Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කඩදාසි කර්මාන්ත ශාලාවෙන් ඉවතට ආ ඖෂධය.

ඩී.එම්.එස්.ඕ.

ඩී.එම්.එස්.ඕ. හෙවත් ඩයිමෙතිල් සල්ෆොක්සයිඩ් යනු කඩදාසි නිෂ්පාදනයේ දී බිහි වන අතුරු ඵලයකි. මෙම ද්‍රව්‍යය ශාක කඳන් තුළ අඩංගු වන බව කියවේ. 1800 ගණන්වල මැද භාගයේ සිට කාර්මික ද්‍රාවකයක් ලෙස ඩී.එම්.එස්.ඕ. භාවිත කර තිබේ. එනමුත් විසිවන සියවසේ මැද භාගයේ සිට පර්යේෂකයන් එය වේදනා නාශන ඖෂධයක් වශයෙන් යොදා ගත හැකි බව සොයා ගෙන ඇත.

විශේෂයෙන් මුත්‍රාශයේ හට ගන්නා රෝග හා වේදනාව සුව කිරීම සඳහා ප්‍රතිකාර කිරීම පිණිස වෛද්‍යවරුන් විසින් මෙම ද්‍රව්‍යය අනුමත කර ඇත. කොන්දේසි කිහිපයකට යටත් ව, වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කිරීම සඳහා ඩී.එම්.එස්.ඕ. භාවිත කළ හැකි ය. ඒවා පහසුවෙන් සමට අවශෝෂණය වේ. ඇතැම් විට වෙනත් ඖෂධවල අවශෝෂණය වැඩි කිරීම සඳහා ද ඩී.එම්.එස්.ඕ. භාවිත කරයි. මෙම ද්‍රව්‍යය මූලික වශයෙන් සම මත ආලේප කරනු දැකිය හැකි ය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ වේදනාව සමනය කිරීම සඳහා ඩී.එම්.එස්.ඕ. භාවිත කළ හැකි ය. එය පිළිකා සඳහා විකල්ප ප්‍රතිකාරයක් ලෙස ද නිර්දේශ කර ඇත. තුවාල, පිළිස්සුම් තුවාල ආදියට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් මිනිසුන් එය භාවිත කර තිබෙන බවට සාක්ෂි තිබේ. තව ද හිසරදය, රූමැටික ප්‍රදාහය, අක්ෂි ආබාධ, සමේ කැළැල් ආදී බොහෝ කාරණා සඳහා ද ඇතැම්හු මෙම අතුරු ඵලය භාවිත කරති.

එනමුත් එහි සාර්ථකත්වය හා පරෙස්සම පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි අල්ප ය. ඇමරිකානු පිළිකා සංගමය පවසන්නේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට ඩී.එම්.එස්.ඕ භාවිත කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. තව ද මෙම ද්‍රව්‍යය සිරුරෙහි ගැල්වීම තුළින් දරුණු අසාත්මිකතා, කැසීම, දැවිල්ල ආදිය ඇති විය හැකි ය. ඉහළ සාන්ද්‍රණයකින් භාවිත කරද්දී මාරාන්තික ද විය හැකි ය. සැබැවින් ම කඩදාසි නිෂ්පාදනය වැනි කර්මාන්තයක් හරහා බිහි වන අතුරු ඵලයක් ඖෂධයක් වශයෙන් යොදා ගැනීම කෙතරම් උචිත ද යන්න බොහෝ දුරට සිතා බැලිය යුතු ය.

ගර්සන් ප්‍රතිකාරය.

මැක්ස් ගර්සන් නමැත්තා 1930 ගණන්වල දී ප්‍රසිද්ධියට පත්වූයේ පාරිසරික විෂ ද්‍රව්‍ය මට්ටම ඉහළ යාම සහ සැකසූ ආහාර භාවිතය වැඩිවීම පිළිකා ඇති කරන සෛල පරිවෘත්තීය වෙනස්වීම්වලට හේතු වනු ඇති බවට කළ උපකල්පනය හේතුවෙනි. මේ වන විට එය සැබෑවක් බව අපි දනිමු. ගර්සන් යෝජනා කළේ පිළිකාවෙන් පෙළෙන රෝගීන් හෝ එය ඇතිවීම වැළැක්වීමට කැමති අය ඔවුන්ගේ ආහාරවලින් ලුණු සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු බවට යි. කාබනික ආහාර පමණක් අනුභව කරමින් එකවර පොටෑසියම් ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව ඔහු කීය.

මහා බඩවැලේ බිත්තිය හරහා අක්මාවෙන් විෂ ඉවත් කිරීම සඳහා කෝපි එනැමාවන් භාවිත කිරීම ගර්සන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. කෝපි එනැමාව යනු නියමිත ආකාරයෙන් සකසන ලද කෝපි දියර කිසියම් ප්‍රමාණයක් ගුද මාර්ගය හරහා සිරුර තුළට යැවීම යි. වර්තමානයේ දී ද අක්මාවෙන් විෂ ඉවත් කිරීම සඳහා මෙම ක්‍රමය භාවිත කරනු පෙනේ. කෙසේ වුවත් ගර්සන්ගේ කාලයේ දී අදාළ ප්‍රතිකාරය විවිධ බලධාරීන් විසින් අකාර්යක්ෂම යැයි ප්‍රකාශයට පත් කරනු ලැබුවේ හුදෙක් එනැමා ප්‍රතිකාරය සම්බන්ධ සියලු ප්‍රතිකරම් සඳහා ආවේනික වූ ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.

එනැමා ප්‍රතිකාරය හරහා පිළිකාවෙන් අත්මිදීමේ අනුපාතය 70%ත් 90%ත් තරම් ඉහළ අගයක් තිබියදීත්, ගර්සන්ගේ මෙම උපක්‍රමය පිළිකා ප්‍රතිකාරයක් ලෙස කිසි විටෙකත් අනුමත කරනු නොලැබිණි. කෙසේ වෙතත්, විවිධ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නැවුම් පලතුරු යුෂ විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීම වැනි ගර්සන්ගේ ප්‍රතිකාරයේ අංගයන් කිහිපයක් ඇත්ත වශයෙන්ම ප්‍රති – පිළිකාකාරක වන බව යි. 

පිළිකා එන්නත.

පිළිකා ඇති කරන්නේ වෛරසයක් මඟින් බවත්, එම වෛරසය හුදකලා කර ගැනීමට තමන්ට හැකි වූ බවත් පවසමින් 1960 දී පමණ රැන්ඩ් නමැති ඇමරිකානු සමාගමක් කළඑළි බැස්සේ ය. තවදුරටත් ඔවුන් කියා සිටියේ පිළිකාව මර්දන කිරීම සඳහා එන්නතක් ද නිපදවීමට තම සමාගම සමත් වූ බව යි. අදාළ එන්නත ඔහියෝ ප්‍රදේශයේ පුද්ගලයන් 8,000කට ආසන්න සංඛ්‍යාවක් සමඟ පරීක්ෂාවට ලක් කරන ලද අතර, එහි ප්‍රතිඵල ඔවුන් බලාපොරොත්තු වූ තරමට ම සුභවාදී විය. කෙසේ වෙතත්, බලපත්‍රයක් නොමැතිව ඖෂධ අලෙවිය සිදු කළ බවට පළ වූ පුවත්පත් වාර්තා හේතුවෙන් කෝපයට පත් වූ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය (එෆ්.ඩී.ඒ.)  1967 දී රැන්ඩ් සමාගම තහනම් කළේ ය. 1968 වන විට, එම සමාගමට එරෙහිව ෆෙඩරල් අපරාධ නඩුවක් ගොණු කරන ලද අතර, 1970 දී තවත් නඩු විභාගයක් පැවැත්විණි.

අත්හදා බැලීමේ උච්චතම අවස්ථාවේ දී, රැන්ඩ් සමාගම විසින් ඔවුන්ගේ පිළිකා එන්නත පිළිබඳ පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 20කට අධික මුදලක් වැය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ඔවුන් කී පරිදි ම HPV වැනි ඇතැම් වෛරස සැබවින්ම පිළිකාවට හේතු වන බව නිගමනය කර ඇතත්, අද වන විට රැන්ඩ් එන්නත සියල්ලන්ට ම අමතක වී ගොස් ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author