Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කළු පුස් ගැන විශේෂ හෙළිදරව්වක්

මියුකොමයිසිස් (Mucormycosis)හෙවත් කළු දීලීර රෝගය වැළඳුණු කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් මේ දක්වා වාර්තා වී නැතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසයි.

අද (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ, මෙම දිලීර ආසාදනය මෙරටට අලුත් රෝගී තත්ත්වයක් නොවන බවයි.

2019 වසරේදී  කළු දිලීරය ආසාදනය වූ රෝගීන් 42 දෙනෙකුත්, 2020 වසරේදී රෝගීන් 24 දෙනෙකු ත් සහ 2021 වසරේ මේ දක්වා රෝගීන් 24 දෙනෙකු ත් මෙරටින් වාර්තා වී ඇතැයි  ඇය සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ, දීලිර සම්බන්ධ සියලු පර්යේෂණ සඳහා වන සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවට ලැබෙන බැවින් මේ දක්වා මෙරටින් වාර්තා වූ එකදු කොවිඩ් 19 ආසාදිතයෙකුට හෝ මෙම දිලීරය ආසාදනය වී ඇතැයි, තහවුරු වී නොමැති බවයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ට (දියවැඩියා පිළිකා, අවයව බද්ධ කළ වැනි.. ) මෙම දිලීරය ආසාදනය වීමේ වැඩි නැඹුරුවක් පවතින බව සහ මීට පෙර එවැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ට මෙම දිලීරය ආසාදනය වී ඇති බව ද දිලීරවේදී විශේෂඥවරිය   වැඩිදුරටත් සඳහන් කළා ය.

තව ද මෙරට පසෙහි මෙම දිලීරයේ බීජානු ඇති බව ත් රටෙහි පිහිටීම අනුව එය වර්ධනය වීමට අවශ්‍ය සියලු පාරිසරික සාධක පවතින බව ත් විශේෂඥ වෛද්‍යවරියගේ පැහැදිලි කිරීම තුළ වැඩිදුරටත් ප්‍රකාශ විය.

විශේෂඥ වෛද්‍යවරියගේ කරුණු පැහැදිලි කිරීමේදී ප්‍රකාශ වූ විශේෂ කරුණු….

කළු දිලීරය වැළඳන්නේ කෙසේ ද? ආසාදනයේ රෝග ලක්ෂණ මොනවා ද?

🔺නාසයෙන් බීජානු ශරීරය තුළට ඇතුළු වී කළු දිලීර රෝගය ආසාදනය විය යැකියි.

බහුලව දැකිය හැකි රෝගී ලක්ෂණ –

🔺නහය දෙපැත්ත කළු වීම
🔺තල්ල කළු වීම

කළු දිලීර රෝගයට බිය විය යුතු ද?

🔺 කළු දිලීර රෝගී තත්ත්වය ගැන ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතුයි.

🔺මෙය බෝ වන රෝගී තත්ත්වයක්  නොවේ.

🔺 මේ දක්වා වාර්තා වූ රෝගීන් රෝහල්වල සාමාන්‍ය වාට්ටුවල රඳවා ප්‍රතිකාර කර තිබේ.

දිලීර රෝගයෙන් වැළකීමට ගත යුතු පියවර මොනවා ද?

🔺මෙම රෝගය ප්‍රතිශක්තිකරණය දුර්වල වූ විට වැළඳෙන බැවින් ප්‍රතිශක්තිකරණය හීන කරන කොවිඩ් – 19 ආසාදනය වීමෙන් වැළකී සිටීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.

🔺දියවැඩියා රෝගීන් සීනි පාලනය කර ගත යුතුයි.

🔺ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන් පස් සම්බන්ධයෙන් කරන ගොවිතැන් වැනි කටයුතුවලින් වැළකී සිටිය යුතුයි.

මෙම දීලිර ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් රෝහල් සතුව තිබේ ද?

🔺දිලීර ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් රෝහල් සතුව තිබේ.

🔺අවශ්‍ය තරම් වන එැවැනි රෝගීන්ට ලබා දීම සඳහා වන ඖෂධ, ඖෂධ සැපයුම් අංශය සතුව ඇත.

දිලීර ආසාදිත රෝගීන් නිසි වේලාවට හඳුනා නොගත හොත් දිලීරය ඇස්වලට ආසාදනය වී ඇස් පෙනීම දුර්වල වී මොළය දක්වා ගමන් කර ජීවිත අවදානම පවා සිදුව විය හැකි බව  විශේෂඥ වෛද්‍යවරිය සිය කරුණූ පැහැදලි කිරීමේදී වැඩිදුරටත් සඳහන් කර සිටියා ය .

මේ අතර ( Mucormycosis) හෙවත් කළු දිලීර රෝගය ආසාදනය වූවන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇති අතර කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයින් බහුතරයක් රෝගයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.

විශේෂඥ වෛද්‍යවරිය සිදු කළ සම්පූරණ පැහැදිලි කිරීම..

© News 1st

About The Author