පලස්තීන – ඊශ්‍රායල ගැටුම නැවතත් උග්‍ර වී තිබේ. මෙවර පළමුවෙන් පහර දුන් බවට චෝදනා නැඟෙන්නේ පලස්තීනයට යි. කෙසේ වුවත් දියුණු ජාතියක් වන ඊශ්‍රායලය සතු අපූරු ගිනිඅවිවල බලයෙන් අදටත් ඔවුනට නොනැසී සිටීමට හැකියාව ලැබී ඇත. අද වන විට පලස්තීනුවන් මෙන් ම ඊශ්‍රායල්වරුන් ද දහසකට වැඩි ගණනක් මෙම ගැටුම හේතුවෙන් මිය ගොස් තිබේ. ලෝක බලවතා ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ සහය ලැබෙන්නේ ද ඔවුනට ය. වඩාත් සැලකිල්ලෙන් බලන කල ලෝක සිතියමේ ආගමානුකූල ව රටවල් බෙදී ඇති ආකාරය අනුව ඊශ්‍රායලය තවමත් සුරක්ෂිත ව තිබීම ම පුදුමයක් යැයි හැඟේ.
ඊශ්‍රායලය යනු මැද පෙරදිග පිහිටි කුඩා රටකි. මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති ඊශ්‍රායලයට ඊජිප්තුව, ජෝර්දානය, ලෙබනනය සහ සිරියාව මායිම් වේ. මිලියන 9කට වඩා වැඩි ජනගහණයක් සිටින ඊශ්‍රායල භූමියට යුදෙව්වන්, මුස්ලිම්වරුන් හා කිතුනුවන් එක හා සමානව පූජනීය ලෙස සලකනු ලබන වැදගත් පුරාවිද්‍යාත්මක හා ආගමික ස්ථාන රාශියක් අයත් වන අතර සාමකාමී හා ගැටුම්කාරී කාල පරිච්ඡේදයන් කිහිපයක් ම සහිත සංකීර්ණ ඉතිහාසයක් ඇත.
මුල් ඉතිහාසය
බයිබලයට අනුව ඊශ්‍රායෙලය යන වචනය පැමිණියේ ආබ්‍රහම්ගේ මුණුබුරා වූ ජාකොබ්ගෙන් ය. දෙවියන් වහන්සේ විසින් ඔහු “ඊශ්‍රායෙල්” ලෙස නම් කරන ලදී.
පසුව රජ වූ දාවිත් මෙම කලාපය පාලනය කළේ ය. ක්‍රි.පූ. 931 දී පමණ එය උතුර හා දකුණ වශයෙන් රාජධානි දෙකකට බෙදිණි. ක්‍රි.පූ. 722 දී අසිරියානුවන් විසින් උතුරු රාජධානිය ආක්‍රමණය කර විනාශ කරන ලදී.
ඉතිරි ශතවර්ෂ ගණනාව තුළ පර්සියානුවන්, ග්‍රීකයන්, රෝමවරුන්, අරාබිවරුන්, ෆාතිමිඩ්වරුන්, සෙල්ජුක් තුර්කිවරුන්, කුරුස යුද්ධ භටයන්, ඊජිප්තුවරුන්, මාමෙලූක්ස්, ඉස්ලාම්වාදීන් ඇතුළු බොහෝ ජාතීන් විසින් නූතන ඊශ්‍රායෙලය යටත් කොට ගෙන පාලනය කරන ලදී.
බැල්ෆෝර් ප්‍රකාශය
1517 සිට 1917 දක්වා මැද පෙරදිග බොහෝ ප්‍රදේශ සමඟ ඊශ්‍රායලය ද ඔටෝමාන් අධිරාජ්‍යයා විසින් පාලනය කරන ලදී.
එනමුත් පළමුවන ලෝක සංග්‍රාමය මැද පෙරදිග දේශපාලනය වෙනස් කළේය. 1917 වසරේ යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී, බ්‍රිතාන්‍ය විදේශ ලේකම්, ආතර් ජේම්ස් බැල්ෆෝර් පලස්තීනයේ යුදෙව් නිජබිමක් පිහිටුවීමට සහාය දැක්වීමේ ලිපියක් ඉදිරිපත් කළේය. එම “බැල්ෆෝර් ප්‍රකාශනය” අනුව බ්‍රිතාන්‍ය රජය පළමුවන ලෝක සංග්‍රාමයේ දී මිත්‍ර පාක්ෂිකයින්ට සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළේය.
1918 දී යුද්ධය අවසන් වන විට, වසර 400ක ඔටෝමාන් පාලනය ද අවසන් වූ අතර, මහා බ්‍රිතාන්‍යය විසින් නූතන ඊශ්‍රායලය, පලස්තීනය සහ ජෝර්දානය සිය පාලනය යටතට ගත්තේ ය. දෙවන ලෝක යුද්ධය අවසන් වී 1947 දී ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන තෙක් ම බ්‍රිතාන්‍යය එරට පාලනය කළේය.
යුදෙව්වන් සහ අරාබිවරුන් අතර ගැටුම
ඊශ්‍රායලයේ දීර්ඝ ඉතිහාසය පුරාම යුදෙව්වන් සහ අරාබි මුස්ලිම්වරුන් අතර ගැටුම් පැවතිණි. කණ්ඩායම් දෙක අතර ඇති සංකීර්ණතම සතුරුකම වූයේ ශුද්ධ වූ දේශය තමන්ට අයිති විය යුතු යැයි සිතීම ය.
යුදෙව්වන් හා මුස්ලිම්වරු ජෙරුසලම් නගරය පූජනීය යැයි සලකති. එයට අල්-අක්සා පල්ලිය, බටහිර ප්‍රාකාරය, පර්වතයේ දොරටුව සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ.
මෑත වසරවල ඇති වූ ගැටුම්වලින් බොහොමයක් කේන්ද්‍රගත වී ඇත්තේ පහත සඳහන් ප්‍රදේශ පාලනය කළ යුත්තේ කවුරුන්ද? යන්න තීරණය කර ගැනීමට ය.
1. ගාසා තීරය – ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර පිහිටි බිම් කැබැල්ලකි.
2. ගෝලාන් හයිට්ස් – සිරියාව සහ ඊශ්‍රායලය අතර තිබෙන පාෂාණමය සානුව.
3. බටහිර ඉවුර – ඊශ්‍රායලයේ හා ජෝර්දානයේ කොටසක් බෙදා වෙන් කරන ප්‍රදේශයකි.

සියොන්වාදී ව්‍යාපාරය
19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ දී යුදෙව්වන් අතර සියොන්වාදය නමින් සංවිධානාත්මක ආගමික හා දේශපාලන ව්‍යාපාරයක් බිහි විය.
පලස්තීනය තුළ යුදෙව් නිජබිමක් නැවත ස්ථාපිත කිරීමට සියොන්වාදීන්ට අවශ්‍ය විය. ඒ අනුව යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් පුරාණ ශුද්ධ භූමියට සංක්‍රමණය වී ජනාවාස ඉදි කළහ. 1882 සිට 1903 දක්වා කාලය තුළ යුදෙව්වන් 35,000ක් පමණ පලස්තීනයට සංක්‍රමණය වී තිබේ. තවත් 40,000ක් 1904 සිට 1914 දක්වා කාලය තුළ එම ප්‍රදේශයේ පදිංචි වූහ.
නාසි පාලන සමයේ හිංසා පීඩාවලට බියෙන් යුරෝපයේ හා වෙනත් තැන්වල ජීවත් වූ බොහෝ යුදෙව්වන් පලස්තීනයේ රැකවරණය ලැබූ අතර සියොන්වාදය වැළඳ ගත්හ. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු සියොන්වාදී ව්‍යාපාරය හරහා ස්වාධීන යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීම ඉක්මන් කෙරිණි.
පලස්තීනයේ අරාබිවරු සියොන්වාදී ව්‍යාපාරයට විරුද්ධ වූ අතර කණ්ඩායම් දෙක අතර ගැටලු දිගටම පැවතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස අරාබි ජාතිකවාදී ව්‍යාපාරයක් ද වර්ධනය විය.
නිදහස
1947 දී පලස්තීනය යුදෙව් සහ අරාබි රාජ්‍යයක් ලෙස බෙදීමේ සැලසුමක් එක්සත් ජාතීන් විසින් අනුමත කළ නමුත් අරාබිවරු එය ප්‍රතික්ෂේප කළහ.
1948 මැයි මාසයේ දී ඊශ්‍රායලය නිළ වශයෙන් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ යුදෙව් නියෝජිතයින්ගේ ප්‍රධානියා වූ ඩේවිඩ් බෙන් – ගුරියන් අගමැති ලෙස පත් කරවමිනි.
මෙම ඓතිහාසික සිදුවීම යුදෙව්වන්ගේ ජයග්‍රහණයක් ලෙස පෙනුණ ද, එය අරාබිවරුන් සමඟ ඇති වූ යුද්ධයේ ආරම්භය සනිටුහන් කළේය.
1948 අරාබි – ඊශ්‍රායල් යුද්ධය
ස්වාධීන ඊශ්‍රායලයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඊජිප්තුව, ජෝර්දානය, ඉරාකය, සිරියාව සහ ලෙබනනය යන අරාබි රටවල් පහක් වහා ම ඊශ්‍රායලය ආක්‍රමණය කළහ.
මෙයින් මුළු ඊශ්‍රායලය පුරාම යුද්ධයක් ඇති වූ නමුත් 1949 දී සටන් විරාම ගිවිසුමකට එළඹීමට හැකි විය. තාවකාලික ගිවිසුම අනුව බටහිර ඉවුර ජෝර්දානයේ කොටසක් බවට පත් වූ අතර ගාසා තීරය ඊජිප්තු භූමියක් බවට පත්විය.
1948 යුද්ධයෙන් පසු අරාබිවරුන් සහ යුදෙව්වන් අතර බොහෝ යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී ඇත. ඉන් සමහරක් මෙසේ ය.
1. සූවස් අර්බුදය – 1948 යුද්ධයෙන් පසු වසරවලදී ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර සබඳතා ශක්තිමත් විය. 1956 දී ඊජිප්තු ජනාධිපති, ගමාල් අබ්දෙල් නසාර් රතු මුහුද මධ්‍යධරණි මුහුදට සම්බන්ධ කරන වැදගත් ම ජල මාර්ගය වන සූවස් ඇළ සිය රටට අයිති කර ගත්තේ ය. ඊශ්‍රායලය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදාවන්ගේ සහාය ඇතිව ඔවුන්ට පහර දී, සූවස් ඇළ නැවත ලබා ගත්තේය.
2. දින හයේ යුද්ධය – 1967 වසරේ පුදුම සහගත ප්‍රහාරයක් ලෙස ආරම්භ වූ මෙම යුද්ධයේ දී ඊශ්‍රායලය දින හයකින් ඊජිප්තුව, ජෝර්දානය සහ සිරියාව පරාජය කළේය. අදාළ කෙටි යුද්ධය හරහා ඊශ්‍රායලය ගාසා තීරය, සීනයි අර්ධද්වීපය, බටහිර ඉවුර සහ ගෝලාන් හයිට්ස්හි පාලනය සියතට ගත්තේය.
3. යොම් කිප්පූර් යුද්ධය – 1973 ශුද්ධ වූ යොම් කිප්පූර්ගේ දිනයේ දී ඊජිප්තුව සහ සිරියාව ඊශ්‍රායලයට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කළහ. යුද්ධය නැවැත්වීම සඳහා එක්සත් ජාතීන් විසින් යෝජනාවක් සම්මත කරන තෙක් සටන පැවතිණි. මෙම සටනේ දී සිරියාව ගෝලාන් කඳුකරය නැවත අත්පත් කර ගැනීමට අපේක්ෂා කළ නමුත් එය අසාර්ථක විය. 1981 දී ඊශ්‍රායලය ගෝලාන් කඳුකරය ඈඳා ගත් නමුත්, සිරියාව එය දිගටම සිය භූමි ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශ කළේය.
4. ලෙබනන් යුද්ධය – 1982 දී ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කර පලස්තීන විමුක්ති සංවිධානය (පී.එල්.ඕ.) ඉවත් කළේය. 1964 දී ආරම්භ වූ මෙම කණ්ඩායම, පලස්තීනයේ විසූ සියලුම අරාබි පුරවැසියන් “පලස්තීනුවන්” ලෙස හැඳින්වූ අතර ඊශ්‍රායලය තුළ පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.
5. පළමු පලස්තීන ඉන්ටිෆඩාව – 1987 දී ගාසා තීරය සහ බටහිර ඉවුර ඊශ්‍රායලය විසින් අල්ලා ගැනීම පලස්තීන නැගිටීමකට හා සිය ගණනකගේ මරණයට හේතු විය. “ඔස්ලෝ සාම ගිවිසුම” හරහා ඉන්ටිෆඩාව (අරාබි වචනයේ අර්ථය “සොලවන්න” යන්නයි) අවසන් කෙරිණි. මෙයින් පසු පලස්තීන අධිකාරිය පිහිටුවා, ඊශ්‍රායලයේ සමහර ප්‍රදේශ අත්පත් කර ගනු ලැබිණි. 1997 දී ඊශ්‍රායල් හමුදාව බටහිර ඉවුරේ සමහර ප්‍රදේශවලින් ඉවත් විය.
6. දෙවන පලස්තීන ඉන්ටිෆඩාව – 2000 අවුරුද්දේ දී පලස්තීනුවෝ ඊශ්‍රායලයට මරාගෙන මැරෙන බෝම්බ සහ වෙනත් ප්‍රහාර එල්ල කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර ගණනාවක් පුරා රටවල් දෙක අතර ගැටුම් පැවතිණි. 2005 අවසන් වන විට සියලු හමුදා සහ යුදෙව් ජනාවාස ගාසා තීරයෙන් ඉවත් කිරීමේ සැලසුමක් තමන්ට ඇති බව ඊශ්‍රායලය හෙළි කළේ ය.
7. දෙවන ලෙබනන් යුද්ධය – 2006 දී ඊශ්‍රායලය ලෙබනනයේ වෙසෙන ෂියා ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන “හිස්බුල්ලාවරුන්” සමඟ යුද්ධයකට ගියේය. එක්සත් ජාතීන් මැදිහත් වී සිදු වූ සාකච්ඡා හරහා සටන් විරාමයක් දියත් කෙරුණු අතර, ආරම්භ වීමෙන් මාස කිහිපයකට පසු එම ගැටුම අවසන් විය.
8. හමාස් යුද්ධ – 2006 දී පලස්තීන බලය අත්පත් කරගත් සුන්නි ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන “හමාස්වරුන්” සමඟ ඊශ්‍රායලය නැවත නැවතත් ගැටුම්වලට සම්බන්ධ වී ඇත. වඩාත් වැදගත් ගැටුම් සමහරක් 2008, 2012 සහ 2014 ආරම්භයේ දී සිදු විය.
වත්මන් ඊශ්‍රායලය
ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර ගැටුම් තවමත් සුලභ ය. ප්‍රධාන භූමි ප්‍රදේශ බෙදී ඇති නමුත් සමහර ඒවාට කණ්ඩායම් දෙක විසින් ම හිමිකම් කියයි. නිදසුනක් වශයෙන්, දෙරට ම ජෙරුසලම ඔවුන්ගේ අගනුවර ලෙස සලකති.
සිවිල් වැසියන් ඝාතනය කෙරෙන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කණ්ඩායම් දෙක ම එකිනෙකාට දොස් පවරා ගනිති. ඊශ්‍රායලය විසින් පලස්තීනය තනි රාජ්‍යයක් ලෙස නිළ වශයෙන් පිළිගන්නේ නැත. එනමුත් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් 135කට වැඩි ප්‍රමාණයක් පලස්තීනය පිළිගනියි.
ද්වි – රාජ්‍ය විසඳුම
මෑත වසරවල දී රටවල් කිහිපයක් ම ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාම ගිවිසුම් ඇති කිරීම සඳහා ඉදිරිපත් වී තිබේ. බොහෝ අය රාජ්‍යයන් දෙකක් ඇතිකරලීමේ විසඳුමක් යෝජනා කර ඇති නමුත්, ඊශ්‍රායල්වරුන් මෙන් ම පලස්තීනුවන් ද තම තමතමන්ගේ දේශසීමාවල පදිංචි වීමට ඇති අපහසුතාව පිළිබඳ පැමිණිලි කර ඇත.
හිටපු ඊශ්‍රායල අගමැති, බෙන්ජමින් නෙතන්යාහු දෙරටේ ගැටුම විසඳා ගැනීම සඳහා සහාය පළ තිබූ නමුත්, ඔහුගේ ස්ථාවරය වෙනස් කරන ලෙස බලපෑම් එල්ල වී තිබිණි. පලස්තීන ප්‍රදේශවල යුදෙව් ජනාවාස ඇතිකරලීමට දිරිගැන්වීම සම්බන්ධයෙන් නෙතන්යාහු හට චෝදනා එල්ල විය. එනමුත් ඔහවිදිගින් දිගට ම රාජ්‍ය දෙකක් ඇති කර ගැනීමේ විසඳුමට සහාය දැක්වූයේ ය. වත්මන් අගමැති නෆ්තලී බෙනට් ද මෙම ගැටලුව විසඳා ගැනීමට උත්සාහ ගිනිමන් සිටියි. එනමුත් ඔහුට ද හමාස්වරුන්ගෙන් ලැබෙනුයේ ගල් මුල් පමණි.
ඇමරිකා එක්සත් ජනපදය යනු ඊශ්‍රායලයේ සමීපතම සගයන්ගෙන් එකෙකි. 2017 මැයි මාසයේ සිදු කෙරුණු ඊශ්‍රායල සංචාරයක දී එවකට එක්සත් ජනපද ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් නෙතන්යාහුගෙන් ඉල්ලා සිටියේ පලස්තීනුවන් සමඟ සාම ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස යි. 2018 මැයි මාසයේ දී එක්සත් ජනපද තානාපති කාර්යාලය ද “ටෙල් අවිව්” සිට “ජෙරුසලමට” මාරු කෙරිණි. පලස්තීනුවන් විසින් එය වටහා ගෙන තිබුණේ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළි ගැනීමට එක්සත් ජනපදය සිදු කළ සහය දැක්වීමක් වශයෙනි. ගාසා – ඊශ්‍රායල දේශ සීමාවේ දී පලස්තීනුවන් ඊට විරෝධය දැක්වූ අතර, ඊශ්‍රායල් හමුදාව විරෝධතාවට මැදිහත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස විරෝධතාකරුවෝ දුසිම් ගණනක් මිය ගියහ.
අතීතයේ දී ඊශ්‍රායලය අනපේක්ෂිත යුද්ධවලින් හා ප්‍රචණ්ඩත්වයෙන් පීඩා වින්දේ ය. එහෙයින් බොහෝ ජාතික නායකයෝ මෙන් ම පුරවැසියෝ ද හෙට දිනයේ දීවත් තමන් හට සුරක්ෂිත, ස්ථාවර රටක් බිහි වනු ඇති බවට අපේක්ෂා කරති.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්