Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කෘමිනාශක සහ වල් නාශක සීමිතව ආනයනය කිරීමට ද බලය ලබා දෙමින් හරිත කෘෂි කර්මාන්තය නඟාසිටුවීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් රැසක් එක්කර ගැනෙයි – කාබනික ගොවිතැන සහ කාබනික ආහාර ප්‍රචලිත කිරීම අරමුණයි

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙනවා.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර ඒ සඳහා පුද්ගලික අංශයේ මැදිහත් වීම වැඩි වශයෙන් ලබාගෙන තිබීම විශේශත්වයක්.

14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස Wild Holiday පුද්ගලික සමාගමේ සභාපති විජිත් වැලිකල මහතා පත්කර තිබෙනවා.

එහි සෙසු සාමාජිකයින් ලෙස පාත් කර ඇත්තේ ලලිත් සෙනවිරත්න, කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, රසික තුසිත කුමාර, ආචාර්ය බී.කේ.ජි.කාවන්තිස්ස, සමන්ත ප්‍රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්.එම් කලීඩ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරව්ගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ සහ නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීන්.

හරිත කෘෂිකර්මය තිරසාරව පවත්වා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරිම, විවිධ බෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගැනීම සහ එම පොහොර නිෂ්පාදනය දියුණු කිරිම, කෘමිනාශක සහ වල්නාශක දේශීයව නිෂ්පාදනය කිරීම, දේශිය නිෂ්පාදන මගින් අවශ්‍යතා සැපිරීමේදී ඇතිවිය හැකි හිඟයන් උසස් ප්‍රමිතියෙන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතීන් යටතේ සීමිත ලෙස ආනයනය කිරීමේ ක්‍රමවේදයක් සහ අධීක්ෂණ ක්‍රියා හඳුනාගැනීම ආදිය එම බලකායට අදාළ කාර්යයන් අතර වේ.

තව ද කාබනික ආහාර නිෂ්පාදනය හා පරිභෝජනයේ සෞඛ්‍ය, සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ජනගත කිරිමේ සන්නිවේදන කටයුතු ප්‍රචලිත කිරීම, මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම හා ක්‍ෂේත්‍ර මට්ටමෙන් කාබනික කෘෂිකර්ම ව්‍යාප්ත සේවා පුළුල් කිරීම යනාදිය ද මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති කාර්යයන් ය.

About The Author