Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එන්නත් කැළල ගමන් බලපත්‍රයක් වූ හැටි

මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වසංගතය වෙනුවෙන් එන්නත් මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. නිවැරදි එලෙස එන්නත් මාත්‍රා ලබා නොගත් කිසිවෙකුටත් තම රටට අලුතින් ඇතුළු වීමට ඉඩ නොදීමට එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් තීරණය කර තිබේ. ඉදිරියේ දී අප රට තුළ ද එම නීතිය ක්‍රියාත්මක වනු ඇත. එනමුත් අදාළ පුද්ගලයා එන්නත ලබාගෙන ඇත්ද නැති ද යන්න පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත්තේ කිසියම් සහතික කිරීමේ ලේඛනයක් පමණි. එම ලේඛනය සැබෑ එකක් ද? යන්න සොයා බැලීම සඳහා වෙනම ම වෙහෙසක් දැරීමට ආගමන විගමන නිළධාරීන් හට සිදු වනු ඇත. මෙයට වසර සියයකට පමණ පෙර ද මෙවැනි ම ගැටලුවක් ඇති වී තිබිණි.

විසිවන සියවස ආරම්භයේ දී එක්සත් ජනපදය ඇතුළු  බලවත් රටවල් ගණනාවක් ම  වසූරිය වසංගතයක ග්‍රහණයේ සිටියේය. 1899 සිට 1904 දක්වා පස් අවුරුද්දක් පුරා ඇති වූ වසංගත රැල්ල තුළ දී රජයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් තහවුරු කරන ලද්දේ එක්සත් ජනපදය තුළ පමණක් වසූරිය රෝගීන් 164,283ක් සිටින බව ය. එනමුත් සැබෑ සංඛ්‍යාව එයට වඩා පස් ගුණයකින් වැඩි විය. අධික ලෙස බෝවන හා බොහෝ විට මාරාන්තික වූ මෙම වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වසූරිය එන්නත ලබා ගැනීමට රටපුරා තල්ලුවක් තිබුණි. දරුණු ලෙස වසංගතය පැතිර ගොස් තිබූ නගරවල සහ ප්‍රාන්තවල එන්නත් කිරීම අනිවාර්ය වූ අතර රැකියාවට යාමට, රජයේ පාසලකට යාමට, දුම්රිය ධාවනය කිරීමට හෝ රංග ශාලාවට යාමට පවා එන්නත් කරනු ලැබූ බවට නිකුත් කෙරෙන නිළ සහතිකය අවශ්‍ය විය.

අනිවාර්ය එන්නත් කිරීමේ නියෝගය මඟින් සිය පෞද්ගලික නිදහස විනාශ වන බවට පැවසූ බොහෝ ඇමරිකානුවෝ කෝපයට පත් වූ අතර මෙම නියෝගයට විරුද්ධ ව එන්නත් – විරෝධී ලීග පවා පිහිටුවා ගත්හ. එන්නත් කිරීමේ නීති බලාත්මක කිරීම සඳහා ගෙයින් ගෙට ගිය (බොහෝ විට පොලිස් සහායකයකු සමඟ) මහජන සෞඛ්‍ය නිලධාරීන්ට පහර දීමේ උත්සාහයක් වශයෙන්, සමහර එන්නත් විරෝධී සංගම් සාමාජිකයින් විසින් එන්නත් කිරීමේ සහතික ව්‍යාජ ලෙස සකස් කරනු ලැබිණි. සහතික නීත්‍යානුකූල දැයි කීමට නොහැකි වූ සෞඛ්‍ය නිලධාරීන් භෞතික සාක්ෂි මත ආපසු හැරී ගියහ. එහෙයින් එන්නත ලබා ගත් බව වඩාත් තහවුරු කර ගැනීම පිණිස එන්නත් කිරීමේ කැළලක් ඇති කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

1796 මැයි 14 වන දින වෛද්‍ය එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය රෝගයට එරෙහිව පළමු එන්නත අට හැවිරිදි පිරිමි ළමයෙකු වූ ජේම්ස් ෆිප්ස් හට ලබා දුන්නේ ය. පසුව 1900 වසරේ දී ඔහු විසින් ප්‍රථම වරට, සංවර්ධනය කරන ලද තාක්‍ෂණය අනුගමනය කරමින් වසූරිය එන්නත ලබා දෙන ලදී. එහි දී ඉහළ අතේ සම පිහියකින් ලකුණු කර තුවාලය තුළට සජීවී වෛරසය ඇතුළු කෙරිණි. ඇමරිකානු ඉතිහාසයේ කතුවරයකු වන මයිකල් විල්රිච් පවසන්නේ එන්නත ලබා ගත් පුද්ගලයින්ට සාමාන්‍යයෙන් උණ සහ උගුරේ වේදනාවත්, අතෙහි වේදනාවත් දැනුණු බව යි. එන්නත ලබා දුන් ස්ථානය වඩ වඩාත් රතු වී ඉදිමුණු අතර කැළලක් ද ඇති විය. මද කලකින් තුවාලය වියළී ගිය අතර ඉතිරි වූයේ දළ වශයෙන් කුඩා කැළලක් පමණි. එන්නත ලබා ගත් බවට තිබූ සාක්ෂිය එය විය.

ව්‍යාජ එන්නත් සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය දිගින් දිගට ම පැවති නිසාත්, එන්නත් – විරෝධී කුරුස යුද්ධකරුවන් විසින් එන්නත හරහා ටෙටනස් හෝ සිෆිලිස් වැළඳීමේ අවදානම අතිශයෝක්තියට නැංවූ නිසාත්, හැකි පමණින් එන්නත වළක්වා ගැනීමට උත්සාහ කළ අය ඕනෑ තරම් සිටියහ. වඩාත් පොදු උපක්‍රමය වූයේ ව්‍යාජ එන්නත් සහතිකයක් මිලදී ගැනීමයි. 1904 තරම් මෑත කාලයක දී ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි “එන්නත් සහතික වංචා” යන මාතෘකාව යටතේ “නැඟෙනහිර ප්‍රදේශයේ වෛද්‍යවරුන් විසින් ප්‍රමාණවත් එන්නත්කරනයක් සිදු නොකොට ලබා දෙන ලද වැදගැම්මකට නැති සහතික බොහෝමයක්” පිළිබඳ වාර්තා කෙරෙයි. සියලුම රජයේ පාසල්වලට එන්නත ලබා දීම සඳහා සාක්‍ෂි අවශ්‍ය වන හෙයින්, එන්නත් කිරීම සඳහා රජය විසින් වෛද්‍යවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලදී. ව්‍යාජ සහතික ලබා දුන් වෛද්‍යවරු සිදු කළේ අදාළ පුද්ගලයා එන්නත ලබා ගැනීම සඳහා වෛද්‍යමය වශයෙන් නුසුදුසු යැයි කියමින් කඩදාසි කැබැල්ලකට අත්සන් තැබීම යි.

වසූරිය මාරාන්තික වේගයකින් පැතිරී තිබූ නිව්යෝර්ක් සහ බොස්ටන් වැනි නගරවල පිහිටි ජනාකීර්ණ නිවාසවල සෞඛ්‍ය නිලධාරීන් විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ම බඳවා ගත්තේ එන්නත් කිරීමේ නියෝග ක්‍රියාත්මක කිරීමට සහ එන්නත්කරණ ක්‍රියාවලියේ දී ගැටුම් ඇති කිරීමට උත්සාහ ගන්නා ලද පුද්ගලයින් වළක්වාලීමට ය. එන්නත සඳහා ඇති පුළුල් ප්‍රතිරෝධය ගැන කලකිරී සිටි මෙම සෞඛ්‍ය කණ්ඩායම්, එන්නත් සහතික සම්පූර්ණයෙන්ම වාගේ නොසලකා හැරියහ.

එතැන් පටන් සෞඛ්‍ය නිළධාරීන් විසින් තමන්ට අවශ්‍ය යැයි හැඟෙන, තම දැනුමේ ප්‍රමාණයට අනුව එන්නත ලබා ගත යුතු යැයි පෙනෙන සියලු පුද්ගලයින් හට අනිවාර්යයෙන් එන්නත නිකුත් කළහ. ගමනාගමනයේ දී ද එම සෞඛ්‍ය නිළධාරීන් මෙන් ම පොලිස් නිළධාරීන් ද සොයා බැලුවේ එන්නත ලබා ගත් හෝ, ලබා ගැනීමට නුසුදුසු බවට නිකුත් කර තිබූ සහතිකය නොව එන්නත් කැළල යි.

පාසල්, කර්මාන්තශාලා සහ රජයේ ශාලාවල මෙන් ම වරායට පැමිණෙන සංක්‍රමණික නැව් ද පරීක්ෂාවට ලක් කෙරුණු අතර ගෙවී ගිය වසර පහ ඇතුළත එන්නත් කොට ඇති බව ඔප්පු වන නැවුම් එන්නත් කැළලක් නොතිබූ සියලු පුද්ගලයින්ට එම ස්ථානයේ දී ම එන්නත් කරනු ලැබිණි. 1903 දී ලොව සියලු රටවල රජයයන් විසින් නියෝගයක් නිකුත් කළේ ” සෑහීමකට පත් විය හැකි එන්නත් කැළලක් පෙන්විය නොහැකි කිසිදු පුද්ගලයෙකුට කිසිදු කඳවුරක සේවයට ඇතුළු වීමට හෝ වැඩ කිරීමට ඉඩ නොදිය යුතු” බව යි. ඒ අනුව සියලු කර්මාන්තකරුවෝ සිය කම්හල්වල සිටින සියලු සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට එන්නත ලබා දීමට උත්සුක වූහ. මෙම නියෝගය ලක්ෂ ගණනක ජනතාවකට බලපෑවේ ය.

කෙසේ වෙතත් එන්නත් – විරෝධී හැඟීම් කිසි විටෙකත් මුළුමනින්ම පහව ගියේ නැත. සමහර පුද්ගලයෝ එන්නත ලබා නොගෙන සිය අත් මත එන්නත් කැළැල් ඇති කර ගැනීමට පවා පෙළඹුණාහ. ඔවුන් එය සිදු කර ගත්තේ දොස්තරවරුන් එන්නත සඳහා භාවිත කරන ප්‍රමාණයට සමාන නිකල් ප්‍රමාණයක් ගෙන, එය නයිට්‍රික් අම්ල භාජනයක ඔබා සම මත තබා ගැනීමෙනි. මෙය ඉතා වේදනාකාරී වූ බව නොකිව මනා ය. එතරම් වේදනා විඳිමින් හෝ එන්නත ලබා නොගැනීමට පෙළඹීම පුදුම සහගත ය. 

කවුරුන් කුමන ප්‍රතිචාරය දැක්වූවත් වසූරිය වසංගතය නිමාවට පත් වන තුරු ම එන්නත් කැළල ගමන් බලපත්‍රයක් බවට පත් ව තිබිණි. වර්තමාන කොවිඩ් එන්නත්කරණය සඳහා ද මෙවෙැනි කැළලක් අවශ්‍ය දෝ හෝ යි හැඟෙනුයේ ඇතැම් පුද්ගලයින් පිළිගත හැකි කිසිදු හේතුවක් නොමැති ව එන්නත මඟ හැරීමට උත්සාහ කරන බැවිනි. එනමුත් හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමු නොවුවහොත් මෙම වසංගතයෙන් මිදීමට අපට කෙදිනකවත් නොහැකි වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author