Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාවේ අර්බුදය වළක්වා ගැනීමට මෝදිට හැකියාව තිබුණා ද?

පසුගිය අප්‍රේල් 17 වන දින මුඛ ආවරණයක්වත් පැලඳ නොගත් අගමැති නරේන්ද්‍ර මෝදි, එලෙස ම මුඛ ආවරණ රහිත ව සිටි මැතිවරණ ආධාරකරුවන් පිරිසක් ඉදිරියේ කතා කළේ ය. “රැලියකට සහභාගි වූ මෙතරම් විශාල ජනකායක් මින් පෙර මා දැක නැත.”

ඒ වන විට ඔහුගේ රට මානුෂීය අර්බුදයක අද්දර විය. එදින ඉන්දියාවේ නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 261,000කට වඩා වාර්තා වී ඇත. එය වූ කලි සමස්ත වසංගතය තුළ බොහෝ රටවල්වලින් වාර්තා වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකි.

රැලියෙන් පසු තත්ත්වය නරක අතට හැරිණි. අප්‍රේල් 22 සිට සෑම දිනක ම රට තුළ නව රෝගීන් 300,000කට වඩා වාර්තා විය. එම ගණන ගෝලීය වශයෙන් වාර්තා වන දෛනික රෝගීන්ගෙන් අඩක් පමණක් බව පෙනිණි. මේ වන විට නවදිල්ලි අගනුවර ආදාහනාගාරයක් වී අවසාන ය. රෝහල් පිරී ඇති අතර ඔක්සිජන් නොමැතිකමින් රෝගීහු මිය යති. අද වන විට මෙම තත්ත්වය ස්වල්ප වශයෙන් අඩු වී තිබුණ ද, මිය යාම නැවතී නැත. වාර්තා වන පරිදි සම්පූර්ණ එන්නත ලබා දී ඇත්තේ ජනගහණයෙන් 2%කට පමණි. 

මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක, නරේන්ද්‍ර තනේජා පිළි ගත්තේ ඉන්දියාවේ දෙවන රැල්ල පිළිබඳ වගකීම ප්‍රධාන වශයෙන් රජයට හිමිවන බව යි. කෙසේ වෙතත් මෝදිගේ කක්ෂයේ සිටින අනෙක් අය තර්ක කරන්නේ කලාපීය අගුලු දැමීම (ලොක්ඩවුන්) සහ ඔවුන්ගේ සෞඛ්‍ය සේවා පද්ධති හරි හැටි කළමනාකරණය නොකිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයන් වගකිව යුතු බව යි. පසුගිය සති අන්තයේ සෞඛ්‍ය අමාත්‍ය, හර්ෂ් වර්ධන් ද පැවසුවේ රෝහල්වල ඔක්සිජන් හිඟය, සැපයුමෙහි නොව බෙදා හැරීම පිළිබඳ ගැටලුවක් බවත් එය ප්‍රාන්ත රජයන්ගේ වගකීම බවත් ය. කෙසේ නමුත් ඉන්දියාවේ බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ වගකීම පැවරී ඇත්තේ මෝදි සහ ඔහුගේ හින්දු ජාතිකවාදී ආණ්ඩුව වෙත බව යි.

“රජය පමණක් නොව අප සියල්ලන් ම අසමත් වී තිබේ” යැයි විපක්ෂයේ එනම්, ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම්, ප්‍රියංකා ගාන්ධි වාද්‍රා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය. “විපක්ෂයක් විදිහට අපට එකට එකතු වෙලා මේ රෝගය පාලනය කරන්න පුළුවන්. ඒත් ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන් නායකත්වයක්වත් අපේ රටට නෑ.”

මෝදිගේ වසංගත අරමුදල.

වසංගත තත්ත්වය සමනය කිරීමට තමා උර දෙන බව පෙන්වීමට මෝදි උත්සාහ කරමින් සිටියි. එන්නත ලබාගත් ඉන්දියානුවන්ට ඔහුගේ මුහුණ මුද්‍රණය කර ඇති සහතිකයක් ලැබේ. පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ස්වේච්ඡා දායකත්වය ලබා දීම සඳහා “කොවිඩ් සහන අරමුදල” (පී.එම්.) පිහිටුවා ඇත. එය අගමැතිවරයාගෙන් පුරවැසියන්ට ලැබෙන ආධාර සහ හදිසි අවස්ථා සහන අරමුදලෙහි සංක්ෂිප්තයකි. එහි නිළ වෙබ් අඩවියේ ද මෝදිගේ මුහුණ තිබේ.

සියලු ධනාත්මක මූලාරම්භයන් සමඟ ඔහුගේ නම බැඳී ඇත. පළමු රැල්ල මැඬ පැවැත්වීමට හැකි වීමත් ස්වදේශික එන්නතක් නිපදවා ගැනීමට හැකි වීමත් මෝදිගේ ජයග්‍රහණයක් බවට පත් විය. එන්නත් මාත්‍රා මිලියන 66කට වඩා අපනයනය කළ ඉන්දියාව, වෙනත් රටවලට උපකාර කිරීම සඳහා ද ඉදිරිපත් විය.

“ඉන්දියාව කොරෝනා වෛරසය ඵලදායී ලෙස පාලනය කිරීම මඟින් ලෝකය පමණක් නොව සමස්ත මනුෂ්‍යත්වය ම විශාල ඛේදවාචකයකින් බේරාගෙන තිබේ.” යැයි ජනවාරි 28 වන දින ලෝක සමුළුවේ දී මෝදි පුරසාරම් දෙඩීය.

මෙයින් පසු ඉන්දියාවේ බොහෝ දෙනෙකුට වසංගතය අවසන් වී ඇති බවක් දැනුණු හෙයින් එන්නත් ලබා ගැනීම මන්දගාමී විය. ඉන්දියාවේ බිලියන 1.3ක ජනගහණයෙන් මිලියන 300ක් පමණ තමන්ට වන්නට යන්නේ කුමක්දැයි දැන සිටියේ නැත. එවෙලෙහි වසංගතය බොහෝ දුරට අවසන් වූ බව සැබෑවකි. එනමුත් පෙබරවාරි මාසය වන විට නැවතත් රෝගීන් සංඛ්‍යාව උත්සන්න වීමට පටන් ගෙන තිබුණි. කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂය තවමත් කියා සිටියේ ඉන්දියාව මෝදිගේ දක්ෂ, සංවේදී, කැපවූ සහ දූරදර්ශී නායකත්වය යටතේ කොවිඩ් පරාජය කළ බව යි.

මාර්තු 7 වන දින රට තුළ දිනපතා නව රෝගීන් 18,000ක් පමණ වාර්තා වූ විට සෞඛ්‍ය අමාත්‍ය, වර්ධන් පැවසුවේ ඉන්දියාව “කොවිඩ් -19 වසංගතයේ අවසන් අදියරෙහි” සිටින බවයි. එක් දිනක් තුළ ආසාදිතයින් 81,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමට දිනකට පෙර එනම්, මාර්තු 30 වන දින වර්ධන් පැවසුවේ “තත්වය පාලනය කර ඇත” යනුවෙනි.

එහෙත් රෝගයේ විකෘති තත්ත්වයන් මාස ගණනාවක් තිස්සේ සංසරණය වෙමින් පැවති අතර ඉන්දියාවේ වසංගත රෝග විද්‍යාඥයෝ තවත් රැල්ලක් පැමිණෙන බව දැන සිටියහ. දෙවන රැල්ල නොවැළැක්විය හැකි වුවත්, එහි ප්‍රමාණය සෑම කෙනෙකුම මවිතයට පත් කළ බව නවදිල්ලියේ, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යාඥයෙකු හා වසංගත රෝග විද්‍යාඥයෙකු වන රාමනන් ලක්ෂ්මනාරායන් පවසයි.

ආසියානු දේශපාලන විශේෂඥ, ප්‍රදීප් තනේජා පැවසුවේ අඩු රෝගීන් සංඛ්‍යාවක් සිටි වඩා දියුණු රටවල් හා වඩා ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ඇති රටවල් පවා අරගලයක යෙදී සිටියදී ඉන්දියාව සාර්ථක වී ඇතැයි සිතීමට තරම් මෝදි උඩඟු වූ බව යි.

දෙවන රැල්ලේ වේදනාව

ඉන්දියාවේ රෝගය පැතිරීම වේගයෙන් සිදුවන බව පැහැදිලි වන විට මෝදි බොහෝ දුරට නිහඬ ව සිටියේය. එනමුත් සමහරුන් අපේක්ෂා කළ පරිදි රට ම එක වර වසා දැමුණේ නැත. පසුගිය මාසයේ පැවති ජාතික දේශනයක දී ඔහු පෙනී සිටියේ රට අඟුළු නොදැමීම වෙනුවෙනි.

මෝදිගේ අකාර්යක්ෂමතාව කෝපයේ රැල්ලක් ඇති කළ අතර ට්විටර් වැනි වෙබ් අඩවිවල #ModiMustResign සහ #ModiMadeDisaster වැනි හෑෂ් ටැග් බෙදා හැරිණි. ඉන්දියානු වෛද්‍ය සංගමයේ උපසභාපති, නව්ජොට් ඩහියා මෝදි හැඳින්වූයේ “දේශපාලන පෙළපාලි පැවැත්වීමට සහ මිලියන ගණනක් බැතිමතුන්ට උතුරු ඉන්දියාවේ හරිද්වාර් වෙත වන්දනාවේ යාමට ඉඩ දුන් අදූරදර්ශී පාලකයෙකු” ලෙස ය. පසුගිය අප්‍රියෙල් 12 වන දින ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ, හරිද්වාර්හි, හින්දු ආගමේ අතිශයින්ම පූජනීය වන්දනා චාරිකාවලින් එකක් වන “කුම්බි මේලා” සමයේ දී නිරුවතින් ගංගා නම් ගඟේ ගිලී ස්නානය කළ දහස් ගණනක් මිනිසුන් දක්නට ලැබිණි.

“ජනතාව බලාපොරොත්තු වන්නේ තමන්ගේ භාරකාරත්වය රජය විසින් ගනු ඇති බවත්, සියලු දේ ඔවුන් බලා ගනු ඇති බවත් ය. නමුත් ඉන්දියානු රජය ක්‍රියා විරහිත වී ඇත.” ප්‍රදීප් තනේජා පවසයි.

ඒ අතරතුර අදටත් මේ සියලු ව්‍යසන නොතකා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෝ රට පුරා රැලි පවත්වමින් සිටිති.

2020 මාර්තු 24 වන දින මෝදි පෙර නොවූ විරූ ලෙස රටපුරා අගුලු දමා ඇති බව නිවේදනය කරන විට ඉන්දියාව තුළ වාර්තා වී තිබුණේ රෝගීන් 519ක් පමණි. බස්රථ සහ දුම්රිය නවතා දමන ලදී. ප්‍රාන්ත හරහා ගමන් තහනම් කරන ලද අතර සිල්ලර බඩු මිළදී ගැනීමට හැර බොහෝ දෙනෙකුට නිවසින් පිටතට යාමට අවසර නොලැබුණි. සමහරු එය ලෝකයේ ක්‍රෑරතම අගුලු දැමීම ලෙස හැඳින්වූහ.

අදාළ අගුලු දැමීම රටේ සමහර ප්‍රදේශවල මාස ගණනක් තිස්සේ පැවතිණි. සැප්තැම්බරයේ දී තහනම අවසන් කෙරුණ ද එයින් ඉන්දියාවේ දෛනික වැටුප් කම්කරුවන් මිලියන ගණනකට රිදිණි. 2020 වසරේ දෙවන කාර්තුවේ දී රටේ ආර්ථිකය වාර්තාගත ලෙස 24%කින් අඩු වූ අතර දළ දේශීය නිෂ්පාදිතය 6.9%කින් අඩු වී ගියේය.

මෙවර මෝදි ඒ වෙනුවට “ක්ෂුද්‍ර බහාලුම් කලාප” සාදා තිබේ. එනම් කලාපයෙන් කලාපයට අගුලු දැමීම ය. ඒවා ක්‍රියාත්මක කරන්නේ කවදා ද? සහ කෙසේ ද? යන්න තීරණය කිරීම ප්‍රාන්ත රජයට පැවරී ඇත. මේ වන විට, අවම වශයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත අටක් කිසියම් ආකාරයකින් අගුලු දමා ඇති අතර, කර්ණාටක සහ ගුජ්රාට් ප්‍රාන්තවල ඇඳිරි නීතියත් නවදිල්ලියේ පූර්ණ අගුලු දැමීමකුත් දක්නට ලැබේ.

කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙකු වන රජීව් සදනාන්දන් පැවසුවේ එයට හේතුව සරල බවය. “අවසන් වරට සිදු කළ අගුලු දැමීම අසාර්ථක බව හොඳින් ම වැටහී ගියේ ය. එහි දී විශාල ආර්ථික පිරිවැයක් දැරීමට සිදු වූ අතර දුප්පතුන්ට දුක් විඳීමට සිදු විය.”

කෙසේ වුවත් ඉහත කරුණු පමණක් නොව පසුගිය මාසය තුළ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරළ, තමිල්නාඩු යනාදී ප්‍රාන්තවල සහ පුදුචෙරි යූනියන් ප්‍රාන්තවල පැවති ව්‍යවස්ථාදායක මැතිවරණ ද ඊට හේතුවක් විය හැකි ය. ඉන් දෙකක් භාරතීය ජනතා පක්ෂයට අයත් වන අතර එකක් විපක්ෂයට සමීප ව තරඟ කරන රාජ්‍යයකි. භාරතීය ජනතා පක්ෂය දිගින් දිගටම පෙළපාලි පවත්වන්නේ මන්දැයි ඇසූ විට පක්ෂයේ ප්‍රකාශක කියා සිටියේ ඉන්දියාවේ “ස්වායක්ත මැතිවරණ කොමිසම” සියලු මැතිවරණ කරගෙන යාමට ඉඩ දී ඇති බව යි. එනමුත් ඔවුනට රැස්වීම් සීමා කිරීම සහ පණිවුඩ යැවීම හැරුණු විට රට හරහා ගමන් කිරීම සීමා කළ හැකිව තිබිණි.

සූදානමක් නොමැතිකම

මේ වසර ආරම්භයේ දී ඉන්දියාව සාපේක්ෂව සන්සුන් කාල පරිච්ඡේදයක් භුක්ති විඳිමින් සිටිය දී, රට කොවිඩ් -19 සමඟ තවත් සටනකට සූදානම් කරමින්, අනාගතයේ දී මතු විය හැකි සෞඛ්‍යාරක්‍ෂක හිඩැස් පියවා ගැනීමට මෝදිට අවස්ථාව තිබිණි. වඩා හොඳ සෞඛ්‍ය සේවා පද්ධති ඇති වෙනත් රටවල් විවිධ රැලි අත්විඳ ඇති බව දැන සිටියද වෙනත් රැල්ලකට සූදානම් නොවීම රජයේ නොසැලකිල්ල බව ප්‍රදීප් තනේජාගේ අදහස යි.

විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් නොතැකූ එක්සත් ජනපදයට හා එක්සත් රාජධානියට ද දෙවන රැල්ලෙන් දැඩි ලෙස පහර වැදී ඇත. එක්සත් ජනපදයේ, ධවල මන්දිරයේ වෙළඳ උපදේශක, පීටර් නවරෝ පැවසුවේ පසුගිය ජුනි මාසයේ සිට ඔවුන් තොග පුරවමින් දෙවන රැල්ලකට සූදානම් වූ බවයි. එනමුත් එය ද ප්‍රමාණවත් නොමැති බව පෙනේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී රෝහල්වල ඔක්සිජන් හිඟය පියවන බවට නිලධාරීන් පොරොන්දු වී ඇත ද නොවැම්බර් මාසය වන තෙක් රජය ඊට පියවර ගන්නා බවක් නොපෙනුණි. රටේ ඔක්සිජන් සැපයුමට වඩා මැතිවරණ ප්‍රචාරක රැලි මෝදිට වැදගත් වූ බව පෙනිණි.

හිටපු කේරළ සෞඛ්‍ය නිලධාරි, සදානන්දන් පැවසුවේ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල වෛරසය පැතිරීම පිළිබඳව සොයා බැලීමට තරම් ප්‍රමාණවත් නිරීක්ෂණ පද්ධතියක් නොමැති බවයි. “බොහෝ වසංගත අවස්ථාවල දී මේ බව අප දැක ඇති නිසා සිදු වී ඇති දේ ගැන මම පුදුම නොවෙමි,” ඔහු සඳහන් කළේය.

සියල්ල මෝදිගේ වරද ද?

කෙසේ වෙතත්, ඉන්දියානු රජය තුළ “සූදානම නොමැතිකම” පිළිබඳ විවේචන මෝදිට පමණක් එල්ල නොවන බව පෙනේ. මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන, හර්ෂ් මැන්ඩර් පවසන පරිදි, ඉන්දියාව දශක ගණනාවක් තිස්සේ මහජන සෞඛ්‍ය පද්ධති “සාගින්නකින්” පෙළී තිබේ. ඔවුන් සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන්නේ 3.5%ක් පමණි. මෙම ගැටලුව පවතින්නේ මෝදි බලයට පත්වීමට බොහෝ කලකට පෙර සිට ය.

විවේචකයන්ට නම් රාජ්‍ය නායකයාට දොස් පැවරිය හැකි ය. එනමුත් අවසානයේ දී මෝදි ඉන්දියාවේ වසංගත ජයග්‍රහණයන් සඳහා ගෞරවය ලබා ගැනීමට යන්නේ නම්, එහි වසංගත දෝෂ සඳහා ද ඔහු වගකීම ගත යුතු ය.

මෝදිට ලැබෙන අසාමාන්‍ය ජනප්‍රියතාවෙන් අදහස් වන්නේ ඔහුගේ ක්‍රියාවන්ට බලයක් ඇති බවය. එබැවින් තමා මුඛ ආවරණය ගලවා කතා කරන විට රට පුරා සිටින ඔහුගේ අනුගාමිකයන් මිලියන ගණනකගේ ආවරණ ද ගැලවෙන බව මෝදි දැන සිටිය යුතු විය. මෙම වසර ආරම්භය වන විට ම ඉන්දියාවේ බොහෝමයක් මුඛ ආවරණ පැලඳීම නැවැත්වූ අතර සමාජ දුරස්ථ පියවරයන් ද අත්හැර දැමූහ.

ඉන්දියාව තුළ ලොව දකින දරුණු දර්ශන මෝදිගේ කීර්ති නාමයට කැළලක් වේදැයි සිතිය යුතු නැත. මීළඟ මහ මැතිවරණයට තව වසර තුනක් ඉතිරි ව ඇති අතර අද වන තෙක් මෝදිට පැහැදිලි අභියෝගකරුවෙකු නොමැත. එනමුත් බුද්ධිමත් ඉන්දියානුවන් ස්වල්පදෙනෙකු හෝ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනු ඇති බව මෝදි සිතිය යුතු ය. 

“ඉන්දියාව විහින් පත් වුණු ව්‍යසනය සම්බන්ධයෙන් කිසිදු තනි පුද්ගලයෙකුට දොස් පැවරිය නොහැකිය. නමුත් ඔබ රටේ අගමැති නම්, පැහැදිලිවම මූලික වගකීම ඔබ මත පැටවේ,” තනේජා පවසයි.

දිල්ලිය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන අසීම් ​​අලි පවසන පරිදි මෝදි පිළිබඳ විවේචන බොහෝ විට ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන සාන්තුවරයන් ලෙස පෙනී සිටින්නන්ගේ කුමන්ත්‍රණයක් විය හැකි ය. මන්දයත් ඔහු 2019 දී සිය දෙවන පස් අවුරුදු ධූර කාලය සඳහා නැවත තේරී පත් වූයේ ඉහළින් ම වන හෙයිනුත්, ජනගහණයෙන් 80%ක් හින්දු භක්තිකයන් සිටින රටක, ඔහුගේ හින්දු ජාතිකවාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා විශාල ජනවරමක් ලැබී ඇති හෙයිනුත් ය. දිල්ලිය එක ම මිනී වළක් ව තිබියෙ දී ඉහළ නිළධාරීන් මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ කෙසේ ද? යන්න සිතා ගත නොහැකි ය.

ඉන්දියාව පුරා ජනයා වෛරසයට එරෙහිව සටන් කරන විට දේශපාලනඥයන් තවමත් පෙළපාලි පවත්වමින් සිටීම අතිශය අමානුෂික බවත් මෝදිගේ රජය “නිර්දය,” “බිහිරි” සහ “සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු එකක්” බවත් වොෂිංටන් පෝස්ට් තීරු ලිපි රචක බර්කා දත් විස්තර කරයි. ඇගේ පියා ද කොවිඩ් හේතුවෙන් මිය ගොස් තවමත් ගත ව ඇත්තේ දින කිහිපයකි. සෞඛ්‍ය සේවා පද්ධතිය පැහැදිලිවම කඩා වැටී ඇති බව ඇය පවසයි. නමුත් එය වෛද්‍යවරුන්ගේ, රෝහල්වල හෝ පෙරටුගාමී සේවකයින්ගේ වරදක් නොවේ.

“දෙවන රැල්ල සඳහා නිශ්චිත සැලැස්මක් සකස් කිරීමට නොසිතූ රජය හේතුවෙන් අප අසමත් වී ඇත,” බර්කා දත් පවසන්නී ය. “මිය යන දහස් ගණනට වග කිවයුත්තේ පවතින රජය නොවේ නම් වෙන කවුද?” ඇය සියල්ලන්ගෙන් අසා සිටින්නී ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි 

About The Author