ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වුණේ කොහොමද ?
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දී ඡන්දදායකයින් පෙළඹවීමේ අරමුණින්, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතරලක්ෂයක මුදලක් වැයකර ලිත් මුද්‍රණය කර බෙදාහැරියේයැ යි චෝදනා ලැබ සිටි බැසිල් රාජපක්ෂ එම චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කර ඇත.
එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (පෙබරවාරි 1 දා) නියම කළේ ය.
මෙම තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත යි.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් වූ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බව යි.
මෙම නඩුවේ චෝදනා එල්ලවන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවත්, ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බවත් සාක්ෂිවලින් අනාවරණය වී ඇතැ යි විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරුවරයා, විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන බවත් තීන්දු කළේ ය.
අධිකරණය මඟින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙස ද, අධිකරණය භාරයේ තැන්පත්කර ඇති විත්තිකරුවන්ගේ ඇප මුදල් මුදාහැරීමට පියවර ගන්නා ලෙස ද වැඩිදුරටත් නියෝග කෙරිණි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්දදායකයන් පෙළඹවීමේ අරමුණින්, එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණයකර බෙදා හැරීම තුළින්, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතරලක්ෂයක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ, ඉකුත් යහපාලන රජය සමයේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.
කවුද මේ බැසිල්?
1970 බෙලිඅත්ත මන්ත්‍රී ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් බැසිල් දේශපාලනයට පිවිසීය.
ඔහු, කලක් ඔටුන්න හිමි කුමරා ලෙස දේශපාලන ලෝකයේ හැඳින්වුණු, බණ්ඩාරනායක යුවළගේ එකම පුත් අනුර බණ්ඩාරනායකගේ හිතෛෂියෙකු විය.
1977 ලද මහා පරාජයෙන් පසු, හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට එරෙහිව අනුර සහ මෛත්‍රිපාල සේනානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව වෙනම පක්ෂයක් පිහිටුවාගත් අතර එම පක්ෂයේ මහ ලේකම්වරයා වූයේ බැසිල් රාජපක්ෂය.
අනුර බණ්ඩාරනායක සහ මෛත්‍රිපාල සේනානායක යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ අතර බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට එක් විය.
එවක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වූ මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණි දිසානායක යටතේ ඔහු කටයුතු කළේය.
1997 වසරේදී ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන ඔස්සේ බැසිල් රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පදිංචිය සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය විය.
ඒ අතරවාරයේ වරින් වර ශ්‍රී ලංකාවට පැමිණි ඔහු 2005 ජනාධිපතිවරණයේදී සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කළ අයෙකු ලෙස සැලකේ.
2007 වසරේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළේය.
2009 යුද ජයග්‍රහණයෙන් පසු 2010 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලද දැවැන්ත ජයග්‍රහණයට බැසිල් රාජපක්ෂ “යෝධ ශක්තියක්” විය.
ඒ සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වුණු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ බණ්ඩාරනායකවරුන්ගේ ‘භූමිය’ ලෙස සැලකෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමිනි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ (2010-2015) ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ ඔහු යුද්ධයෙන් බැට කෑ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි දියත් වූ සංවර්ධන ව්‍යාපෘතිවලට ද නායකත්වය ලබා දුනි.
බැසිල්ට එරෙහි මූල්‍ය චෝදනා
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් රුපියල් මිලියන 36 අධික ප්‍රමාණයක් සාපරාධී විශ්වාස කඩ කිරීම
අංක 111/03 ගඟබඩ පාර මල්වාන ලිපිනයේ, උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි අන්දමේ මුදල් රුපියල් මිලියන 200.03 භාවිත කරමින් අක්කර 16 ඉඩමක් මිලදී ගෙන එහි සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම. එම ඉඩමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.
දිවි නැගුම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතියකින් තොරව රුපියල් බිලියන 2.99 සාවද්‍ය පරිහරණය. අදාළ නඩුවෙන්, ඔහු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා 2020 වසරේදී නිදොස් කර නිදහස් කෙරිණි
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2015 වසරේ ලිත් මුද්‍රණය සඳහා 29,400,000.00 ලබාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම
බැසිල් රාජපක්ෂ ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරයි.
© මුලාශ්‍රය – බී.බී.සී සිංහල
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?