Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාව පුරා කළු පැල්ලම් ඇති කරවන කළු දිලීර රෝගය

මේ වන විට කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි ලෙස බැට කමින් සිටින ඉන්දියාව තුළ කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් (Mucormycosis) යනුවෙන් තවත් රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට සාක්ෂි ලැබී තිබේ. රටේ ප්‍රදේශ කිහිපයක් පුරා මෙම කළු දිලීර රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.

මෙය ඉතා දුර්ලභ රෝගයකි. එනමුත් මාරාන්තික ආසාදන ඇති වීමේ ප්‍රවණතාවක් රෝහල් තුළින් වාර්තා වී තිබේ. එහෙයින් රෝහල්ගත කෙරෙන සියලු කොවිඩ් රෝගීන්ගේ ශ්ලේෂ්මල පටල හරහා කළු දිලීර රෝගයේ ලක්ෂණ ද සොයා බලන ලෙස රජය විසින් වෛද්‍යවරුන් වෙත දැනුම් දී තිබේ.

පසුගිය සතියේ පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවක දී ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (අයි.සී.එම්.ආර්.) පවසා තිබුණේ තමන් මේ වන විට කොවිඩ් රෝගීන්ගේ එක් පැත්තක නාසය අවහිර වීම, එක් පැත්තක හිසරදය වැනි මියුකෝමයිකෝසිස්හි රෝග ලක්ෂණ පිළිබඳ සොයා බලමින් සිටින බවයි. මුහුණේ ඉදිමීම හෝ හිරිවැටීම, දත් කැක්කුම සහ දත් බුරුල් වීම ආදිය ද මෙම දිලීර රෝගේ ලක්ෂණ විය හැකි ය.

කළු දිලීර රෝගයේ පැතිරීම ඉහළ යන්නේ ඇයි?

සෙවන් ස්ටාර් රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය මොහාන් නර්කාර් පැවසුවේ දියවැඩියා රෝගීන් සහ අනෙකුත් ප්‍රතිශක්තිකරණ ඌණතා සහිත රෝගීන් මියුකෝමයිකෝසිස් වැනි දිලීර ආසාදනවලට ගොදුරු වීමට වැඩි අවදානමක් ඇති බවයි.

“බොහෝ කෝවිඩ් රෝගීන් පාලනයකින් තොරව සීනි භාවිත කරනවා. ඒ වගේම නිවෙස් තුළට වී ගොඩ වෙදකම් කර කර ඉන්නවා.  සමහර අයට කිසිම සුදුසුකමක් නැති වෛද්‍යවරුන් උපදෙස් දීලා තියෙනවා. රෝගියාගේ තත්ත්වය පරීක්ෂා නොකර ඖෂධ ලබා දීම හානිකර යි. සමහරු සමාජ මාධ්‍ය ජාලාවලින් උපදෙස් අරගෙන හොරෙන් තමන්ගෙ නිවෙස්වලට වෙලා ප්‍රතිකාර කර ගෙන තියෙනවා.” වෛද්‍ය නර්කාර් පැවසීය.

බොහෝ අය තම හිතුමනාපයට නිවෙස් තුළ දී ඔක්සිජන් සිලින්ඩර භාවිත කර ඇත්තේ අසල පිහිටි දිය පහරේ හෝ නළ ජලය සමඟ වන අතර එමඟින් වැඩි වශයෙන් මියුකෝමයිකෝසිස් ආසාදනය සිදු වී තිබිණි. එසේම, අපිරිසිඳු ජීවන රටාව සහ අපිරිසිඳු වාතාවරණය ද සෞඛ්‍ය සංකූලතා සහ රෝග ආකර්ෂණය කර ගැනීමට හේතු විය හැකිය. නවතම සොයා ගැනීම්වලින් පෙනී යන්නේ මෙම දිලීරය පස තුළ ද අඩංගු වී තිබෙන බව යි.

කළු දිලීර ඉතා සුලභ වන අතර බොහෝ විට කුණු වූ එළවලු මත දක්නට ලැබෙන බව තෙලන්ගානා ප්‍රාන්තයේ, ආයුෂ් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වෛද්‍ය වී. එස්. අලගු වර්ෂිනි මහතා පවසයි. “මියුකෝමයිකෝසිස් ඉතා බරපතල ආසාදනයක්. නමුත් වාසනාවකට මෙන් එය ප්‍රතිකාර මඟින් සුව කළ හැකි අතර පහසුවෙන් වළක්වා ගැනීමට ද හැකි ය. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු යටතේ නිසි ආකාරයෙන් සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රියාවලියක් හරහා රෝගියාගේ සෞඛ්‍යමය ප්‍රගතිය වඩා වේගවත් කළ හැකිය.”

කෙසේ වුවත් මේ වන විට ඉන්දියාව තුළ පැතිර යන කළු දිලීර රෝගය ද වසංගත රෝගයක් වශයෙන් වර්ගීකරණය කර තිබේ. අද වන විට කර්ණාටක, උත්තරාකණ්ඩ්, තෙලන්ගානා, මධ්‍ය ප්‍රදේශ්, ආන්ද්‍රා ප්‍රදේශ්, හර්යානා සහ වෙනත් බොහෝ ප්‍රදේශවලින් කළු දිලීර රෝගීන් වාර්තා වී තිබේ.

කළු දිලීරය හා මරණ අනුපාතය.

මියුකෝමයිකෝසිස් රෝගය සඳහා ඉතා ඉහළ මරණ අනුපාතයක් දක්නට ලැබේ. එහෙයින් කොවිඩ් සමඟ සටන් කිරීම සඳහා සියලු සම්පත් යොදවා ඇති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කළු දිලීර රෝගය අනවශ්‍ය බරක් බවට පත් ව ඇත.

මියුකෝමයිකෝසිස් යනු මැලේරියාව මෙන් ජනතාව අතර දැනුවත් භාවයක් සහිත රෝගයක් නොවේ. එම නිසා එහි රෝග ව්‍යාප්තිය තවමත් සිතියම් ගත කර නොමැති අතර රෝගීන්ගේ දත්ත ද නිසි ලෙස එකතු කරගෙන නොමැත. 

මේ වන විට තහවුරු වෙමින් පවතින්නේ කොවිඩ් රෝගය හේතුවෙන් හට ගන්නා වකුගඩු ආබාධ, ස්නායු ආබාධ හා ආඝාතය වැනි දරුණු අතුරු ආබාධ අතරට කළු දිලීර රෝගය ද එක් විය හැකි බව යි.

කළු දිලීර සඳහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?

කොවිඩ් රෝගීන් අතර මෙන් ම සුවය ලැබූ රෝගීන් අතර ද මෙම රෝගය දක්නට ලැබෙන බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එපමණක් නොව, දියවැඩියා රෝගයෙන් පෙළෙන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන ඕනෑම අයෙකු මෙම රෝගයෙන් ප්‍රවේශම් විය යුතුය.

අදාළ දිලීර ආසාදනය නාසය හා ඇස් හරහා පැතිරී මොළයට ළඟා විය හැකි බැවින් ප්‍රතිකාර සඳහා විශේෂඥයෙකුගේ දැනුම අවශ්‍ය වේ.

මේ සඳහා සිදු කෙරෙන ප්‍රතිකාරය වනුයේ ශල්‍යකර්මයක් හරහා සියලු මියගිය හා ආසාදිත පටක ඉවත් කිරීම යි. සති 4 සිට 6 දක්වා සිදු කෙරෙන ඖෂධ ප්‍රතිකාරයක් ද තිබේ. ඇතැම් රෝගීන් හට මේ හේතුවෙන් සිය දෑස් පවා අහිමි විය හැකි ය.

රෝගය ශරීරයේ විවිධ කොටස්වලට බලපාන බැවින් ප්‍රතිකාර සඳහා ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, අභ්‍යන්තර වෛද්‍ය විශේෂඥයින්, ස්නායු විශේෂඥයින්, ඊඑන්ටී විශේෂඥයින්, අක්ෂි වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් ආදී බොහෝ දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අවශ්‍ය වේ.

විශේෂයෙන් දියවැඩියාව පාලනය කිරීම හරහා මෙම දිලීර රෝගය ඇති වීම වළක්වා ගත හැකි ය. එබැවින් දියවැඩියාව සහිත කොවිඩ් රෝගීන් හට උපරිම සැලකිල්ලක් දැක්වීමට ඉන්දියානු රජය උත්සාහ කරමින් සිටියි.

කළු දිලීර රෝගීන් සඳහා ප්‍රතිකාර.

ආසාදිත සෑම රෝගියෙකු වෙනුවෙන් ම “ඇම්ෆොටෙරිසින් බී ලිපොසෝමල්” නමැති ඖෂධයේ එන්නත් කුප්පි 60ක් අවශ්‍ය ය. ඒ සඳහා එක් අයෙකු වෙනුවෙන් රුපියල් 5,000 – 6,000 අතර මුදලක් වැය වේ.

ඖෂධ හිඟය

කළු දිලීරය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධවල හිඟය පිළිබඳ කරුණු විමසන ලෙස දිල්ලි මහාධිකරණය රජයෙන් ඉල්ලා තිබෙන ඉවට වාර්තා වේ.

මහාධිකරණය කියා සිටින්නේ, අදාළ ඖෂධය දේශීය ව නිපදවීමට ඇති බාධකය කුමක්ද? යන්න සහ හදිසියේම ඖෂධ හිඟයක් ඇති වන්නේ කෙසේ ද? යන්න විස්තර කිරීමට රජයට සිදුවනු ඇති බව යි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය වන බී.1.1.7 ගෝලීය අවධානයට ලක්වූවක් ලෙස වර්ගීකරණය කර තිබේ. ඒ හරහා පැතිරෙන කළු දිලීර රෝගය ද ඒ හා සමානව ම අවධානයට ලක් විය යුතු බව පෙනේ. ඒ අතර ම ඇතැමුන්ගේ අදහස වන්නේ ආයුර්වේදීය වෛද්‍ය ප්‍රතිකාර හරහා කළු දිලීර රෝගය පමණක් නොව සම්පූර්ණ කොවිඩ් වෛරසය ද සාර්ථක අන්දමින් සුව කළ හැකි වන බව යි. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කය තුළින් ද කළු දිලීර රෝගයෙන් පෙළෙන ආසාදිතයින් හමු වී තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author