමැතිව කොරෝනා රෝගීන් මිය යාම ඇරඹෙයි

අද වන විට දෛනික වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව නිවැරදි සංඛ්‍යාව නොවන බවත් රෝහල්වල නිසි ප්‍රතිකාර නැතිව මියයන සංඛ්‍යාව ද ඇතුළත්ව ගණනය කළහොත් මෙම සංඛ්‍යාව දෙගුණ තෙගුණ වනු ඇති බවත් පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරනවා.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ මේ වන සිදුවන මරණ වලින් බොහොමයක් රෝහල්වල අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් සිදුවන බවයි.

මේ වන විට ආසාදිතයන් ලෙස හමු වන්නේ තමන් විසින්ම රෝගය හඳුනාගෙන රෝහල සොයාගෙන එන සංඛ්‍යාව මිස හඹා ගෙන ගොස් හඳුනාගන්නා ආසාදිතයන් නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.

එනිසා දැනට රජය විසින් වාර්තා කරන ආසාදිතයන් මෙන් හතර පස් ගුණයක් ආසාදිතයන් සමාජය තුළ සිටිය හැකි බව ද පෙන්වා දෙන කුමුදේශ් මහතා වසංගතය පාලනය කළ බව පෙන්වීම සඳහා රජයේ ඇතැම් පාර්ශවවල අවිද්‍යාත්මක හැසිරීම වසංගතයේ වැඩිවීමට හේතු වී ඇති බවට චෝදනාවක්ද සිදු කරනු ලැබුවා.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ රෝහල් වල පහසුකම් නොමැති වීම හේතුවෙන් කොරෝනා රෝගීන් බරපතල අර්බුධ රැසකට මුහුණ දී ඇති බවයි.

කොරෝනා රෝගීන්ට ඇඳවල් ලබා දීම මෙන්ම ඔක්සිජන් ලබාදීම ඇතුළු සියලු කටයුතු බරපතල අර්බුධයකට ලක්ව ඇති බවයි.

බොහෝ රෝහල් වල කොරෝනා රෝගීන් රෝහල් කොරිඩෝවල සහ ඇඳන් යට පවා සිටින තත්වයට මේවන විට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

ඔහුද පවසන්නේ කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදෙන දත්ත වාර්තා පිළිගත නොහැකි බවයි.

කලට වෙලාවට නිසි ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට නොහැකි වීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු මියයාමේ සිදුවීම් ද ප්‍රදේශ රැසකින් වාර්තා වුණා.

ජීව විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතාගේ මිතුරෙකු ද අවශ්‍ය පහසුකම් නොමැතිව මියයාමේ සිදුවීම ඒ අතරින් කැපී පෙනුණු සිදුවීමක්.

About The Author