Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කළු සල්ලි වලින් රට කරන හැටි මුදල් ඇමති බැසිල් කියයි : යුධ සමයේ රහසක් හෙළි වී රටම බරපතල අවුලක පැටලෙයි

දිවයින පුවත් පතේ සම්මුඛ සාකච්ඡාවක් පත්තු වෙලා

කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ අනාවරණයක් මේ වන විට බරපතල ආර්ථික සහ රාජතාන්ත්‍රික අර්බුධයක් බවට වර්ධනය වෙමින් තිබෙනවා.

2009ට පෙර පැවැති යුද සමයේ ද හමුදාවට ආයුධ අවශ්‍ය වූ අවස්ථාවේ කළු සල්ලි යොදා ගනිමින් ශ්‍රී ලංකා හමුදාවන්ට ආයුධ සපයා ගත් බව ඇඟවෙන අයුරින් ඔහු ඉරිදා දිවයින පුවත්පතට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙම ප්‍රකාශය යළි සංශෝධනය කරමින් සඳහන් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා සමග තමන් මේ ගැන සාකච්ඡා කළ බවත් ඔවුහු එවැනි අදහසක් පළ කර නැති බවත්ය.

මුදල් අමාත්‍යවරයාගේ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමතිය පළ කරමින් කියා සිටින්නේ උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීම පුදුමය දනවන ක්‍රියාවක් බවයි.

විදෙස් මාධ්‍ය ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තා කරමින් කියා සිටියේ කලකට පෙර විකිලීක්ස් කේබල් හරහාද මේ ගැන හෙලිදරවු කර තිබූ බවයි.

දිවයින පුවත්පත සමග බැසිල් රාජපක්‍ෂ මහතා පල කර ඇති අදහස් මෙසේය.

උපුටා ගැනීම.

ප‍්‍රශ්නය – ඔබ කිව්වා වගේ 2020 වර්ෂය තුළ විදේශ පේ‍්‍රෂණ විවිධ හේතු නිසා වැඩි වෙලා තියෙනවා. ඒත් 2019 වසර ගත්තත් ඩොලර් බිලියන හයකට වැඩි හතකට ආසන්න ගණනක් ලැබුණා. කොහොම නමුත් මහ බැංකුවත් පිළිගන්නවා හවාලා, උන්ඩියල් වගේ ක‍්‍රම වලින් විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණයත් මෙරටට එනවා කියල. මේ ප‍්‍රමාණය බිලියන 1.5 ක් විතර ලෙස සැලකුවොත් ඒක ලොකු මුදලක් ?

පිළිතුර – ඒ වුණාට මම නම් හිතන්නේ ඒක මහ බැංකුවට ප‍්‍රශ්නයක් වුණාට රටකට ප‍්‍රශ්නයක් නෙවෙයි කොහෙන් හරි ඩොලර් එනවා. මහ බැංකුවට ඒක ප‍්‍රශ්නයක් වෙන්න ඇති. මහ බැංකුව පැත්තෙන් ඔබ කියන කරුණ හරි.

දැන් ඔයා කියන්න දැන් සංචාරකයෙක් මෙහෙ ආවොත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ ඩොලර් ආදායමට පමණක් සංචාරක ව්‍යාපාරය කරනවා කියල. සංචාරක කර්මාන්තයෙන් රැකියා සපයනවා. හෝටල් කරනවා. වාහන දුවනවා. ඒක නිසා මේකේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. දැන් විදේශ රැකියාවක් සඳහා කෙනෙක් පිටරට ගියොත් එතකොට හිතන්න එපා ඒකෙන් විදේශ රැකියා නියෝජිතයන්ට සහ අපට ලැබෙන මුදල් ප‍්‍රමාණය ගැන පමණක්. ඒ රැකියාවෙන් එයා මුළු පවුලක් ජීවත් කරනවා කියන එක අමතක කරන්න එපා. එයාට ඒක වෙන ක‍්‍රමයකින් හම්බු වෙලා.

මගේ නම් පෞද්ගලික විශ්වාසය ඒ පුද්ගලයා හම්බ කරන ඩොලර් එකට බැංකුව හරහා රු. 200 ක් ගැනීමත් එහෙම නැත්නම් වෙන ක‍්‍රමයකට රු.240 ක් ගැනීමත් ඒක රටක පුරවැසියෙක් හැටියට අපි ඒක එතරම් මහා ලොකුවට සලකන්න සුදුසු නැහැ. එතකොට ඒ මනුස්සයාගේ පවුලට රු. 240 ක් හම්බු වෙනවා. ඉතිං ඕකට මොකක්ද ඔච්චර කෑ ගහන්නේ.?

ප‍්‍රශ්නය – ඇමැතිතුමනි ඒ මුදල් ටික එනම් රුපියල් වටිනාකම ලැබෙනවා ඒ පවුල්වලට

පිළිතුර – ඔව්. ඉතිං.

ප‍්‍රශ්නය – හැබැයි අර ඩොලර් ප‍්‍රමාණය යනවා අවිධිමත් ක‍්‍රමයට?

පිළිතුර – කොහොමද අවිධිමත් කියන්නේ? ඔයාට අවිධිමත්, සෙන්ට‍්‍රල් බෑන්ක් එකට අවිධිමත් මුදල් ඇමැතිවරයාට අවිධිමත්. නමුත් ඒ පුද්ගලයාට අවිධිමත් නෑ.

ප‍්‍රශ්නය – ඔව් එයාට නැහැ?

පිළිතුර – ඉතිං මොකක් ද ඒකෙ තියෙන වැරැද්ද?

ප‍්‍රශ්නය – එතකොට විදේශ විනිමය ?

පිළිතුර – නෑ. එහෙම එකක් නෑ. විදේශ විනිමය එනවනේ. නැත්නම් අපි ඒ ඩොලරය වෙන පැත්තකින් හොයන්න ඕනනේ. කවුද ඔය කියන්නේ එක පැත්තකින් විතරයි. ඕක හොඳයි මුදල් ඇමැතිතුමාට. නැත්නම් මහ බැංකු අධිපතිතුමාට. හැබැයි ඕක මම හිතන්නේ නෑ සාමාන්‍ය පුද්ගලයට කිසිම බලපෑමක් ඇති වෙනවා කියල.

ප‍්‍රශ්නය – ඇමැතිතුමා දැන් අපට තෙල් ගෙන්වා ගන්න?

පිළිතුර – නෑ. ඒක තෙල් ගෙන්වා ගන්න එක අපේ ප‍්‍රශ්නයක්නේ. ඒ පුද්ගලයාට ප‍්‍රශ්නයක් නෙවෙයිනේ.

ප‍්‍රශ්නය – ඒ පුද්ගලයාගේ පැත්තෙන් කිසිම ප‍්‍රශනයක් නැහැ?

පිළිතුර – ඉතිං ඒකනේ. ඒක ඇතිනේ අපට. ඒ ඇතිනේ. විදේශ රැකියාවලට මිනිහෙක් යන්නේ එයාගේ දරුවන්ට උගන්ව ගන්න. එයාට ගේ හදා ගන්න. එයාට ඒ සල්ලි ටික ලැබෙනවා නම් මොකක්ද ප‍්‍රශ්නේ ?

ප‍්‍රශ්නය – ඒ මහජනයාගේ පැත්තෙන් නෙවෙයි. දැන් විනිමය ප‍්‍රශ්නය නිසා තෙල් ගෙන්වා ගන්න බැරි වුණොත් විදුලිය නිෂ්පාදනය කර ගන්න බැරි වෙනවා.

පිළිතුර – නෑ ඒක ඉතිං රජය බලාගන්න ඕන. ඒක අර පුද්ගලයාගේ පිටඋඩ දාන්න හොඳ නෑනේ. එයා කොහොම හරි

ගිහින් අඩු ගානේ ඒක රජයට ලොකු සම්පතක්නේ. එයා රට රැකියාවක් කරලා ජීවත් වෙන එක.

ප‍්‍රශ්නය – ඇත්තවශයෙන්ම ඇමැතිතුමනි අපිත් කියන්නේ ඒකයි. ඒක ඒ මනුස්සයාගේ වරදකුත් නෙවෙයි. දැන් සමහර සංචාරකයන් ඇවිල්ල හෝටල් හරහා බැංකුවලට යන්නේ නැතුව සල්ලි පිටින් මාරු කරගන්න බවට දැනගන්නට තිබෙනවා?

පිළිතුර – ඉතිං අපිත් කරනවනේ. ඔයා සිංගප්පූරු ගිහින් ඔයා මුදල් හෝටලෙන් මාරු කරන්නේ නෑනේ. ඔයාට මනී එක්ස්චේන්ජර් කෙනෙක් වැඩිපුර ගෙවනවනම් ඔයා එතනින් මාරු කර ගන්නවා.

ප‍්‍රශ්නය – ඔව්. එතකොට එහෙම මුදල් මාරු කරන එක ඒ අයගේ වරදකුත් නෙවෙයි. විදේශ සංචාරකයාගේ වරදකුත් නෙවෙයි.

පිළිතුර – ඔව්.

ප‍්‍රශ්නය – හැබැයි දැන් මහ බැංකුව කියන දෙයින් අප දකිනවා මේ විදේශ ශ‍්‍රමිකයාට යම් බලපෑමක් කරනවා කියල අනිවාර්යෙන් බැංකු ක‍්‍රමය හරහා මුදල් එවන්න කියල ?

පිළිතුර – මහ බැංකුව පැත්තෙන් ඒක හරි. එයා බලන්න ඕන එයාට වැඩියෙන් ඩොලර් හොයා ගන්න. ඉතිං ඒක ඒ දෙගොල්ලගෙ දෙකක්. ඉතිං මුදල් ඇමැතිවරයා හැටියට මට.. දෙකම එකයි. මම අවංකව කියන්නේ. ඇත්ත මේක. මාධ්‍ය වුණත් දෙපැත්තම පෙන්වන්න ඕන. ඒක කිසි ප‍්‍රශ්නයක් නැහැ.

ප‍්‍රශ්නය – විදෙස්ගත ශ‍්‍රමිකයා සාමාන්‍යයෙන් පුරවැසියෙක් විදියට එයා වැඩියෙන් මුදල් ලැබෙන තැනට යොමු වෙනවා ?

පිළිතුර – නෑ. දැන් ඔයාට ඩොලර් එකක් තියෙනවා නම් මම කියනවා රු. 230 ක් දෙනවා කියල අරය කියනවා රු.200 ක් දෙන්නම් කියල.

ප‍්‍රශ්නය – මම අනිවාර්යෙන් යනවා වැඩිපුර දෙන තැනට.

පිළිතුර – ඉතිං අපි ඒක නතර කරන්න ඕන ද ?

ප‍්‍රශ්නය – හැබැයි මහ බැංකුව ගිණුම් පරීක්ෂා කරනවා. එතකොට..

පිළිතුර – (සිනහසෙමින්) ඒක ඉතින් මහ බැංකුව පැත්තෙන් එයාට ඕන වැඩිපුර ඩොලර් ගෙන්වා ගන්න.

ප‍්‍රශ්නය – ඔබතුමා කියන දේ මම පිලිගන්නවා. ඒක ඇත්ත වශයෙන් විදේශ සංචාරකයාගේ ප‍්‍රශ්නයකුත් නෙවෙයි. විදෙස්ගත ශ‍්‍රමිකයාගේ ප‍්‍රශ්නයකුත් නෙවෙයි.?

පිළිතුර – දැන් මෙහෙමනේ… දැන් පාසල් පොත් පිට මුද්‍රණය කළොත් අපට රු.400 ට හම්බ වෙන පොත රජයේ මුද්‍රණාලයට දුන්නොත් ඒකට 400 වෙනුවට රු. 450 ක් ගෙවනවා. එතකොට ඒක රජයේ ආයතනයකට දෙනවා. එතකොට ඒ රජයේ ආයතනයට ලාභයි. හැබැයි ඒ වැඩිපුර ගෙවන රු. 50 ගෙවන්නෙත් භාණ්ඩාගාරයේ මහජනයාගේ බදු මුදලින්නේ. පුද්ගලික අයගෙන් පොත් ගත්තොත් රු. 400 යි ගෙවන්න ඕන භාණ්ඩාගාරයට. හැබැයි අපි රු.450 ක් ගෙවනවා ආණ්ඩුවේ ආයතනයට. ඕක තමයි ඔය දෙකේ වෙනස.

ප‍්‍රශ්නය – විදේශ මුදල් මාරු කිරීමෙන් මහජනයාට වැඩිපුර ගාණක් ලැබෙන එක කිසි ප‍්‍රශ්නයක් නැහැ. විදේශ සංචාරකයා පිටින් මාරු කරත් ඒ අය යොමු වෙනවා ඒ අයට වැඩි මුදලක් ලැබෙන තැනින් මුදල් මාරු කරන්න. හැබැයි විදේශ විනිමය නිල මාර්ගවලට ආවේ නැතොත් එහෙම?

පිළිතුර – ඒක නිල නොවන මාර්ගයක් කියල කොහොම ද කියන්නේ ?

ප‍්‍රශ්නය – මහ බැංකුව ප‍්‍රකාශ කරන්නේ බැංකු ක‍්‍රමය හරහා ආවේ නැතොත් ?

පිළිතුර – කවුද කියන්නේ එහෙම. ලෝකේ කොහෙද තියෙන්නේ? මනී එක්ස්චේන්ජර්ස්ල ලෝකේ රෙකග්නයිස් කරලා තියෙනවනේ නිල මාර්ගයක් හැටියට.

ප‍්‍රශ්නය – මම ඇහුවේ මුදල් එවන උන්ඩියල් සහ හවාලා ක‍්‍රම ගැන ?

පිළිතුර – උන්ඩියල් හවාලාත් ලෝකේ රෙකග්නයිස් ක‍්‍රමයක්. දැන් හරියට ඔය තියෙනවනේ බිඞ් කොයින් වගේ. ඒකත් සමහර රටවල් කියනව නිල නොවන කියල. සමහර රටවල් පිළිඅරගෙන තියෙනවා. දැන් උන්ඩියල් ක‍්‍රමයෙන් මම පිටකොටුවෙන් ඩොලර් 100 ක් අරගෙන ගියොත් මට ඒක ලෝකේ ඕන තැනක මාරු කරන්න පුළුවන්. ඒ ඩොලරයත් එකයි. මම බැංකුවෙන් ගන්න ඩොලරයත් එකයි.

ප‍්‍රශ්නය – හැබැයි රටට විදේශ විනිමය නිල මාර්ග හරහා ලැබුණොත් විතරයි මහ බැංකුවට ඩොලර් ගන්න පුළුවන්. එනම් අපනයනවලින්, සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ විනිමය පේ‍්‍රෂණවලින් ලැබෙන ඩොලර්වලින් යම් ප‍්‍රමාණයක් මිලදී ගන්නවා මහ බැංකුව විසින් ?

පිළිතුර – ඒ මොනවට ද සංචිත කියල පෙන්වන්න.

ප‍්‍රශ්නය – ඔව් සංචිත වැඩි කරගන්න ?

පිළිතුර – ඒකෙන් කාට ද ප‍්‍රයෝජන? රටට ප‍්‍රයෝජනයක් නැහැ. ඒක මේ රේටින් කම්පැණිවලට තියාගන්න මිසක් ඒ ඩොලර් සහ අනිත් ඩොලර් එකෙයි වෙනස මොකක්ද ? මගේ ළඟ තියෙන ඩොලර් එකෙයි සේන්ට‍්‍රල් බෑන්ක් එකේ තියෙන ඩොලර් එකෙයි වෙනස මොකක් ද ? දැන් පිටකොටුවේ ඉන්න මුදලාලි උන්ඩියල් කරන මිනිහ ළඟ තියෙන ඩොලර් ලක්ෂයයි සේන්ට‍්‍රල් බෑන්ක් එකෙයි මහජන බැංකුවෙයි තියෙන ඩොලර් ලක්ෂයයි අතර තියෙන වෙනස් මොකක් ද? ඒකෙන් ගේන පරිප්පුවලයි මේකෙන් ගේන පරිප්පුවලයි වෙනසක් මොකක් ද තියෙන්නේ.

ප‍්‍රශ්නය – වෙනසක් නැහැ. එහෙත් අපි ගත්ත විදේශ ණය ගෙවා ගන්න ගියාම සංචිතයෙන් තමයි ණය ගෙවන්නේ ?

පිළිතුර – ඒක මුදල් ඇමැතිවරයාට ණය ගෙවන අයට අයිති එකක්. මට අරකෙනුත් අරගෙන දෙන්න පුළුවන්. කවුද කියන්නේ බෑ කියල. මම යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන. හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න ගන්නවා. එහෙම අරගෙන තමයි පෙට්‍රෝලියම් එකට දෙන්නේ.

ප‍්‍රශ්නය – එහෙම කරන්න පුළුවන් නම් හොඳයි ?

පිළිතුර – ඇයි බැරි එහෙම කරන්න? ඒක තමයි මෙවැනි වෙලාවක එතකොට ඇන්. ඇම්. පෙරේරා කළෙත් ඒකමනේ. ඇන්. ඇම්. කළෙත් එයා මැණික් කාරයන්ට යැව්වම වෙනම දුන්න මොකක්ද ක‍්‍රමයක් සල්ලි වගයක්, ඩොලර් වගයක්.

ඕක මෙහෙමයි. මේක සෙන්ට‍්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි. හැබැයි රටක් හැටියට එහෙම බැහැ. මම කියන්නේ මට ඕන වැඩියෙන්ම ඩොලර් කොයි ක‍්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක‍්‍රමයට හරි…. ඔයා කියන්න යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ කොහොම ද? උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොම ද? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්…. මේකයි ශ්‍යාම් මේකේ… එක පැත්තකින් බැලූවොත් හරි. නමුත් මගේ නම් අදහස කොහෙන් හරි රටට ඩොලර් එන්න ඕන.

විදෙස් මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර තිබෙන්නේ මේ අයුරින්…

About The Author