Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කන්න තුනකට හිර වී තිබු පොහොර අර්බුදය විසඳෙන ලකුණු : පොහොර ගබඩා පිරී යයි

කන්න තුනකට පසු මේ වනවිට රජයේ පොහොර ගබඩා යූරියා පොහොරවලින් පිරී ගොස් තිබේ.

ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙ.ටො. 65,000න් පළමු තොගය වන මෙ.ටො. 44,000ක් රජයට අයත් ලංකා පො‍හොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ ගබඩාවල අසුරා බෙදාහැරීම් කටයුතු අරඹා තිබේ. දින තුනක කාලයක් තුළ දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවලට යූරියා පොහොර මෙ.ටො. 3000ක් බෙදාහැර ඇත.

2021 යල කන්නය, 2021/2022 මහ කන්නය සහ 2022 යල කන්නය යන කන්න තුන තුළ යූරියා පොහොර ලබා නොදීමට ගත් තීරණය හේතුවෙන්, අප රටේ වී අස්වැන්න සීඝ්‍රයෙන් පහළ ගියේය. සාමාන්‍යයෙන් සෑම වසරකම මහ කන්නයේදී වී මෙ.ටො. මිලියන තුනක පමණ අස්වැන්නක් ලැබුණත්, 2021/2022 මහ කන්නයේදී යූරියා පොහොර භාවිතයෙන් තොරව වගා කිරීම හේතුවෙන් වී අස්වැන්න මෙ.ටො. මිලියන 1.6ක් දක්වා සියයට 38-40 අතර ප්‍රමාණයකින් පහළ ගියේය.

නමුත් නැවතත් මෙවර යල කන්නයේ සිට යූරියා පොහොර ලබාදීමට ගත් තීරණය හේතුවෙන් අන් කිසිදු යල කන්නයකට වඩා වැඩි කුඹුරු ප්‍රමාණයක් මෙවර යල කන්නයේදී වගාකර ඇතැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

යූරියා මෙ.ටො. 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ළඟාවීමට නියමිතය. එම පොහොර තොගය මහ කන්නයේ වගා කටයුතු ආරම්භයේදීම ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇත. එමෙන්ම 2022/2023 මහ කන්නය‍ට අවශ්‍ය යූරියා පොහොර මෙ.ටො. 1,50,000ක් මිලදී ගැනීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට දැනටමත් එකඟතාවය පළ තිබේ. ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අවශ්‍ය පො‍හොර මෙ.ටො. 934.5ක් 18 දිනය වනවිට බෙදා හැර තිබේ. එම දිස්ත්‍රික්කයේ මෙවර වගාකර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 42,000කි. ගොවිජන සේවා මධ්‍යස්ථාන 17ක් මඟින් අවශ්‍ය සමස්ත පොහොර ප්‍රමාණය ලබාදීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා සහකාර කොමසාරිස් දහනායක මහතා පවසයි.

මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

About The Author