Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උත්සව තහනම් රටේ පොලිසියේ ම උත්සවයක් තිබේ – මහත්තුරු මේක විහිලුවකට ගත්තද?

මේ වන විට කොරෝනා වසංගතය නිසා රටේ අහන අහන ප්‍රදේශ වලට සංචරණ සීමා පනවා ඇත.

Lockdown වචනය හෝ නිරෝධායන ඇදිරි නීතිය යන වචන කියවුණේ නැතත් සිදු කර ඇත්තේ එය බව අපට වලාවකට සිතේ.

නමුත් පාරට බැස්සාම බොහෝ පැතිවල ඔය එක නීතියක් වත් නැත.

සියල්ල මාධ්‍ය නිවේදන වලට සීමා වී ගිය කොරෝනා සැරසිලි බවට පත්ව තිබේ.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවල සෙබළුන් රාජකාරි කරන්නේ ජීවිත අවධානම පවා නොතකාය.

ඒ වෙන කතාවකි.

මේ තව කතාවකි.

කොරෝනාවත් ඡන්ද දායකයන් මෙන් අවශ්‍ය අවශ්‍ය පරිදි අන්දවා පාලනය කර ගත හැකියැයි සිතු සමහරක් දේශපාලන මහදැන මුත්තලා නිසා කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශ වලට අද අත්ව ඇති ඉරණම සෝචනීය වුවකි.

දිනකට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට වඩා මියයන තැනට අද එම ප්‍රදේශ පත්ව තිබේ.

අහන අහන තැන අසාධිතයන් ය.

රෝගීන් නිවාස වලය.

මුළු ප්‍රදේශයම වසා දැම්මත් දැන්නම් වැඩේ ගොඩ දැමිය නොහැකි බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමිය අවස්ථා කිහිපයකදීම සඳහන් කළාය.

විහිළුව කරලියට ආ හැටි..

කොරෝනාවෙන් රටම සෙත්තපොච්ච්චි වී ගියද මහවුන්ට ගණනක් නැතැයි කියා සිතෙන වැඩ කැස්බෑවේද සිදු වෙයි.

හෙට (17 ) කරන්නට යන්නේ එහෙව් විගඩමකි.

මේ තියෙන්නේ මැයි මස 12 වනදා සිට 31 දක්වා රටේ පොදු ක්‍රියාකාරකම් කරන්නට අවසර ලැබෙන හැටිය.

මේ කියන විදියට වැඩමුළු, සම්මන්ත්‍රණ, සන්නාම දියත් කිරීම් ආදිය පැවැත්වීම තහනම්ය.

ආයතන මට්ටමින් රැස්වීම් පැවැත්විය හැකිවන්නේද සේවකයින් 10 දෙනෙකුට සීමා කරගෙනය.

පොලිසිය කියන කතාව එහෙමය. ඒ වුනාට වැඩ වෙන්නේ මෙහෙමය.

උත්සව තහනම් රටේ පොලිසියේම උත්සවයක් තිබේ. මේ කතාව අන්තෝ ජටා – බහි ජටා පන්නයේ වැඩකි.

පේන විදියට පොලිසිය නිකුත් කළ නියෝග කඩන්නේ පොලිසියමය.

ප්‍රධාන ආරාධිතයා පොලිසිය භාර ඇමතිය.

ඇමතිලා නීතිය ගැන නොදන්නවා වන්නට පුළුවන. එසේත් නැතිනම් ඇමති කම සමග රටේ පවතින පොදු නීති රීති අමතක වී යාමේ ලංකාවේ බහුතරයක් දේශපාලකයන්ට වැලඳෙන පොදු අසනීපය ඔවුන්ට වැළදී තිබෙන්නට පුළුවන.

නමුත් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ නිලධාරීන්ට මේවා දක්න්නට පිට කොන්දක් තිබිය යුතුය.

රටේ සහ විශේෂයෙන්ම කැස්බෑව වැනි දැඩි අවධානම් ප්‍රදේශයක පොලිසියක් විවෘත කිරීමට උත්සව අවශ්‍යවන්නේ නැත.

පවතින තත්වය මත ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ප්‍රදේශයට නව පොලිස්ථානයක් ලබා දී එහි කටයුතු ආරම්භ කල බව කීවානම් හොදටෝම මදිද?

අනික් අතට මේ වන විටත් යම් යම් රාජකාරී කටයුතු සිදුවන ස්ථානයක් නැවත විවෘත කරන්නේ කුමන අවශ්‍යතාවක් සඳහාද? කාට පේන්නද?

මාධ්‍ය කැඳවා උත්සව පවත්වා තමන් පැනවූ නීති තමන් විසින්ම කඩා දමා දැමීම කොතෙක් දුරට යුක්ති යුක්තද?

ඕක ඔය තරමටම අත්‍යවශ්‍ය දෙයක් නම් කරන්නට දෙයක් තිබුණි.

අවම තරමින් උත්සව කතාව පැත්තකට දමා මාධ්‍ය සාකච්ඡාවක් වත් පවත්වනවා යැයි කියන්නට තිබුණි.

අඩුම තරමින් උත්සව තහනම් රටේ පොලිසියේ ම උත්සවයක් තිබේ කියා නීතිය අභියෝගයට ලක් වන බව කැතට සහ අශෝබන ලෙස සමාජ ගත වීම වත් ඉන් වලක්වා ගත හැකිව තිබුණි.

මුව ආවරණ නොදැම්මා කියා දුප්පත් අසරණ මිනිසුන් නීතිවිරෝධී ලෙස කුදලාගෙන ගොස් ඔවුන්ගේ ජීවිත කොරෝනා අවදානමේ හෙලන පොලිසියට මෙවැනි අඩපාඩු නොපෙනීම් සහ නොතේරීම නම් කණගාටුදායකය.

එවැනි වටපිටාවක් තුළ අපට අදාළ වගකිව යුත්තන්ගෙන් අසන්නට තිබෙන්නේ ” මහත්තුරු මේක විහිලුවකට ගත්තද? ” කියා පමණි.

© මී මැස්සා

About The Author