Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් ලක්ෂ 7කට ඡන්දය අහිමි ද?

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රථම ඇරඹි ජනාධිපතිවරණ උණුසුම තවත් තීව්‍ර කරමින් පසුගිය සතියේ දී මැතිවරණ කොමිසම විසින් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කරන ලදි. ඒ අනුව මේ වන විට අපේක්ෂකයන් කිහිපදෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරී ඇති අතර, බොහෝ අපේක්ෂකයන් ජනාධිපතිවරණයටත් ප්‍රථම ආරම්භ කළ සිය පූර්ව ප්‍රචාරක කටයුතු තවත් පුළුල්ව කරගෙන යමින් පවතියි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ජනතාව වෙත පිහිටා ඇති අතර, එයට පාලකයන් තෝරා පත් කරගැනීම සඳහාවන ඡන්ද අයිතිය ද ඇතුළත් වේ. නමුත් ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඡන්ද බලය හිමි සැලකිය යුතු ඡන්ද හිමියන් සංඛ්‍යාවක් මැතිවරණවල දී අත් හැරෙන බව ඔබ දැන සිටියා ද?

මැතිවරණවල දී අත හැරෙන ඡන්දදායකයන්

මැතිවරණ දිනයක දී සියලු පුරවැසියන් තමා ලියාපදිංචි වී සිටින ඡන්ද බලප්‍රදේශයේ තමාට අදාල ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම වසර ගණනාවක් තිස්සේ පවතින පොදු ක්‍රමවේදයයි. එයින් බැහැරව, මැතිවරණ රාජකාරී සඳහා සහභාගීවන රාජ්‍ය සේවකයන්ට, පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට තැපැල් ඡන්ද භාවිත කිරීමේ වරප්‍රසාදය හිමිව තිබේ. ඔවුන්ට සිය රාජකාරී අතරතුර නැවත සිය ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අපහසුව සලකා මෙලෙස පූර්ව ඡන්ද ක්‍රමයක් ඔවුන්ට හඳුන්වා දී තිබේ.

නමුත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ පෙර සඳහන් කළ පරිදි මැතිවරණ රාජකාරීවලට අදාළ රාජ්‍ය සේවකයන්ට පමණි. නමුත් මෙම ක්‍රමයට හසු නොවන, ඡන්දය පැවැත්වෙන දිනයේ දී ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය පළ කිරීමට අපහසු බොහෝ පිරිසකට සිය ඡන්ද බලය භාවිත කිරීමේ හැකියාව ඇහිරී ඇත.

මැතිවරණ නිරීක්ෂකයන් සහ මාධ්‍යවේදීන් යනු මෙලෙස මැතිවරණ දිනයේ දී ඡන්දය භාවිත කිරීමට අපහසු කණ්ඩායම් අතරින් කැපී පෙනෙන කණ්ඩායම් දෙකකි. මැතිවරණ පැවැත්වෙන ස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් ප්‍රමාණයක් සම්බන්ධ වන අතර මාධ්‍යවේදීන්ට ද මැතිවරණය පිළිබඳව ජනතාවට තොරතුරු වාර්තා කිරීමේ කාර්යයභාරය පැවරී තිබේ.

මීට අමතරව ප්‍රධාන වශයෙන් ම මඟ හැරෙන තවත් කණ්ඩායම් දෙකක් වන්නේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සහ විදෙස්ගත ශ්‍රමිකයන් ය. බන්ධනාගාර ගත රැඳවියන්ට ඡන්ද බලය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සිරකරු අයිතිවාසිකම් කමිටුවේ සාමාජික සුරේෂ් නන්දිමාල් විසින් රීට් ආඥාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කර තිබේ.

‘ලක්ෂ හතක පමණ ඡන්ද දායකයන් මඟහැරෙනවා.’

අප කළ විමසීමක දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ලක්ෂ හතකට ආසන්න සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් මෙලෙස මඟ හැරෙන බවයි.

“විදෙස්ගත වෙලා සිටින ශ්‍රමිකයන්ට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නෑ. ඒ වගේ ම පූර්ණ කාලීනව රෝහල් ගත වෙලා සිටින පිරිස් ඉන්නවා. මාධ්‍යවේදීන්, මැතිවරණ නිරීක්ෂකයන්, රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙලා ඉන්න අය වගේ ම රේගුව වගේ ආයතනවල වැඩ කරන අයටත් මේ ගැටළුව තියෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ හතක පමණ පිරිසක් මේ නිසා අතහැරනවා,” ඔහු පෙන්වා දුන්නේ ය.

ලක්ෂ හතක ඡන්ද දායකයන් යනු සැලකිය යුතු සංඛ්‍යාවකි. එය තීරක සංඛ්‍යාවක් ලෙසද නම් කළ හැකිය. 2005 වසරේ ජනාධිපතිවරණයේ 50.29%ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා ලබාගෙන තිබෙන්නේ ඡන්ද 180,786කි.

රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන ආකාරයට මෙලෙස මැතිවරණවල දී මඟහැරෙන ඡන්ද දායකයන් සංඛ්‍යාව සැලකිය යුතු සංඛ්‍යාවකි.

රාජකාරීමය කටයුතු හේතුවෙන් මේ අකාරයට මඟ හැරෙන කණ්ඩායම් හැරුණුවිට ආර්ථිකමය කරුණු හේතුවෙන් මඟ හැරෙණ කණ්ඩායම් කිහිපයක් ද සිටින බව, සැමට ඡන්ද අයිතිය ලබා දීම වෙනුවෙන් හඬ නගන තරුණ ක්‍රියාකාරී හා උපදේශන කණ්ඩායමක් වන Next Democrats කණ්ඩායම විසින් නිරීක්ෂණය කර තිබේ. එහි සම නිර්මාතෘ වන අමන්ද ප්‍රවීශ් රණසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ සිය අධ්‍යනවල දී තවත් කණ්ඩායම් කිහිපයක් ඔවුන්ට හඳුනාගත හැකි වූ බවයි. “බහුදින ධීවර යාත්‍රාවල සිටින ධීවරයන්, ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවය කරන අය, වතු කම්කරුවන් වගේ අයත් මැතිවරණවලදී ඡන්දය දාන්න යන්න අපහසු අය විදිහට අපි හඳුනගෙන තිබෙනවා. ඒ වගේම මැතිවරණ දිනයේ දි පවා අත්‍යවශ්‍ය රාජකාරීවල නියැලිලා සිටින ඇතැම් වෛද්‍යවරුන්ටවත් තැපැල් ඡන්ද පහසුකම නෑ කියලා අපට නිරීක්ෂණය වෙලා තියෙනවා. දවසේ පඩියට වැඩ කරන බොහෝ අය දුර ගෙවාගෙන ගිහින් ඡන්දය පාවිච්චි කරනවාට වඩා තමන්ගේ දවසේ ඉපැයීම කරන්න තියෙන ඉඩකඩ වැඩියි,” අමන්ද පෙන්වා දුන්නේ ය.

විසිදහසකට වැඩි රැඳවියන්ට අහිමි වූ ඡන්දය

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙන දත්තවලට අනුව 2024 ජුලි 27වන දිනට බන්ධනාගාරගතව සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 30384ක් වන අතර, එයින් 19892ක් ම දඬුවම් නියම නොවූ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් ය. සිරකරු අයිතිවාසික සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා පෙන්වා දෙන්නේ සිරකරුවන්ට වසර ගණනාවක පටන් ඡන්ද අයිතිය අහිමි කර ඇති බවයි.

“සිරගතවෙලා සිටින රැඳවියන්ට ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් දැනටමත් නීති පවතිනවා. 30000 පමණ සිටින සිරකරුවන්ගෙන් 20000 පමණ ඉන්නේ සැකකරුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාවට අනුව නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ඒ අයට තිබෙනවා. ඊට අමතරව අවුරුදු දෙකට වඩා අඩු සිර දඬුවම් ලබපු අයටත් ඡන්දය ලබා දීමේ අයිතිය තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ අවුරුදු දෙකට අඩු සිර දඬුවම් ලබපු අයට ඡන්ද බලය තියෙනවා. 89 වගන්තියේ ම ඡන්ද බලය අහිමි අය ගැන විස්තර කරල තිබෙනවා. උදාහරණයක් විදිහට මරණ දඬුවම නියම වුන අයට ඡන්දය පාවිච්චි කරන්න බෑ. ඇත්තටම නීතිය තිබෙනවා. නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම නිසා වසර ගණනක් තිස්සේ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි කරලා තිබෙනවා,” නීතීඥ සේනක පෙන්වා දුන්නේ ය.

පුළුල් පූර්ව ඡන්ද ක්‍රමයක අවශ්‍යතාවය

නීතීඥ සේනක පෙන්වා දෙන්නේ මෙලෙස රැඳවියන්ගේ ඡන්දය ලබා ගැනීමට පහසුම ක්‍රමය තැපැල් ඡන්දය වැනි ක්‍රමයකින් බවයි. “බන්ධනාගාර විස්සක් පමණ ශ්‍රී ලංකාවේ තියෙනවා. මේ හැම එකක්ම ආවරණය වෙන විදිහට තැපැල් ඡන්දයක් වගේ විකල්පයකින් බන්ධනාගරවල ඡන්දය පහසුවෙන් විමසන්න පුළුවන්. නමුත් මේ ගැන කෙතරම් කතා කළත් වගකිවයුතු කිසි කෙනෙක් මේ සඳහා මැදිහත්වෙන්නේ නෑ,” ඔහු පෙන්වා දුන්නේ ය. එමෙන් ම රෝහණ හෙට්ටිආරච්චි ද පෙන්වා දෙන්නේ ඡන්ද දිනයේ දී ඡන්දය ප්‍රකාශය කිරීමට අපහසු අයට සහ විදෙස්ගත පුරවැසියන් හට සිට ඡන්දය ප්‍රකාශ කළ හැකි ආකාරයට පූර්ව ඡන්ද ක්‍රමයන් පුළුල් විය යුතු බවයි. “මැතිවරණ රාජකාරීවල ඉන්න නිලධාරීන්ට පමණක් නොවෙයි විදෙස්ගත ශ්‍රමිකයන්ට, මැතිවරන නිරීක්ෂකයන්ට සහ මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම්වලට මේ අයිතිය ලබා දිය යුතුයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු දෙනට සිය ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව හිමි කරදිය යුතුයි.”

Next Democrats සංවිධානය විසින් පසුගිය සතියේ දී උපදේශන යෝජනාවලියක් එළිදැක්වූ අතර ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ඇතුළු පිරිසක් ද සම්බන්ධ වී සිටිය හ. ඔවුන් යෝජනා කර සිටින්නේ මෙම තැපැල් ඡන්ද ක්‍රමය තාක්ෂණය ද උපයෝගී කරගෙන සිදු කරන උසස් ඡන්ද ක්‍රමයක් බවට පත් කිරීමට ය. “අපි නිර්දේශ කරනවා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය හරහා බාගත කරගන්න අයදුම් පත්‍රයක් ග්‍රාමසේවක හරහා සහතික කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාර දීමෙන් පසු පූර්ව ඡන්දය සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමවේදයක්. විදෙස්ගත අයටත් තානාපති කාර්යාල හරහා මේක සිදු කරන්න පුළුවන්. නමුත් අපි හිතනවා මේ ක්‍රමය ඩිජිටල් විදිහට දියුණු ක්‍රමයක් විදිහට සකස් කළොත් හොඳයි කියලා,” එම සංවිධානය වෙනුවෙන් අදහස් දැක් වූ අමන්ද ප්‍රවීශ් බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ ය.

“දැනට තැපැල් ඡන්ද පවත්වන ස්ථාන පුළුල් කරලා ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම් සිදු කරන්න අපි යෝජනා කරනවා. ඒ වගේ ම දැනට දින දෙකක් පමණ පවතින තැපැල් ඡන්ද භාවිත කිරීමේ කාලය දින පහක් දක්වා දීර්ඝ කරන්නත් අපි යෝජනා කරනවා. එතකොට ඕනෑම කෙනෙක් ට ඒ දින පහ ඇතුළත තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.”

මැතිවරණ කොමිසම මොකද කියන්නේ ?

අප කළ විමසීමක දී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පැවසුවේ පූර්ව ඡන්ද ක්‍රමය පැහැදිලිවම තව දුරටත් පුළුල් විය යුතු බවයි. “සියළු දෙනාටම ඡන්දය භාවිත කරන්න පුළුවන් විදිහට මේ ක්‍රමවේදය පුළුල් වෙන්න ඕනෑ. අපි ඒ සම්බන්ධයෙන් යෝජනා දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. එය අත්‍යවශ්‍යයෙන් ම සිදුවිය යුතු දෙයක්,” කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය. “අපි මේ යෝජනා වසර ගණනක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මෙතෙක් ඒවා ක්‍රියාත්මක වුණේ නෑ.”

කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය. "අපි මේ යෝජනා වසර ගණනක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මෙතෙක් ඒවා ක්‍රියාත්මක වුණේ නෑ."
ඡායාරූප ශීර්ෂ වැකිය,මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ “අපි මේ යෝජනා වසර ගණනක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මෙතෙක් ඒවා ක්‍රියාත්මක වුණේ නෑ.” යනුවෙනි

මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ ඇයි?

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන අන්දමට මෙම යෝජනා මැතිවරණ කොමිෂන් සභාව විසින් වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. නමුත් මෙම යෝජනා කිසිවක් මේ වනතෙක් ක්‍රියාත්මක වී නොමැත. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා බීබීසී සිංහල වෙත පැවසුවේ ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මෙතෙක් සකස් නොවී තිබීම එයට හේතුව බවයි. පැෆරල් සංවිධානයේ විධාක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ද පෙන්වා දුන්නේ ඔවුන් ද වසර ගණනාවක් තිස්සේ මෙම යෝජනා වගකිවයුතු ආයතන වෙත ලබා දී ඇති බව ය.

“මීට පෙර ඇෆ්ගනිස්තානයේ සිරගත වෙලා සිටි තලේබාන් සාමාජිකයන්ට පවා තාක්ෂණය යොදාගෙන ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීල තිබුණා. මේ පූර්ව ඡන්ද ක්‍රමයක් සඳහා වන සංශෝධන යෝජනා දැනටමත් කැබිනට් මණ්ඩලයට ගිහින් තියෙනවා. අපි මේ ගැන කොතරම් කතා කළත් ඒ සඳහා නීති සම්පාදනය කරන්න ඕනෑ පාර්ලිමේන්තුව. ඒ අය මේ සඳහා නීති සකස් කරන්නේ නැති තාක් මේ ප්‍රශ්නය මේ විදිහටම තියෙනවා,” රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය.

සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීමට නීති පැවතියත් ඒව ක්‍රියාත්මක නොවන්නේ සිරකරුවන් සම්බන්ධයෙන් පවතින සමාජ ආකල්පය නිසා බව නීතීඥ සේනක පෙන්වා දුන්නේ ය. “සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීම ගැන කිසිම දේශපාලන පක්ෂයක් කතා කරන්නේ නෑ. මොකද ඔවුන් බයයි ඒ ගැන කතා කරන්න. ඒ වගේ ම අදාළ බලධාරීන් අපි එක්ක නිල නොවන විදිහට කතා කරද්දි කියන්නේ සිරකරුවන්ව උසාවි එක්කගෙන යාම ඇතුලු වගකීම්වලට තව වගකීමක් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ ඔවුන්ට තව වැඩ වැඩි වෙනවා වගේ අදහසක්. මේ නිසායි අපේ සංවිධානයේ සුරේෂ් නන්දිමාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ගොනු කළේ.” මෙම පෙත්සම නැවත අගෝස්තු 9වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

කෙසේනමුත් සියලු ඡන්දදායකයන් ඇතුලත්වූ පුළුල් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් 2024 ජනාධිපතිවරණය සඳහා පැවැත්වීම අපහසුවනු ඇතිබව බීබීසී සිංහල වෙත අදහස් පල කළ සියලු පාර්ශවකරුවෝ පැවසූහ.

මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?

2021 වසරේ දී වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරීතිවල ප්‍රස්තිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව විසින් 2022 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ද පූර්ව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවේ නිර්දේශ අංක 07 (අ ) යටතේ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

එය සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි විකල්ප ඡන්ද ක්‍රමයක් යෝජනා කරන අතර, විදේශීය ශ්‍රමිකයන් ඒ අතරට ඇතුළත් නොවේ. ලිපියේ පෙර සඳහන් කළ අවදානම් සහගත කණ්ඩායම් හැරුණුවිට මෙයින්, සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්, සුපිරි වෙළඳසැල් සේවක සේවිකාවන්, හෝටල් සහ ආපනශාලා සේවකයන්, ගෘහ සේවිකාවන්, ඖෂධවේදීන් ද ඇතුලත් කර තිබේ.

එමෙන් ම 2023 නොවැම්බර් 02 දා ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රයකින් මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් පත් කර ඇති කොමිෂන් සභාවකට ද මේ සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙස බලය පවරා තිබේ. එලෙස විමර්ශනය කිරීමට යොමු කළ ඇති කරුණු අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සහ මැතිවරණ දිනයේ දී මැතිවරණ කටයුතු සඳහා සේවා සපයන රාජ්‍ය සංස්ථා, රාජ්‍ය ව්‍යාපාරය සහ පෞද්ගලික අංශයේ සේවකයන් හට තැපැල් ඡන්දය ලබා දීම ද ඇත.

2024 ජුලි මස 27වන දින මැතිවරණ කොමිසම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ “තම ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පවතින තත්වය හේතුකොටගෙන එම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් පවතින අයට,” වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක් හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තුවන බවයි. එම ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගෙන සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීවරයා සහතික කරන ලදුව, නීත්‍යානුකූල මැතිවරණ යෝජනා කැඳවීමේ දිනයේ සිට දින 07ක් ඇතුළත එනම් අගෝස්තු 01 හෝ එදිනට පෙර මැතිවරණ කොමිෂන් සභාවට එවන ලෙස එහි සඳහන් ය.

©BBC සිංහල

About The Author