Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කුල්ල කුජීතු වූ රුපියල පා කරයි : ඩොලරය 230 නගී

මහබැංකුව නිවේදනයක් එවයි

බරපතල කඩාවැටීමකට ලක්ව ඇති ශ්‍රී ලංකා රුපියල පා කර හැරීමට සහ ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 230 කට නොවැඩි මට්ටමක් පවත්වා ගෙන යාමටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් : විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි.

එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද දැනුම් දෙන ලදි.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබේ. විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළපොළෙහි ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැළපීම් සිදු කරනු ඇත.

About The Author