Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරල්පර සංරක්ෂණය කරමු – මනීශා ගුණවර්ධන ලියයි

කොරල්පර සංරක්ෂණය කිරීමේ අරමුණ මුහුදේ ඇති ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමත් වෙරල ඛාදනය නැවැත්වීමත්ය.

මීට අමතරව මුහුඩුබඩ පරිසරයේ තුලනය පවත්වා ගැනීමටද එය බෙහෙවින් ඉවහල් වේ.

සාමාන්‍යයෙන් සාගර විද්‍යාඥයන්ගේ සමීක්ෂණ අනුව හොඳින් වැඩුණු කොරල්පරයක බිහිවීම සඳහා දළ වශයෙන් අවුරුදු දහසක් ගත වන අතර මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ජීවීන් මිලියන 9 කට අධික විශේෂ වාසස්ථානයක් වන වේ.

කොරල්පරවල තිමාන ව්‍යුහය සාගර ජීවීන්හට වාසස්ථාන වර්ග රැසක් ඇති කරයි. මුහුදු ජීවීන් විශේෂ මිලියන ගණනක් අන්තර් කොරල් අතු තුළ ජීවත්වන වෙති.

ඒ අනුව කොරල්පර වලින් ඔවුනට වාසස්තාන සැපයීම, විලෝපිකයක්ගෙන් ආරක්ශාවීමට, සහ ආහාර ලෙසද මෙහෙයක් ඉටුකරයි. මෙකී අතිශය මනරම් හා වටිනා කොරල්පර විවිධ ක්‍රියාකාරකම් හා දේශගුනික විපර්‍යාසයන් හමුවේ අද වන විට දැඩි තර්ජනයකට ලක්ව ඇත.

මෙකීකාරණාව තුළ එම තර්ජනවලින් කොරල්පර ආරක්ශා කරගැනීමත් කොරල්පර සංරක්ෂණය කර අනාගතයට දායාද කිරීමත් සෑම අයකුගේම යුතුකම සහ අත්නොහැරිය හැකි වගකීමද වන්නේය.

මෙම කොරප්ලර සංරක්ෂණය සදහා විවිධ නෛතික රාමු ස්තාපිත කර ඇති අතර ඊට අමතරව කොරල්පර සංරක්ෂණ ආකාර ද හදුනා ගත හැකිය. කොරල් සංරක්ෂණය පිළිබඳ අරමුණ නම් කොරල්පර වෙනස් පරිසරයට අනුවර්තනය කිරීමත් ඒවායේ ජීව කාලය වැඩි දියුණු කිරීම සඳහා උපකාර කිරීමත් ය.

මෙහිදී,කොරල්පර සංරක්ෂණ වැඩසටහන් හා හානි තක්සේරු කරපිළිසකර කිරීම් ද, යථා තත්ත්වයට පත් කිරීම් වැඩසටහන් , පරිසරය අහිමිවිම් වළක්වා කොරල් සංරක්ෂණ ව්‍යාපෘති කියාත්මක කිරීම,වඳ වී යන කොරල් විශේෂ වලට වැඩි අවධානයක් යොමු කර කටයුතු කිරීම ආදිය සිදු කල යුතුය.

මීට අමතරව කොරප්ලර සංරක්ෂණයෙහි ලා කෘෂිකාර්මික හා කාර්මික වගාබිම්වලට භාවිතා කරන විෂ සහිත දේවල් මෙන්ම සාගරය තුල සිදුකරන න්‍ය්ෂ්ටික අත්හදා බැලීම් නැවත්විය යුතුය.

මේවා අන්තර්ජාතික සාගර සම්මුතිය මගින්ද තහනම් කර ඇත(UNCLOS). කොරල්පර වලට උෂ්ණත්ව බලපෑම් සිදුවීමත්, දේශගුණික විපර්යාස සහ භයානක ධීවර පිළිවෙත්, මෙන්ම බෝට්ටු හානි හෝ හදිසි අනතුරු ද මෙම කොරල්පර සදහා හානි පමුනුවනු ලබයි.

ඒ අනුව බොහෝ ධීවර පිළිවෙත් එනම් ඩයිනමයිට් හා සයනයිඩ් ධීවර කටයුතුද හැකිතාක් දුරට අවම කලයුතුය.කොරල් සංරක්ෂණයේදී ඇල්ගී ඉවත් කිරීම සඳහා ශාක හඳුන්වා දීම මගින් තාවකාලිකව සමතුලිතව කොරල් පරිසර පද්ධතිය පවත්වා ගත හැකිය.

තවද කෘශිකර්ම බෝග ක්ෂේත්රයේ පොහොර ප්‍රමාණය අඩු කිරීම සඳහා දරන උත්සාහයන් මගින් ද මුහුදු මට්ටමේ නයිට්රජන් මට්ටම් අඩු කර ගත හැකිය. විශේෂයෙන් ම මානව ක්‍රියාකාරකම් වලින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම සමස්ත කොරල්පර වල නිරෝගී භාවය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

කොරල් ආරක්ෂා කිරීමේ ප්‍රධාන ක්‍රමයක් ලෙස සමුද්‍ර ආරක්ෂිත කලාප පිහිටුවීම දැක්විය හැක. මේවා පිහිටුවීමෙන් මිනිසාට එම ප්‍රදේශ වලට යාම තහනම් කිරීම සිදු කළ හැක. වර්තමානය වන විට බොහෝ සමුද්‍ර ආරක්ෂිත කලාප පිහිටුවා තිබුණත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා එම කලාප තුළට ඇතුල් වීම හා එහි මත්ස්‍ය කර්මාන්තය සිදුවේ.

සමුද්‍ර ආරක්ෂිත කලාප පිහිටුවීමේ වර්ධනය පහත ලෙස දැක්විය හැක.

  • 1970 දී රටවල් 27 තුළ සමුද්‍ර ආරක්ෂිත කලාප 118ක් පිහිටුවන ලදී.
  • 1985 වන විට රටවල් 69 තුළ සමුද්‍ර ආරක්ෂිත කලාප 430ක් පිහිටුවන ලදී.
  • 2006 වන විට රටවල් 143 තුළ සමුද්‍ර ආරක්ෂිත කලාප 5877ක් පිහිටුවන ලදී.
  • වර්තමානයේ දකුණ, ගිනිකොණ දිග හා ඈත නැගෙනහිර ආසියාවේ පමණක් සමුද්‍ර ආරක්ෂිත කලාප 1125ක් දක්නට ලැබේ.

එනමුත් සමස්ථ පෘථිවි පෘෂ්ඨයෙන් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් පුරා විවිධාකාර පරිසර පද්ධති වලින් සමන්විතව ඇති සාගරය තුල සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ බෙදා හැරීමෙන් කෙතරම් ආරක්ෂිත කලාප පිහිටවනු ලැබුවත් වර්තමානය වන විට ඒවා නාමික සමුද්‍ර ආරක්ෂිත කලාප බවට පත්වී ඇති අතර කොරල්පරවලට ඇති තර්ජනය දිගින් දිගටම පවතී.

අනෙක් අතට මෙලෙස පවතින සමස්ථ සමුද්‍රීය පරිසරයෙන් මෙතෙක් සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශවල (MPA) ගෝලීය ආවරණය 7.68% ක් පමණි. එය කොරල්පර සංරක්ෂණයෙහිලා වර්ධනය කල යුතු තත්තවයක පවතී.

එමෙන්ම කොරල්පර සංරක්ෂණය සදහා කොරල් කැණීම තහනම් කිරීම සහ වැලි කැණීම සඳහා විකල්ප ක්‍රම බිහිකිරීම ද වැදගත් වේ.

මෙරට කොරල් කැණීම සම්පූර්ණයෙන් තහනම් කරන ලද්දේ 1983 දීය. රටේ නීති ක්‍රියාත්මක කිරීමේදී ඒ සදහා සම්පූර්ණ සාර්ථකත්වයක් නොලැබීම දුර්වලතාවකි.

මෙහිදී, කොරල් පතල් කැණීම් මත යැපෙන කොරල් පතල් කම්කරුවන් සදහා විකල්ප ජීවනෝපායන් සැපයීම හා යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම වැදගත් වේ.තවද තනි තනිව සොබාදහමට වගවිය යුතු පුද්ගලයන් ලෙස තනි පුද්ගලයන් හටද මේ සම්බන්ධයෙන් කලහැකි ක්‍රියාවලීන් බොහෝමයකි.

එහිදී කොරල්පර ස්පර්ශ කිරීමෙන් හෝ බෝට්ටුව ගල්පරයේ නැංගුරම් දැමීමෙන් වැලකීම සුවිශේෂී වේ.එහිදී ගල්පර සමඟ සම්බන්ධ වීමෙන් සියුම් කොරල් සතුන්ට හානි වන අතර, ගල්පරයේ නැංගුරම් දැමීමෙන් කොරල් ද විනාශ විය හැක.

කුණුකසල නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණයකොට බැහැර කල යුතුය , මන්ද යත් සමුද්‍ර සුන්බුන් කොරල්පර වලට හානිකර විය හැකිය. මෙම කාරනයේදී සිහිපත් කල යුතු කරුනක් නම් ප්‍රජාව ලෙස කුණු කසළ එකතු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමෙන් ගංගා සහ ඇළ මාර්ග පිරිසිදුව තබා ගැනීමටත් ඒ අනුව කොරල්පර සංරක්ෂණය සදහා ඔබටත් මටත් දායක විය හැකිය.

එමෙන්ම රසායනික පොහොර භාවිතය අවම කිරීම ද වැදගත් ය. තණකොළ මත පොහොර අධික ලෙස භාවිතා කිරීම ජලයේ ගුණාත්මක භාවයට හානි කරයි. මෙම පෝෂ්‍ය පදාර්ථ ජලය දූෂණය කරන අතර කොරල් පර වලට හානි කළ හැකිය.

එමෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා වඩාත් දැඩි රෙගුලාසි පැනවීමද කොරල් සංරක්ෂණය සදහා වැදගත් වේ.

ඒ අනුව හෝටල් සහ සංචාරක ආශ්‍රිත ව්‍යාපාර නිසා සිදුවන දූෂණය අවම කිරීම මගින්ද කොරල් හානිය අවම කළ හැකිය. ඊට අමතරව, දිරාපත් වූ කොරල් පර පුනරුත්ථාපනය කර ප්‍රතිෂ්ඨාපනය කළ හැකි අතර එය කොරල් පරිසර පද්ධති තනිවම නැවත වර්ධනය වීමට උපකාරී වේ.

මෙලෙස කොරක් සංරක්ෂණය කිරීමෙන්, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම, භූමිය පදනම් කරගත් පරිසර දූෂණය අවම කිරීම,ධීවර තිරසාර බව වැඩි දියුණු කිරීම, කොරල් ජනගහනය යථා තත්වයට පත්කිරීමට හා කොරල් සංරක්ෂණයට ඉවහල් වේ.

එපමණක් නොව අප අතුරින්ම ආරම්භකොට කොරල් පරවල වැදගත්කම, ඒවාගේ විවිධත්වය, හා එයින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මගින්ද කොරල් විනාශය අවම කරගත හැක.

සමාජ මාධ්‍ය තුලින් සිදුකරන මෙම අපගේ දැනුවත්කිරීමේ වැඩසටහන මෙන්ම පාසැල් අධ්‍යාපනය තුළ ද දැනුවත්කිරීම් සිදුකිරීමත්, ජාතික මට්ටමින් ජනතාව දැනුවත්කිරීමත් සිදුකළ හැකිය.

එමෙන්ම රටේ ප්‍රතිපත්ති සකසන්නන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු අතර ඔවුන් නිර්මාණය කරන ප්‍රතිපත්ති තුළ කොරල් සංරක්ෂණය අනිවාර්ය කළ යුතුය.

🍀මේ අනුව කොරල්පර රැක ගැනීම අප කාගේත් වගකීමක් මෙන්ම අනාගත පරපුරට එය ආරක්ෂා කර දීම අප සැමගේ අත්‍යන්ත වගකීම බව තරයේ සිහි තබා ගත යුතුය..💚🐠

© පුරවැසි සටහන- මනීශා ගුණවර්ධන

About The Author