Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔමික්‍රෝන් සමඟ පැමිණි කත ලංකාවෙන් පිට වෙන්න කලින් වංගුවක් ගහලා

ගුවන්තොටුපොළ නිලධාරීන්ගේ ගේමකුත් අතේ පත්තු වෙයි

දකුණු කොරියාවේ පැවති සමුළුවකට සහභාගිවීමට ඉකුත් ඔක්තෝම්බර් 03 වෙනිදා මෙරටින් පිටත්ව යාමට ගුවන් තොටුපොලට ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එන්නත්කරණ කාඩ්පත නොමැතිකම හේතුවෙන් ගුවන් යානයට ගොඩවීමට ඉඩ නොදුන් තත්ත්වයක් හමුවේ ඔමික්‍රොන් ආසාදිත කාන්තාවටත් ඇගේ සැමියාටත් එන්නත් කාඩ්පත් තබා කිසිදු එන්නතක් නොලබා තිබියදී එම දිනවලම නයිජීරියාවේ සමුළුවකට සහභාගිවීමට යාමට අවස්ථාව ගුවන් තොටුපොලෙන් හිමි වීම පුදුම සහගතය.

අනිල් ජාසිංහ මහතා මුළු රටම දන්නා චරිතයක් මෙන්ම තමන් එන්නත් දෙකම ලබාගෙන ඇතැයි කියද්දීත් ගුවන් තොටුපොලෙන් ඔහුට ගුවන්යානාවට ගොඩවීමට ඉඩදුන්නේ නැත. අතපසු වීමකින් එන්නත් කාඩ්පත රැගෙන ඒමට නොහැකි වූ අනිල් ජාසිංහ මහතාට අවසාන මිනිත්තුවේදී ගුවන් යානයට ගොඩවීමට අවස්ථාව ලැබෙන්නේද එන්නත් කාඩ්පතේ ඡායාරූපයක් සිය ජංගම දුරකතනයට ගෙන්වාගෙන එය ගුවන්තොටු පොළ බලධාරීන්ට පෙන්වමිනි.

එසේ තිබියදී මාරවිල මහවැව පදිංචිකාරියක් වන 25 වියැති මෙම කාන්තාව සහ 32 වියැති සැමියා සමඟ නයිජීරියාව බලා මෙරටින් පිටත්ව යන්නේ එන්නත් කාඩ්පත නොමැතිව ගුවන් යානයට ගොඩවීමට ඉඩ නොලැබුණු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලින්මය.

එම කාන්තාව කිසිදු එන්නතක් ලබාගෙන නොමැති බව කියන්නේද මේ වන විට ලෝකයටම දැඩි තර්ජනයක් මතුකර ඇති කොවිඩ් විකෘති ප්‍රභේදය ඇයට ආසාදිත බව තහවුරුකර ගැනීමට ජාන විශ්ලේෂණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතාය.

සමුළුවකට සහභාගි වීමට බව කියා මෙරටින් පිටත්ව ගිට මෙම කාන්තාවත් ඇගේ සැමියාත් මාසයක් පමණ නයිජීරියාවේ රැදී සිට මෙරටට පැමිණෙන්නේ ඉකුත් 24 වෙනිදාය. එහිදී ඔවුන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරීශ්‍රයේදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක්කරනුයේ අප්‍රිකානු රටවල මේ වන විට දරුණු ලෙස කොවිඩ් හී දරුණුතම මුහුණුවරක් වන ඔමික්‍රොන් ව්‍යාප්තිය හේතුකොටගෙනය.

එම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හදුනා ගැනීමෙන් අනතුරුව ඇයව යොමු කෙරන්නේ පානදුර ලුනාවේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකටය. ඇය ඊට පසුදින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන්නේ නිවෙස් නිරෝධායනය සදහා යොමු වන බව කියමිනි. එහිදී ඇය විසින් නිවෙස් නිරෝධායනය වන බව සදහන් කරන්නේ ඔවුන් පදිංචි නිවසේය.

මේ අතර ඇගේ සම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයට යොමු කරනුයේ ජාන විශ්ලේෂණයක් කිරීම සඳහාය. ඇයට ආසාදිතව ඇත්තේ කොවිඩ් දරුණු ප්‍රභේදය වන ඔමික්‍රොන් බව හදුනා ගන්නේ ඒ එහිදීය. ඒ ඉකුත් 03 වෙනිදාය.

ඒ අනුව ඇය නිවෙස් නිරෝධායනය වෙමින් සිටින ස්ථානයට සෞඛ්‍ය බලධාරීන් යොමු වන්නේ ඇය මෙරටින් හමුවන පළමු ඔමික්‍රොන් රෝගියා වන බැවින් වෛරසය ඇගෙන් තව පිරිසකට බෝවීම පාලකය කිරීමට හැකි උපරිම පියවර ගැනීම සඳහාය. එහෙත් ඒ යන විටත් ඇය සෞඛ්‍ය අංශ වෙත ලබාදී සිටි නිවසේ නොවූවාය. සොයා බැලීමකදී ඇය හමුවන්නේ මාරවිල සමනල මාවතේ නිවසක රැදී සිටියදීය. මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ ඇය පදිංචිව සිටින ප්‍රදේශයේ කිසිදු සෞඛ්‍ය බලධාරියෙක් හෝ රාජ්‍ය නිලධාරියෙක් තබා අසල්වැසියෙක් වත් ඇය කොවිඩ් රෝගියෙක් බව හෝ ඇය නිවෙස් නිරෝධායනය වෙමින් සිටින්නියක් බව පවා දැන නොසිටියාය. එම වැරැද්ද සිදුවූයේ කොනනක ඇති වූ දෝෂයකින්දැයි පැහැදිලි නැත. ඒ දෝෂය සිදුවූයේ කොසේදැයි කියාවත් සෞඛ්‍ය බලධාරීන් කියන්නේ නැත. ඒ අය ඒ ගැන විමසන විට සිටින්නේ ඇටිකෙසෙල් කෑ රිලවුන් ලෙසිනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ එම කාන්තාවත් ඇගේ සැමියාත් බොහෝ තොරතුරු සඟවන බවය.

අප මේ ගැන තොරතුරු සොයා බැලීමක් කළේය. එහිදී හෙළිවන්නේ ඇය සහ සැමියා ඔක්තෝබර් 28 වෙනිදා මෙරටින් පිටත්ව යන බවකි. එසේම ඔවුන් ගුවන්තොටුපොල රේගුවට පවසා ඇත්තේ ක්‍රිස්තියානි හා ව්‍යාපාරික සමුළුවකට සහභාගි වීමට නයිජීරියාව බලා යන බවකි. සැමියා කරන රැකියාවක් ගැන කිසිවක් අනාවරණය වන්නේ නැත. එහෙත් ඇය පෙනී සිටින්නේ ඉංග්‍රීසි කථිකාචාරිනියක් ලෙසිනි. ඇය මාර්ගගත ක්‍රමයට ඉංග්‍රීසි පංති පවත්වන බව ඒ ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී හෙළිකර ගැනීමට හැකි විය.

ඇය සහ සැමියා සම්බන්ධයෙන් වැඩි යමක් දැන ගැනීමට අප වාර්තාකරුවන්ගේත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ මෙන්ම පොලීසියේද සහය ලබා ගැනීමට අප අමතක නොකලේය. එම තොරතුරුවලට අනුව මෙම යුවල පදිංචිව සිටින්නේ මාරවිල පොලිස් වසමේ තල්විල සමෘද්ධි මාවතේ පිහිටි නිවසකය. එහෙත් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථනයට ලබාදී තිබුණේ සමනල මාවතේ නිවසක තොරතුරුය.

කෙසේ වෙතත් ඔවුන් නයිජිරියාවේ මාසයක් තිස්සේ සහභාගිවූ සමුළුව ගැන කිසිවක් කියන්නේ නැත. ඒ ගැන හාරඅවුස්සමින් සෞඛ්‍ය අංශ මෙන්ම පොලීසියද විමසා ඇතත් ඔවුන්ගෙන් නිෂ්චිත පිළිතුරක්ද ලැබී නැත. එන්නත්කරණ කාඩ්පත නොමැතිව රටම දන්නා අමාත්‍යාංශ ලේකම්වරයෙකුට රට නියෝජනයකරමින් ලෝකයම පිළිගත් සමුළුවකට යාමට ඉඩ නොලැබෙන විට මාරවිල යුවලකට කිසිදු එන්නතක් නොමැතිව කිසිවෙක් නොදන්නා සමුළුවකට යන්නට ඉඩ ලැබුණේ කෙසේ දැයි බලධාරීන්ගේ සැබෑ අවධානය යොමුවිය යුතු නොවේද?

© උපුටා ගැනීම – News Wave

About The Author